පාඩුව බිලියන පහයි! | දිනමිණ

පාඩුව බිලියන පහයි!

රේගු නිලධාරින්ගේ වැඩ වර්ජනය නිමාවට පත්විය. අධ්‍යක්ෂ ජනරාල්තුමිය නැවත වැඩ බාරගත්තා ය. තාවකාලික ලෙස යථෝක්ත තනතුරට පත්කර සිටි නිලධාරියා ද කිසිදු විරෝධයකින් තොරව සිය තනතුර අත්හැර ගියේ ය. මුදල් අමාත්‍යවරයා හා අධ්‍යක්ෂ ජනරාල්තුමිය අතර කිසිදු ආරවුලක් අමනාපයක් නැති බව ද ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකින් පෙනී ගියේ ය. පි‍ටකොටුවේ තොග කඩ හා ගබඩා නැවත විවෘත කර ඇත. වෘත්තීය සමිති ද තෘප්තිමත් බව පෙනී යයි. තත්ත්වය මෙසේ වුව සතියකටත් වැඩි කාලයක් තුළ පැවැති වැඩ වර්ජනය නිසා රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව රුපියල් බිලියන පහක් බව සටහන් වී ඇත.

රටේ වැඩ වර්ජන නිසා සිදුවන සමස්ත පාඩුව මෙතෙක් ගණනය කර නැත. ඒවා ගණනය කිරීම අපහසු වන අතර ඒ කෙරෙහි උනන්දු වන කෙනෙකුද සොයා ගැනීම අසීරු ය. රට දුප්පත් වීමට ද ආර්ථිකය එක තැන පල්වීමට ද වැඩ වර්ජන බලපායි. මැලේසියාව දියුණු රාජ්‍යයක් බවට පත්කළ මහතීර් මොහොමඩ් මහතා වැඩ වර්ජනවලට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නේ නැත. සිංගප්පූරුව ගොඩනැගූ ලී ක්වාන් යූ මහතා ද වැඩ වර්ජනවලට ඉඩ තැබුවේ නැත. එහෙත් අපේ ඇතැම් දේශපාලකයෝ වැඩ වර්ජනවලට නායකත්වය ලබා දෙති. ඇතැම් දේශපාලකයන් බලය තහවුරු කරගැනීමට උනන්දු වන තරමට රටේ ආර්ථිකය සවිමත් කරන්නට දායකත්වයක් ලබා දෙන්නේ නැත.

රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවේ වෙනසක් සිදුකිරීමට අමාත්‍යාංශය තීරණය කළේ කුමන හේතු සාධක නිසාද යන්න කිසිවකුගේ අවධානයට ලක්වී නැත. අමාත්‍යාංශය එබඳු තීන්දුවක් ගෙන ඇත්තේ ඉලක්කගත ආදායමක් ලබාගැනීම සඳහා ය. එම ආදායම නිශ්චිත කාල පරාසයක් තුළ ලබාගැනීම රජයේ අරමුණ විය. මේ අතර පැවැති පාලන ක්‍රම විධි තුළ ද නිලධාරින්ගේ ක්‍රියාකාරකම් තුළ ද අක්‍රමිකතා සිදුවන බවක් අමාත්‍යාංශය වටහාගෙන සිටි බවක් පෙනෙන්නට තිබේ. එහෙත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළ මේ සියල්ල අභියෝගයට ලක් වූ බවක් පෙනෙයි. දැන් රේගුවට අලුත් අභියෝග දෙකක් තිබේ. පළමුවැන්න ඉලක්කගත ආදායම් ලබාදීම ය. දෙවැන්න අක්‍රමිකතා සිදුනොවීමට වගබලා ගැනීම ය.

අපේ රේගුවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. පුරාණ රාජ්‍ය පාලනය තුළ මිසරය, ඉන්දියාව, පර්සියාව හා තවත් රටවල් සමඟ සෘජු වෙළෙඳ සබඳතා ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන ගොස් තිබේ. ශ්‍රී ලංකාව කුරුඳු, ගම්මිරිස් ඇතුළු කුළු බඩු ද, මැණික්, ඇත්දළ ආදී වටිනා භාණ්ඩද අපනයනය කර තිබේ. රෙදිපිළි ඇතුළු වෙනත් භාණ්ඩ ආනයනය කර තිබේ. මේවා කිසිදු ගැටලුවකින් තොරව හුවමාරු කරගැනීමට තරම් දියුණු ක්‍රමවේද එදා රේගුව සතුව තිබිණි. එයින් ශ්‍රී ලංකා රජයට ලැබුණු ආදායම ද ඉහළ ගියේ ය. වර්තමාන රේගු දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන දහසකට වැඩි මුදලක් රාජ්‍ය ආදායමට එකතු කරන බව වාර්තාවල සඳහන් ය. මෙයින් පෙනී යන්නේ රේගුව ජාතික ආර්ථිකයේ වැදගත්ම ආයතනයක් බව ය.

මේ වැදගත් ආයතනයේ නිලධාරින්ගේ වර්ජනය නිසා රුපියල් බිලියන පහක පාඩුවක් සිදුවී තිබීම කනගාටුවට කාරණයකි. වර්ජනය දින හතකට වැඩි කාලයක් පැවැති අතර මේ මගින් තොග වෙළෙඳාමට හා ඒ ආශ්‍රිතව පවතින අතුරු ආදායම් මාර්ගවලටද පහරක් වැදිණි. එහි පාඩුව ගණනය කර නැත. සමස්තය ගත්විට මේ මඟින් ජාතික ආර්ථිකයට සැලැකිය යුතු පාඩුවක් සිදුවී ඇති බව පැහැදිලි ය. මේ පාඩුව ගෙවන්නේ කවුද? එය විඳින්නේ කවුද? අවසන් ප්‍රතිඵලය දෙස බලනවිට පෙනී යන්නේ පාඩුවිඳින්නා පුරවැසියා බව ය. නැතහොත් මහජනයා බව ය. මහජනයාගේ බදු මුදලින් පාඩුව මකා ගත යුතු ය. තත්ත්වය වටහාගන්නා පුරවැසියා කෝප වනු ඇත.

රජයකට තීන්දු ගැනීමේ අයිතියක් නැති ද? රජය වෘත්තීය සමිති සතුටු කරන ආකාරයේ තීන්දු තීරණ හැමවිට ම ගත යුතු ද යන ප්‍රශ්නය අප ඉදිරියෙහි පවතී. අප දන්නා සාමාන්‍ය තත්ත්වයට අනුව රජය ගනු ලබන බොහෝ තීරණවලට වෘත්තීය සමිති එරෙහි වෙති. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා රජයේ නව වැඩසටහන් ලත් තැනම ලොප් වූ අවස්ථා ඕනෑතරම් තිබේ. මේවායෙහි හරි වැරැදි නිරීක්ෂණය කරන කෙනකු නැත. මහජනයා අතර පවා ඒ පිළිබඳ සංවාදයක් නැති බව පමණක් අපට දැකගන්නට තිබේ. සියල්ලෙහි ප්‍රතිඵලය වන්නේ දිනෙන් දින ම ආර්ථිකය පිරිහීමට පත්වීමය. ගිය වසරේ රටේ ආර්ථික වෘද්ධිය 4% ට අඩු ය. වේගවත් සංවර්ධනයක් සඳහා 6% ක හෝ 7% ක හෝ ආර්ථික වෘද්ධියක් සටහන් කරගත යුතු ය.

රටේ රාජ්‍ය අංශය තුළ සිදුවන දූෂණ වංචා හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර තිබේ. එම කොමිසම වැඩ ආරම්භ කර ඇති අතර දැන් පැමිණිලි භාර ගනී. අප ඉහතින් සඳහන් කළ රුපියල් බිලියන පහක පාඩුව ද මේ අයුරින් විමර්ශනයට ලක් කළ යුතුව තිබේ. රුපියල් බිලියන පහක් යනු සුළු මුදලක් නො වේ. එබඳු මුදලක් අධ්‍යාපනය සඳහා වියදම් කළේ නම්; එය අනාගත ආයෝජනයක් ලෙස පවතිනු ඇත. අපේ රටේ පවත්නා ප්‍රධාන දුර්වලතාවක් වන්නේ විවිධාකාරයෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩු නැවත පියවා ගැනීමට මාර්ගයක් නොතිබීම ය. ඒවා පියවා ගැනීමට පියවර නොගන්නා සේ ම එහි වරදකරුවන් සෙවීමට උත්සාහයක් ද නැත. දූෂණ වංචා ගැන සොයන කමිටුවල අවධානය මේ කෙරෙහිද යොමුවිය යුතු ව තිබේ.

වෘත්තීය සමිති ගැන ද වචනයක් කිව යුතු ව තිබේ. කිසියම් රටක වෘත්තීය සමිති ඒ රටේ රාජ්‍ය පාලනයට අනිසි ලෙස බලපෑමක් සිදුකරන්නේ නම් එහි විශාල වැරැද්දක් තිබේ. වෘත්තීය සමිති කළ යුත්තේ ආයතන ආරක්ෂා කරමින් සේවක වරප්‍රසාද භුක්ති විඳීමට අවස්ථාව උදාකරදීම ය. එහෙත් අපේ රටේ සිදුවන්නේ වෙනත් දෙයකි. ඇතැම් වෘත්තීය සමිති විවිධ දේශපාලන ව්‍යාපාරවල අරමුණු ඉටුකරදීම සඳහා ක්‍රියා කරති. තව සමහර වෘත්තීය සමිති හිතුවක්කාරී ලෙස ක්‍රියා කරති. තවත් වෘත්තීය සමිති සෘජු ලෙස ම දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වති. සමහර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සමස්ත සේවක ප්‍රජාවගේ සහයෝගය ලැබෙන්නේ ද නැත.

රුපියල් බිලියන පහක පාඩුව ගැන බැලුවහොත්; එය මහජනයාගේ හිසට පාත්වී ඇතැ’යි කිව හැකි ය.

 


නව අදහස දක්වන්න