නෝට්න්බ්‍රිජ් දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල් ගල් | දිනමිණ

නෝට්න්බ්‍රිජ් දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල් ගල්

‘සිසු දහම් සෙවණ’ ජාතික වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රථම ආගමික වැඩසටහන අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නෝටන්බ්‍රිජ් ඇබර්ඩීන් 2 ජනපදයේ ශ්‍රී උපනන්දාරාම විහාරස්ථානයේ, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පසුගියදා (3) නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීම එම විහාරස්ථ පරිශ්‍රයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදු කෙරිණි.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ, දහම් අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් අයුරින් ගොඩනැගිලි පහසුකම් නොමැති ආර්ථික දුෂ්කරතාවන්ගෙන් යුත්, බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් නඟාසිටුවීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් රුපියල් ලක්ෂ 40ක් වැය කර මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය.

මේ අවස්ථාවට අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තිනියාගල පියරතන, බදුපොළ පිරිවෙණේ පරිවේණාධිපති කළවැල්දෙනියේ උභයරතන, විදුලිපුර ශ්‍රී සුධර්මාරාමාධිපති ජිනරතන, ඇබර්ඩීන් ශ්‍රී උපනන්දාරාමාධිපති මහානාගපුර පියදස්සි යන හිමිවරුන් වැඩම කර සිටි අතර, අඹගමුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත නෙළුම් කුමාර, අඹගමුව කෝරලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී. ජසෝදරා, කේ. කේ. පියදාස මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ලේකම් අරුණ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් හා නිවාස. ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්, දහම් පාසල් සිසු සිසුවියන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


නව අදහස දක්වන්න