විස්සයි 20 තරගාවලිය නවසීලන්තය දිනයි | දිනමිණ

විස්සයි 20 තරගාවලිය නවසීලන්තය දිනයි

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ හැමිල්ටන් හිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 4ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරකයන්ට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත්වූ අතර එම ඉලක්කය හඹාගිය ඉන්දියාවට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 208ක් පමණි.

පන්දු 28කින් ලකුණු 43ක් රැස්කළ විජේ ශංකර් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

ලකුණු 145කට කඩුලු 6ක් බිඳ වැටී තිබියදී 7වැනි කඩුල්ලට එක්වූ දිනේෂ් කාර්තික් සහ කූනාල් පාණ්ඩ්‍යා පන්දු 28කින් වේගවත් ලකුණු 68ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළද එය අසාර්ථක වුහ. කාර්තික් නොදැවී ලකුණු 33ක් රැස් කළේ හතරේ පහර 4ක් සමග පන්දු 16කිනි. පාණ්ඩ්‍යා පන්දු 13කින් ලකුණු 23ක් රැස් කළේය.

හතරේ සහ හයේ පහර 5ක් බැගින් එල්ල කරමින් පන්දු 40කින් ලකුණු 70ක් රැස්කළ කොලින් මුන්රෝ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

නව අදහස දක්වන්න