තහනම් උත්තේජක චෝදනා බොරුවක් | දිනමිණ

තහනම් උත්තේජක චෝදනා බොරුවක්

ප්‍රින්ස් ගුණසේකර

* ‘බී’ සාම්පල පරික්ෂාවෙන් ඔප්පු කරන්න 
* මීටර් 100 ක්‍රීඩිකා චෙල්සියා මෙලනී කියයි

පොලොන්නරුවේ දී පසුගිය වසරේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා සහය දිවීමේ තරගයට සහභාගිවූ 18 හැවිරිදි කෙටිදුර ක්‍රීඩිකා චෙල්සියා මෙලනී බෙනරගේ තහනම් උත්තේජක ලබාගත් බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ‘බී’ සාම්පල පරීක්ෂාව සිදු කරන ලෙස ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනට ඇය දැනුම්දී ඇත. ඇයගෙන් ලබාගත් ‘ඒ’ සාම්පලයේ තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට ඉන්දියාවේ නවදිල්ලි රසායනාගාරයකින් කරුණු ඉදිරිපත්ව තිබූ අතර ඒ අනුව තාවකාලික තරග තහනමක් ද පැනවිය. ඇය ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා සහය දිවීමේ ඉසව්වෙන් දකුණු පළාතට රන් පදක්කම දිනාදුන් අතර මේ චෝදනා යළිත් තහවුරු වුවහොත් එම පදක්කමද අවලංගු කෙරේ.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය මේ චෝදනා පිළිබඳ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුම්වත්කර ඇති අතර චෝදනාවෙන් නිදහස් වනතුරු මේ දෙස් විදෙස් තහනම පැනවේ. ඇයට එල්ලවූ තහනම් උත්තේජක චෝදනාව පිළිබඳ නිදහසට කරුණු විමසීමට ජාතික තහනම් උත්තේජක මර්දනායතනය කටයුතුකර තිබූ අතර එහිදී ක්‍රීඩිකාව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරගවලට සහභාගීවීමේදී හෝ එයට පෙර එවැනි තහනම් උත්තේජකයක් හෝ එවැනි දෑ අඩංගු වෙනත් ඖෂධ වර්ගයක් හෝ ලබා නොමැති බවයි.

‘බී’ මුත්‍රා සාම්පල පරීක්ෂාව පෙර පරිදිම ඉන්දියාවේ නවදිල්ලි රසායානාගාරයේදී සිදු කෙරන අතර එහිදී යළි තහනම් උත්තේජක චෝදනාව තහවුරු වුවහොත් විනය කමිටුව හමුවට පමුණුවා දඬුවමක් පැනවීමට කටයුතු යෙදේ. චෙල්සියා මෙලනී ජාතික පාසල් ක්‍රීඩා උළෙලේදී හා ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩිකාවකි.

මෙයට සති කිහිපයකට පෙර මලල ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක භාවිතාකර තරග වැදී ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගාරයක වෛද්‍ය වාර්තාවකින් තහවුරුවී ඔහුට දඬුවම් පැනවීම උදෙසා විනය කමිටුව වෙත ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය යොමු කොට ඇත.

ඔහුගේ මූත්‍රා සාම්පලයේ ‘ඇනබොලික් ස්ටොරයිඩ්’ සංඝටක ඇතුළත් තහනම් උත්තේජක වර්ගයක් තිබී ඇති අතර ‘ඒ’ මූත්‍රා සාම්පලය අනුව චෝදනා ගොනුවූ චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් ‘බී‘ මූත්‍රා සාම්පලය පරීක්ෂා කෙරුණි. එහිදී ද පෙර ප්‍රතිඵලයම ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට ලැබුණ හෙයින් ඔහුට දඬුවම් පැනවීම සිදුවේ.

පසුගිය වසරේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක පරීක්ෂා 35ක් පමණ ජාතික තහනම් උත්තේජක මර්දනායතනය සිදුකර ඇති අතර මේ වනවිට එයින් තිදෙනකුට තහනම් උත්තේජක චෝදනා එල්ල වූහ. චෝදනා එල්ලවූ කබඩි ක්‍රීඩකයෙක්, කබඩි ක්‍රීඩිකාවක් ඒ අතර වෙති. එම දෙදෙනාම ‘බී’ සාම්පල පරීක්ෂාවට නොගොස් වරද පිළිගත්හ.

මලල ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක භාවිතාකර තරග වැදී ඇති බවට චෝදනා එල්ල වූයේ පසුගිය ඔක්තෝබරයේ සුගතදාස පිටියේ පැවැති අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා උළෙලේදීය.


නව අදහස දක්වන්න