සී.ආර්.පිලේ දුර්වල ක්‍රීඩා විලාශය මහනුවර පිලේ ගෞරවය රැක දෙයි | දිනමිණ

සී.ආර්.පිලේ දුර්වල ක්‍රීඩා විලාශය මහනුවර පිලේ ගෞරවය රැක දෙයි

ෆවුස් මොහොමඩ්

පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට තිබූ අවස්ථාව ඉතා අසීරුවෙන් මැඩ පැවැත්වූ වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තීරණාත්මක තරගයෙන් ලකුණු 31-26ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය. පළමු මිනිත්තු 20දී තරගයේ පාලනය සියතට ගත් මහනුවර පිල අවසන් මිනිත්තු 20දී ඇද බැඳ තබාගැනීමට හැකිවූවත් ලකුණු රැස් කිරීමට ලැබුණු අවස්ථා මඟ හරවාගැනීම නිසා පරාජය අත්විඳීමට සී.ආර්.පිලට සිදුවිය. මහනුවර පිල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 4ක් සහ දඬුවම් පහරක් එක්වූ අතර සී.ආර්.පිල ගෝල් 2ක් සහ දඬුවම් පහර 4කින් සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කරගත්තේය.

සී.ආර්.පිටියේ පෙරේදා පැවැති පළමු භාගය නිමාවනවිට ලකුණු 28-16කින් පෙරමුණ ගැනීමට සමත්වූ මහනුවර පිලේ ක්‍රීඩකයන් දෙගිඩියාවට පත් කළ සී.ආර්.පිල දෙවැනි භාගයේ තරගයේ පාලනය සියතට ගනිමින් අවසන් මිනිත්තු විස්ස එළැඹෙද්දී ලකුණු පරතරය 5ක් දක්වා අඩු කරගැනීමට සමත්විය. එහෙත් අවසන් භාගයේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ලැබුණු අවස්ථා කිහිපයක්ම පන්දු පිරිනැමීමේදි සහ පන්දු ඩැහැගැනීමේදී දැක්වූ දුර්වලතා හේතුවෙන් මඟ හරවා ගැනීම නිසා මහනුවර පිලට ජය පෙනි පෙනී පරාජය වීමට සී.ආර්.පිලට සිදුවිය.

තරගයේ දෙවැනි මිනිත්තුවේදීම අනුරුද්ධ විල්වර තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ තිළිණ විජේසිංහ අනතුරුව 6 වැනි මිනිත්තුවේදී රෝලිං මෝල් අවස්ථාවකින් උපරිම ඵලනෙලා ගනිමින් උජිත ජයසූරිය තැබූ උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කිරිමෙන් ලකුණු 14-0කින් වේලාසනින්ම පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්විය.

ඊට මිනිත්තු කිහිපයකට පසුව ස්ටීවන් සිවරාජ් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමෙන් ලකුණු 3ක් ලබාගැනීමට සී.ආර්.පිලට හැකිවූවත් මොහොතකට පසුව රොෂාන් වීරරත්න තැබූ මහනුවර පිලේ තුන්වැනි උත්සාහක දිනුම තිළිණ විජේසිංහ ගේ අනගි පා පහරින් ගෝලයක් බවට පත්වෙද්දී ලකුණු 21-3කින් තරගය එහෙම පිටින්ම සියතට ගැනීමට මහනුවර පිලට හැකිවිය.

තරගයේ 20 වැනි මිනිත්තුවේදී ශෙහාන් පතිරණ තැබූ උත්සාහක දිනුම තිළිණ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමත් සමග සී.ආර්.පිලට දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු 28-3කින් පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්විය. කෙසේවෙතත් පළමු භාගය නිමාවීමට පෙර වාජිඩ් ෆවුමි තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ස්ටීවන් සිවරාජ් අනතුරුව පිට පිට දඬුවම් පහර දෙකක්ම සාර්ථක කර ගනිමින් ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ දමාගැනීමට සී.ආර්.පිලට හැකිවිය.

තරගයේ 55දී ජනිඳු ඩිල්ෂාන් විශිෂ්ඨ උත්සාහක දිනුමක් තබමින් ලකුණු පරතරය 26-31ක් ලෙස අඩු කරගැනීමට පෙර සිවරාජ් සහ විජේසිංහ දෙපිල වෙනුවෙන් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත්හ. වර්ෂාව පතිතවීමට පටන් ගැනීමත් සමග ජනිඳු ඩිල්ෂාන් තැබූ උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට පත් කිරීමෙන් පසුව ඉතිරි මිනිත්තු 20ම ගෙවී ගියේ මහනුවර පිලට දැඩි පීඩනයක් දමමිනි.

යුද-පොලිස් ලකුණු සම වෙයි

මේ අතර යුද හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය ලකුණු 24-24 බැගින් සමවීමෙන් නිමාවට පත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-5කින් පෙරමුණ ගැනීමට සමත්වූ පොලිස් පිලට එරෙහිව දෙවැනි භාගයේදි නැගී සිටි යුද හමුදා පිල අවසන් මොහොතේ සමීර බුලත්සිංහල තැබූ උත්සාහක දිනුම් දෙකකින් තරගය ජයපරාජයෙන් තොරව නිමාවටපත් කරගත්තේය. එහෙත් එය ගෝලයක් බවට පත් කිරීමට තිබු අනගි අවස්ථාව ගයාන් සාලින්දට මඟ හැරී ගියේ විශිෂ්ඨ ජයග්‍රහණයක් යුද හමුදා පිලට අහිමි කරමිනි. දෙපිලම ගෝල් 2ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගත්තේය.


නව අදහස දක්වන්න