බන්ධනාගාර මල්ලවපොර ශූරතාව යාපනයට | දිනමිණ

බන්ධනාගාර මල්ලවපොර ශූරතාව යාපනයට

අන්තර් බන්ධනාගාර මල්ලවපොර තරගාවලියේ ශූරතාව යාපනය බන්ධනාගාරය හිමිකරගත් අතර අනු ශූරතාව මහර බන්ධනාගාරයත් තෙවැනි ස්ථානය මඩකලපුව බන්ධනාගාරයත් දිනා ගනියි. මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ජී.ඒ.එම්.එච්.පන්නල හිමිකර ගත්තේය.

බන්ධනාගාර ක්‍රීඩා හා විනෝද සමාජයේ සභාපති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය පැවැති අතර බන්ධනාගාර ක්‍රීඩා හා විනෝද සමාජයේ ලේකම් බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) චන්දන ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් බන්ධනාගාර ක්‍රීඩා මණ්ඩපයේ දී පසුගියදා පැවැත්විය. මල්ලවපොර ලේකම් වර්ණකුල සූරිය මහතාගේ කැපවීමෙන් වසර ගණනාවකට පසුව මෙවැනි මල්ලවපොර තරගාවලියක් සංවිධානයවී ම විශේෂත්වයකි.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා විසින් අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ අන්තර් බන්ධනාගාර තරගාවලිය තුළින් බන්ධනාගාර ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාමේ හැකියාව ලැ‍බෙන බවයි. එමෙන්ම රාජ්‍ය සේවා හා ජාතික තරගාවලින් සඳහා ක්‍රීඩකයන් පුහුණු කරනු ලබන අතර ඔවුන් ජාතික මල්ලවපොර තරගාවලියට සහභාගීකරවන බවත් ඒ මහතා පැවැසීය.

මේ අවස්ථාව සඳහා බන්ධනාගාර අධිකාරී සුමිත් රංජන්, බන්ධනාගාර අධිකාරී ඒ.කේ.බණ්ඩාර හා මල්ලවපොර ලේකම් ප්‍රධාන ජේලර් වර්ණකුලසූරිය යන මහත්වරු සහභාගී වූහ.

නව අදහස දක්වන්න