ප්‍රියංකාගේ සම්ප්‍රාප්තිය | දිනමිණ

ප්‍රියංකාගේ සම්ප්‍රාප්තිය

ධම්මික සෙනෙවිරත්න

ප්‍රියංකාගේ ආගමනය බී. ජේ. පී. ප්‍රාදේශීය නායකයන් අධෛර්යට පත්කරවන්නට හේතු වීඇති බව බව දැනටමත් පෙනෙන්නට තිබේ. ඊට මුහුණ දීමට මහා සන්ධානයක් ගොඩනැඟීමට ඔවුහු වෑයම් කරමින් සිටිති. එමෙන්ම ව්‍යාපාරිකයකු වන ප්‍රියංකාගේ සැමියා රොබට් වඩ්රාට දූෂණ වංචා චෝදනා එල්ල කර තිබේ. හර්යානා සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඉඩම් ගනු - දෙනු සම්බන්ධයෙන් රොබට්ට මෙම චෝදනා එල්ල වී ඇත.

මීට දින කිහිපයකට පෙර හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි යුවළගේ දියණිය, කොන්ග්‍රසයේ වත්මන් සභාපති රාහුල් ගාන්ධිගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි වඩිරාගේ සක්‍රීය දේශපාලන අනුහස්වාදී ප්‍රවේශය සිදුවිය. මැයි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඇය ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ සිය මව නියෝජනය කරන රායිබරෙලි ආසනය වෙනුවෙනි.

“බ්‍රහ්මාස්ත්‍ර” හෙවත් කොන්ග්‍රසයේ “මිථ්‍යාමය පරම අවිය” යන හැඳින්වීම ඇති ප්‍රියංකා උත්තර ප්‍රදේශයේ නැ‍ඟෙනහිර කලාපය බාර මහලේකම් වශයෙන් කොන්ග්‍රසයේ වගකීම උසුලනු ඇත. මෙහිදී දේශපාලන සටන් බිමේ ප්‍රතිවාදීන් ලෙස ඇයට හමුවනු ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදි, ප්‍රධාන අමාත්‍ය සෝනි ආදිත්‍යනාත් වැනි බී. ජේ. පී. ප්‍රබලයන්ය. කෙසේවුවද, පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පවසන්නේ තමා ප්‍රියංකා මෙන්ම ජ්‍යොතිරාධිත්‍ය එහි යවනු ලැබුවේ හුදෙක් දෙ‍මසක ඡන්ද ව්‍යාපාරයක් සඳහා නොව කොන්ග්‍රසයේ මතවාදය උත්තර ප්‍රදේශය පුරා රැගෙනයාම වෙනුවෙන් බවයි. 47 හැවිරිදි ප්‍රියංකා වඩ්රා පෙනුමෙන් ද සිය මිත්තණිය හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට බෙහෙවින් සමානය. එමෙන්ම ඉන්දිරාට තිබූ දේශපාලන කැරිස්මාව ප්‍රියංකා වටාද ගොඩනැ‍ඟෙමින් ඇතිබව පැහැදිලි වේ. 2004 වසරේ පටන්ම සෝනියා ගාන්ධි රායිබරෙලි අසුන නියෝජනය කළ අතර එහි ජනයා ගාන්ධිලාට සලකන්නේ රාජකීයත්වයෙනි. ප්‍රියංකාට නව වගකීම පැවරීමෙන් උත්තර ප්‍රදේශය වැනි දේශපාලනිකවද වැදගත් ප්‍රාන්තයක බලය කොන්ග්‍රසයට නතුව පවත්වා ගැනීමේ වුවමනාව ද පිළිබිඹුවේ. එහි ආසන සංඛ්‍යාව 80කි. උත්තර ප්‍රදේශයේ බටහිර කොටසේ වගකීම් පැවරී ඇත්තේ ජ්‍යෝතිරාදිත්‍ය සින්ඩියාටය.

බී. ජේ. පී. මතවාද

ප්‍රියංකාගේ ආගමනය බී. ජේ. පී. ප්‍රාදේශීය නායකයන් අධෛර්යට පත්කරවන්නට හේතු වීඇති බව බව දැනටමත් පෙනෙන්නට තිබේ. ඊට මුහුණ දීමට මහා සන්ධානයක් ගොඩනැඟීමට ඔවුහු වෑයම් කරමින් සිටිති. එමෙන්ම ව්‍යාපාරිකයකු වන ප්‍රියංකාගේ සැමියා රොබට් වඩ්රාට දූෂණ වංචා චෝදනා එල්ල කර තිබේ. හර්යානා සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඉඩම් ගනු - දෙනු සම්බන්ධයෙන් රොබට්ට මෙම චෝදනා එල්ල වී ඇත.

නව වගකීම් පැවරීමත් සමඟ ප්‍රියංකාට සුබපතමින්, ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණේ; “සුබපැතුම් ප්‍රියංකා! ඔබේ ජීවිතයේ සෑම අදියරකදීම නිරන්තරයෙන් ඔබ සමඟ සිටීමි...” යනුවෙනි.

බී. ජේ. පිය පවසන්නේ කොන්ග්‍රස් පක්ෂ සභාපති රාහුල් අසාර්ථක වීම නිසා ප්‍රියංකා ගෙන ආ බවය. ඇය හැර අන් කිසිවකු ගාන්ධි පවුලෙන් සොයාගැනීමට හැකිදැයි බී. ජේ. පී. ප්‍රකාශක සම්බිම් පත්‍රා ප්‍රශ්න කළේය.

නව වගකීම් පැවරීමෙන් අනතුරුව ප්‍රියංකා ගාන්ධි පළමුවරට මාධ්‍ය අවධානයට ලක්වූයේ ඇගේ සැමියාට එරෙහි දුෂණ, අක්‍රමිකතා විභාග කරන රජයේ ආයතනයට ඔහු සමඟ පැමිණීමත් සමගිනි. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රියංකා එහිදී කියා සිටියේ, සිය අභිලාසය පරීක්ෂණයේදී ඔහු ආරක්ෂා කිරීම නොව සැමියා සමඟ සිටින බව පෙන්වීම බවය. සිදුවන්නේ කුමක්ද යන්න ගැන ලෝකයම දන්නා බව කියා සිටි ඇය, මෙම චෝදනා දේශපාලනිකව නැඟූ ඒවා බව ඉඟි කළාය.

රොබට් වඩ්රාට එල්ල වී ඇති චෝදනා ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් කොන්ග්‍රස් පක්ෂය වැළැකී තිබිණි. ඔවුන් සඳහන් කරන්නේ ඔහු පුරවැසියකු පමණක් බවය. මුදල් විශුද්ධිකරණය යටතේ වඩ්රාට චෝදනා එල්ල වී තිබේ. මෙය ඔහුට එරෙහිව චෝදනා විභාග වන පළමු අවස්ථාවය. රොබට් වඩ්රා තමන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔහු කියා සිටින්නේ ඒවා බී. ජේ. පී. ආණ්ඩුව දේශපාලනිකව ලකුණු දමා ගැනීමට නිර්මාණය කළ චෝදනා බවය. වඩ්රාට ‍එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ ලන්ඩනයේ පිහිටි දේපළක් පවුම් මිලියන 1.9කට මිලදී ගැනීම සම්බන්ධයෙනි.

රාහුල්ගේ නායකත්වය යටතේ කොන්ග්‍රසය 2014දී මෙන්ම 2018දී ද පසුබෑමට ලක්වීම ප්‍රියංකා හඳුන්වාදීමට හේතුවක් වන්නට ඇති බව සිතිය හැකිය. පක්ෂයට නව ජීවයක් ලබාදීමට ප්‍රියංකාට හැකිවනු ඇතැයි යන්න පක්ෂයේ ස්ථාවරයයි. මේ පත්කිරීමට සභාපති රාහුල් ගාන්ධිගේ අනුමැතිය ද ලැබී තිබේ.

ප්‍රියංකා ගාන්ධි කොන්ග්‍රස් මැතිවරණ ව්‍යාපාරයට නිසැකවම ආකර්ෂණයක් එක්කරනු ඇත. එහෙත්; අගමැති මෝදි ද තවමත් බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. මේ නිසා තරගය උණුසුම් වනු ඇති බව පෙනෙන්නට තිබේ. ප්‍රියංකාගේ පත්වීම දන්වමින් කොන්ග්‍රස් පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩවලට දහස් ගණන් ජනතා ප්‍රතිචාර ලැබී තිබේ. රාහුල් ගාන්ධි කියා සිටින්නේ ඇය ඊට ඉතාමත් සුදුසු බව සහ ඉදිරි මැතිවරණයේදී ඇයගේ සහාය ලැබීම ගැන අතිශයින්ම සතුටු වන බවය.

පුළුල් සන්ධානයක්

දෙදරු මවක වන ප්‍රියංකා මෙතෙක් ඉටු කළේ දේශපාලනික ලෝකය තිරය පිටුපස කාර්යභාරයකි. ඇය කරළියට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. සෝනියාගෙන් පසු පක්ෂයේ වගකීම් පැවරීමේදී ප්‍රියංකා ගැනද දේශපාලන ලෝකයේ අවධානය යොමුවිය. එහෙත්; එවර ඇය පෙරට නොආ අතර සොහොයුරාට ඉඩහැරියාය. සිය පියාණන් වනහිටපු අගමැති රජීව් ගාන්ධි මෙන්ම මිත්තණිය හිටපු අගමැතිනි ඉන්දිරා ද නියෝජනය කළ අසුන යළි ජයග්‍රාහීව මෙහෙයවීමේ අභියෝගය ප්‍රියංකාට පැවරී තිබේ. ඇය ඊට කැපවෙනු ඇති බවට ලකුණු දැනටමත් පළවී ඇත. කොන්ග්‍රස් පාක්ෂිකයන් ඇය කෙරෙන් ඉන්දිරාගේ පුනරාගමනය අපේක්ෂාකරනු ඇති බවක් පෙනෙන්නට තිබේ. රාහුල් අසාර්ථක වීම ප්‍රියංකා රැගෙන ඒමට හේතු වූ බවට ඇතැම් දෙනා කියාසිටියද මෙහිදී කොන්ග්‍රසයේ උපායමාර්ගය වී ඇත්තේ උත්තර ප්‍රදේශයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම බව ඇතැම් විචාරකයන්ගේ අදහසය.

භාරතීය සමාජයේ එකිනෙකට ඉතාම වෙනස් සමාජතල නියෝජනය කරමින් පැමිණි කාන්තාවන් ‍තිදෙනකු ඉදිරි මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ දෙවැනි වාරයට විශාල අභියෝගයක් එල්ල කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති. ඉන් එක් අයකු වන්නේ නේරු ගාන්ධි පෙළපත නියෝජනය කරන ප්‍රියංකා ගාන්ධිය. 1947 ඉන්දියාව නිදහස දිනාගැනීමෙන් පසුව මේ දක්වා බොහෝ වාර ගණනකදී ඉන්දියාව පාලනය කළේ ගාන්ධි පෙළපතය.

අනෙක් කාන්තා චරිත දෙක බටහිර බෙංගාලයේ හිටපු මහඇමැතිනි චම්කා බැනර්ජි හා උත්තර් ප්‍රදේශයේ හිටපු මහ ඇමැතිනී මායාවතීය. මෝදිගේ පාලන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට (NDA) ප්‍රබල අභියෝගයක් එල්ලකළ හැකි පුළුල් සන්ධානයක් බිහිකිරීමට මේ වනවිට විපක්ෂය සැලසුම් කරමින් සිටී. ඇතැම්විට මේ චරිත එහිදී එක් පෙරමුණක සිටින්නටත් ඉඩ තිබේ.

හිටපු මුදල් ඇමැතිවරයකු වන යෂ්වන්ත්සිං පවසන පරිදි, ප්‍රබල කාන්තා දේශපාලනඥයන් නියෝජනය කරමින් සිටින්නේ විපක්ෂයයි. පාලක පක්ෂයට ඒ වාසිය නොමැත. අතිශයින් වැදගත් මෙන්ම තීරණාත්මක හින්දු බහුතරය සහිත ප්‍රදේශ නියෝජනය කරන්නේ ඔවුන් වීම ඉදිරි මැතිවරණයේදී ප්‍රධාන සාධකයක් වීම නොවැළැක්විය හැකි බව පැහැදිලි කාරණයකි. ආසන්න ප්‍රාන්ත මැතිවරණවලදී ද බී.ජේ.පී. යට ඇති අභියෝගය දිස්විය.

ඉන්දීය පොදුජන හදවත් ආකර්ෂණය කරගැනීමේදී රාහුල් ගාන්ධි සමඟ ප්‍රියංකා ගාන්ධි එක්වීම බෙහෙවින් වාසිදායක වනු ඇති බව පෙනෙන්නට ඇත. රාහුල්ගේ පසුගිය මැතිවරණ ව්‍යාපාරවලදී ද ඔහුට වඩා ජනතා ආකර්ෂණයට ලක්වූයේ ප්‍රියංකාය. ප්‍රියංකාට වඩා අනෙක් කාන්තා දේශපාලන නායිකාවන් දෙපළම වයසින් මෙන්ම අත්දැකීම්වලින් ද පරිණතය. ඒ දෙදෙනාම අගමැති ධුරයට පත්වීමේ විභවය මෙන්ම සුදුසුකම්ද සහිත අය බව පිළිබිඹුවේ.

63 හැවිරිදි මායාවතී හිටපු ගුරුවරියකි. ඉකුත් මාසයේදී ඇය සිය පක්ෂය වන බහුජන සමාජ පක්ෂය (BSP) ප්‍රමුඛව සන්ධානයක් ද ගොඩනැඟුවාය. එහි නියෝජනය වන බහුතරය හින්දු අඩු කුල ජනකොටස්ය. මායාවතීගේ පක්ෂයට එම ජනකොටස් නියෝජනය කරන සෙසු සුළු පක්ෂවල මෙන්ම මුස්ලිම් ප්‍රජාවගේද සහාය පළවෙමින් ඇත.

ජනමත විමසුම්

64 හැවිරිදි බැනර්ජි, දෙවරක්ම ප්‍රාන්ත රජයේ දුම්රිය ඇමැති ධුරය ඉසිලුවාය. ඉකුත් මාසයේදී ඇය සමස්ත ඉන්දීය ත්‍රිනමූල කොන්ග්‍රසය (AITC) ගොඩනැඟුවේ 1997දී කොන්ග්‍රසයෙන් ඉවත් වීමෙන් පසුවය. නව පක්ෂය කල්කටාහිදී පැවැත්වූ බී. ජේ. පී. විරෝධී රැලියට දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගි වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනමත විමසුම්වලින් පිළිබිඹු වන පරිදි අගමැති නරේන්ද්‍ර මෝදි තවමත් ජනප්‍රියය. දෙවන ධුර කාලය සඳහා විශ්වාසයෙන් තරග වැදීමට හැකි පසුබිමක් ඔහුට තිබේ. එහෙත්; ඔහු පවා තම ප්‍රතිවාදී අපේක්ෂිකාවන්ගෙන් එල්ල විය හැකි අභියෝගය සුළුකොට තකනු ඇතැයි සිතිය නොහැකිය. සිය පළමු ධුර කාලය තුළ ඔහු කාන්තාවන් වෙනුවෙන් යම් කාර්යභාරයක්ද ඉටුකි රීමට වගබලාගත්තේය. “දියණිය රැකගනිමු ඇයට අධ්‍යාපනය ලබාදෙමු!” වැනි ව්‍යාපෘති ඔහුගේය. සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂිත පහසුකම් ගැනද ඔහු බොහෝ උනන්දුවිය. වත්මන් මෝදි රජයේ කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය 26කි. එය සැලකිය යුතු සංඛ්‍යාවක් වුවද කේන්ද්‍රීය බලතල අගමැති මෝදි සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු අතර පවතී.

මැතිවරණයෙන් පසුව වුවද කොන්ග්‍රසය හා මායාවතීගේ පක්ෂයත් සමාජවාදී පක්ෂය අතරත් සභාගයක් නිර්මාණය වීමේ අවකාශයද ඇත. මායාවතී පවසා තිබුණේ සමාජවාදී පක්ෂය සමඟ කෙසේවුවද කොන්ග්‍රසය සමඟ එක්ව ක්‍රියාකිරීමේ ගැටලුවක් නොමැති බවය. සෝනියා ගාන්ධි සමඟ ඇයට හොඳ දේශපාලන සබඳතාවක් තිබූ ‍අතර එම පසුබිම ඔස්සේ සෝනියාගේ දරු දෙදෙනා සමඟ දේශපාලනය කිරීමේ නොහැකියාවක් තමන්ට නොමැති බව ඇය පවසා තිබිණි. අඩු කුලයේ කාන්තාවක් වුවද මායාවතීටද අගමැති ධුරය කරායාමේ මාවත විවර වී ඇති බව ඇතැම් දේශපාලනඥයන්ගේ අදහසය.

ප්‍රියංකා ගාන්ධි පිළිබඳ ඇති සුබවාදී අපේක්ෂා මෙන්ම ඇයගේ පසුබිමද, ජනතාව ආකර්ෂණය කර ගැනීමට ඇයට ඇති හැකියාවද ඉදිරි මැතිවරණයේදී ඇයට බෙහෙවින් වාසිදායක වනු ඇත. ඉන්දියාව වැනි රටක නායකත්වය කරා යාමේදී දේශපාලන කැරිස්මාව පමණක් ප්‍රමාණවත් නොවන බව ඇය දන්නා බව පැහැදිලිය. ඒ අවබෝධයේ තරම අනාගත දේශපාලනයේ ඇයගේ ගමන්මග තීරණය කරනු ඇත.

නව අදහස දක්වන්න