SOS ළමා ගම්මාන වැඩසටහනට සෙලාන් බැංකුවෙන් මිලියනයක් | දිනමිණ

SOS ළමා ගම්මාන වැඩසටහනට සෙලාන් බැංකුවෙන් මිලියනයක්

දරුවන්ට පුහුණුව මූලික කරගත් රැකියා අවස්ථා

මිහිමත වෙසෙන සෑම මවුපිය කෙනකුටම තම දරුවන් තරම් වටිනා සම්පතක් නොමැත. දරුවන්ට ද තම මවුපියන්ගෙන් තොර ලෝකයක් නොමැති තරම්ය. එසේ වුවත් දෛවය විසින් සිදු කරන ඛේදනීය ඉරණම් හමුවේ ඔවුන්ට තම මවුපියන්ගේ ආදරය සහ රැකවරණය අහිමි වී තිබෙන අවස්ථා බොහෝමයක් අපට හඳුනාගත හැක.

එලෙස මවුපිය සෙනෙහස අහිමි වී ලෝකය දිනන්නට වෙර දරන දරුවන් පිරිසක් SOS ළමා ගම්මානවල ජීවත් වේ. එම දරුවන්ගේ අනාගතයට ආලෝකයක් එක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙ සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සඳහා රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම සහ සෙලාන් බැංකුවේ රැකියා පුහුණුව සඳහා SOS දරුවන් බඳවා ගැනීම, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික හා බැංකු කටයුතු ටිලාන් විජයසේකර, සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා, සෙලාන් බැංකුවේ මානව සම්පත් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයන්ත අමරසිංහ සහ සෙලාන් බැංකුවේ කාඩ් පත් අංශයේ ප්‍රධානී ජයනාත් ඩයස්, SOS ළමා ගම්මාන ශ්‍රී ලංකා හි ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි, SOS ජාත්‍යන්තර ළමා ගම්මානයේ සභාපති සිද්ධාර්ථ කෝල් සහ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී, ශුභා මූර්ති යන මහත්ම මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනක පිළියන්දල SOS ළමා ගම්මාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ආදරණීය පවුලක් තුළ වැඩෙමින් දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබා දීම SOS ළමා ගම්මාන වැඩසටහනේ ඉලක්කය වේ. සෑම දරුවකුටම මවක හෝ පියෙකුගේ ආදරය මැද, සහෝදර සහෝදරියන් අතර, තමන්ගේම නිවෙසක, ගම්මානයක් වැනි වටාපිටාවක ළමා කාලය ගත කිරීමේ අවස්ථාව හිමි වී තිබේ. SOS ගම්මාන ව්‍යාපෘතිය වසර 36කට අධික කාලයක් තුළ ක්‍රියාත්මක වන අතර, දරුවන් 41,000 කට අධික සංඛ්‍යාවකට රැකවරණය සලසා තිබේ. පිළියන්දල, ගාල්ල, නුවරඑළිය, අනුරාධපුර, මොනරාගල සහ යාපනය යන ස්ථානවල SOS ළමා ගම්මාන පිහිටුවා ඇත.

මේ වනවිට දරුවන් 950 කට අධික පිරිසක් ළමා ගම්මානවල රැකවරණය ලබති. මවුපියන් අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින තවත් දරුවන් 3400කට අධික පිරිසකට රැකවරණය හිමි වේ. මෙහි පිරිමි හා ගැහැනු දරුවන් සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වන අතර, ඔවුන්ගේ සැබෑ සහෝදර සහෝදරියෝ ද එකම SOS පවුල තුළ දිවි ගෙවති. ජීවිත සාර්ථක කර ගනිමින් සමාජයට වැඩදායී පුද්ගලයන්වීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය හා කුසලතා පුහුණුව ඔවුන්ට ලබාදීමට කැපවී සිටියි. එමෙන්ම දරුවන්ට තම පවුලේ රැකවරණය අහිමිවීම වැළැක්වීම සඳහා පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි.

සෙලාන් බැංකුව සිය සමාජ මෙහෙවර තව දුරටත් පුළුල් කිරීමේ පියවරක් වශයෙන්, පසුගිය වසරේ නත්තල් සමයේ දී (2018 දෙසැම්බර්) සියලු ශ්‍රී ලාංකිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් සෙලාන් බැංකුව විසින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සෙලාන් බැංකුවේ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරන ලද ගනුදෙනුවලින් කිසියම් ප්‍රතිශතයක් පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් බැර කිරීමට පියවර ගැනිණි. ඒ අනුව ප්‍රවර්ධන කාලසීමාව අවසානයේ දී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සඳහා රු. මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට සෙලාන් බැංකුව ක්‍රියා කළහ.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ දරුවන් 6 දෙනකුට පුහුණුව මූලික කරගත් රැකියා අවස්ථා ලබාදීමට ද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. මේ දරුවන්ට මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම සහ සමාජ වටිනාකම් සම්බන්ධ පුළුල් පුහුණුවක් ද ලබා දේ. උසස් ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙමින් දරුවන්ගේ මනස පෝෂණය කිරීම අරමුණු කරගෙන, 2013 වසරේ දී සෙලාන් පැහැසර වැඩසටහන ආරම්භ කරන ලද අතර, අඩු පහසුකම් සහිත පාසල්වල පුස්තකාල අලුත්වැඩියා කිරීම හෝ අලුතින් පුස්තකාල ඉදිකිරීම මේ වැඩසටනේ ප්‍රධානතම ඉලක්කය වේ. ආරම්භයේ සිට මේ දක්වා සෙලාන් පැහැසර වැඩසටහන යටතේ පුස්තකාල 180කට අධික සංඛ්‍යාවක් ඉදිකර හෝ වැඩි දියුණු කර තිබේ. ඊට අමතරව සෙලාන් බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි ගිණුම මගින් මෙරටට පුරෝගාමී හඳුන්වා දීම් රාශියක් සිදුකර තිබේ.

දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීමටත්, යහපත් ගුණාංග ඇති කිරීමටත් මෙය වඩාත් වැදගත් වේ. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ළමා ගම්මාන වැඩසටහනට සහාය දැක්වීමට සෙලාන් බැංකුව කටයුතු කරනු ලැබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ළමා ගම්මාන වැඩසටහන තුළ දරුවන් 950කට අධික සංඛ්‍යාවක් රැකවරණය ලබන අතර, ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා යාපනය, මොනරාගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, සමාගම් හා ආයතන අතර වේගයෙන් ජනප්‍රියත්වය මෙන්ම ඩිජිටල් තාක්ෂණ භාවිතාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර තලයේදී ද ඇගයීමට ලක්වී තිබෙන, සෙලාන් බැංකුවේ මුලික අරමුණ වන්නේ නවීනතම තාක්ෂණය, නිර්මාණශීලී විසඳුම් හා විශිෂ්ට සේවාවන් සමගින් බැංකු ක්ෂේත්‍රයට ආදර්ශයන් සපයමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීමය. එපමණක් නොව සෙලාන් බැංකුව SOS ළමා ගම්මානවල ජීවත්වන දරුවන් වෙනුවෙන් සිදු කරන සමාජ සත් ක්‍රියාව ද සැබවින්ම අප අගය කළ යුත්තේය.

සටහන මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න