පන්ති කාමරේ! | දිනමිණ

පන්ති කාමරේ!

කාලයෙන් - කාලයට පන්ති කාමරයේ ස්වරූපය වෙනස්විය යුතු බව අධ්‍යාපන විශේෂඥයෝ පෙන්වා දෙති. කාලයේ පරිවර්තනය, තාක්ෂණයේ දියුණුව, දරුවන්ගේ සිතිවිලි පරම්පරාවේ හැඩය හා අනාගත පුරවැසියා කෙසේ සකස්විය යුතු ද යන ඉලක්ක හා සාධක මේ සඳහා පාදක කරගත යුතු බව ද ඉහත විශේෂඥයෝ පෙන්වා දෙති. අද යුගය ගතහොත් සමාජය ඉතා ශීඝ්‍රයෙන් දියුණු හා නවීන තාක්ෂණය වැලඳගනී. එලෙස ම විවිධ භාෂා ඔස්සේ අදහස් හුවමාරුව පටන්ගනී. මේවා සැලැකිල්ලට ගනිමින් අපේ පාසල්වල පන්ති කාමර ද සකස්වන්නේ නම්; එය අතිශයින්ම කාලෝචිත පියවරක් සේ හැඳින්විය හැකි ය.

අප ඉහත පූර්විකාව ලියා තබන්නේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පාසලක පන්ති කාමර තුළ ඇති වූ වෙනසක් අගය කිරීම සඳහා ය. අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීම මත මේ සාධනීය වෙනස සිදුකර තිබේ. පරණ ගල්ලෑලි වෙනුවට විද්‍යුත් මොනිටර් ළමුන්ට ලබා දී ඇත. ඔවුන් එම විද්‍යුත් පුවරු මත ඉතා ආශාවෙන් අකුරු සටහන් කරන අයුරු අපට දැකගන්නට ලැබිණි. මේ වනවිටත් අපේ සමාජයේ බහුතරය සිය දෛනික රාජකාරි හා ව්‍යාපාරික කටයුතු සඳහා විද්‍යුත් මෙවලම් භාවිත කරති. එය ජීවිතය පහසුකර ඇති අතර ඊට වේගවත් බවක් ආරෝපණය කර තිබේ.

නූතන තාක්ෂණයෙන් බැහැර වී ලෝකය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැත. ජපානයේ හෝ අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථියෝ පොත් ගොඩක්, කොළ ගොඩක්, ෆයිල් කවර මිටියක් වෙනුවට ලැප්ටොප් යන්ත්‍රයක් රැගෙන දේශන ශාලාවට ඇතුළුවෙති. ආචාර්යවරුන්ගේ දේශනවල වැදගත් කොටස් යන්ත්‍රයේ සටහන් වෙයි. ශිෂ්‍යයා‍ ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය හා ඔහුගේ අලුත් උපමාන ද ලැප්ටොප් යන්ත්‍රයේ සටහන් වෙයි. ඔහු පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්නේ ද ලැප්ටොප් යන්ත්‍රය සමඟ ය. සියල්ල ඉතා පහසු ය. නිවැරැදිය. මේ තත්ත්වය දැන් දියුණු රටවල පාසල් කරා ද පැමිණ තිබේ. ලෝකය හා අධ්‍යාපනය කෙතරම් වෙනස් වී තිබේද යන්න මෙයින් පැහැදිලි වනු ඇත.

ශ්‍රී ලංකාව හඳුන්වන්නේ නිදහස් අධ්‍යාපනයක් පවතින රාජ්‍යයක් හැටියට ය. පළමු ශ්‍රේණියේ සිට උපාධිය දක්වාම නොමිලේ අධ්‍යාපනය ලැබීමට අවකාශය අපේ රට තුළ පවතී. රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කරයි. තත්ත්වය මෙසේ වුව රටේ සියලු පළාත්වල පාසල්වලට එක සමාන පහසුකම් නැත. කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක සුපිරි පාසල් ඇති අතර ඈත පිටිසර පළාත්වල පාසල් දුෂ්කර පාසල් ලෙස හැඳින්වේ. ඒවායෙහි අඩුපාඩු එමට ය. ඇතැම් පාසලකට ඩෙස් - බංකු නැත. තව පාසලකට ගුරුවරුන් නැත. තවත් පාසලකට පරිගණක පහසුකම් නැත. මේ අතර වැසිකිළි පහසුකම් නැති පාසල් ද තිබේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින විසමතාව නැති කිරීම සඳහා පියවර ගත යුතු යැයි බරපතළ සංවාදයක් පවතිනමුත් එය ඉටු කිරීම පහසු නැත. රටේ ජාතික ආදායම, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ හැකි ප්‍රතිපාදන ආදිය සැලැකිල්ලට ගන්නාවිට පෙනී යන්නේ තවත් කාලයක් යනතුරු ඉහත විසමතාව දුරුකළ නොහැකි බව ය. තව කාලයක් යනවිට අධ්‍යාපනයේ අවශ්‍යතා තවදුරටත් සංකීර්ණ වන්නට පුළුවන. මේ සඳහා යොදාගත් ව්‍යතිරේකයක් ලෙස පෞද්ගලික ආධාර මත පාසල් දියුණු කිරීමේ වැඩසටහන් පෙන්වා දිය හැකිය. අද වනවිට බොහෝ විදුහල්පතිවරු වැඩිහිටියන්ගේ මුදල් ආධාර මත තම පාසල් දියුණු කරමින් සිටිති. ඒ ගැන විවිධ විවේචන පවතින්නේ වුව එය වැරැද්දක් යැයි කිව නොහැකි ය.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන පාසලකට අවශ්‍ය පිහිනුම් තටාකයක් ඉතා කඩිනමින් ඉදිවූයේ ආදි ශිෂ්‍ය සංගමයේ වැඩසටහනක් නිසා ය. එම සංගමය ප්‍රසංග කිහිපයක් පවත්වා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගත්තේ ය. රජයේ මුදල් ලැබෙනතුරු බලා සිටියේ නම්; පිහිනුම් තටාකය ඉදිවීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. අද එම විදුහල ආශ්‍රයෙන් පිහිනුම් ශූරයන් ද බිහි වී ඇත. මේ අයුරින් පාසල්වලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා විවිධ සංවිධාන, දානපතියන් හා දේශපාලකයන් ඒකරාශීවීම යහපත් ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි ය. එලෙස ම එබඳු සිදුවීම් සමාජයේ අගය කිරීමට ලක්විය යුතුය.

අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය වැඩසටහන සඳහා තෝරාගෙන ඇත්තේ කොළඹට ආසන්න ප්‍රසිද්ධ පාසලකි. මේ වැඩසටහන අත්හදාබැලීමක් ලෙස කොළඹින් පටන්ගෙන පසුව පිට පළාත්වලට ව්‍යාප්ත කරන්නේ නම්; වැදගත් ය. කොළඹට පහසුකම් ඇති බවත් ඉන් පිට පළාත්වලට පහසුකම් අඩු බවත්; දුෂ්කරම පළාත්වලට පහසුකම් කිසිවක් නැති බවත් අප දන්නා සත්‍යයෙකි. එක්තරා කාලයක් තුළ කොළඹට කිරි අපට කැකිරි යනුවෙන් සටන් පාඨයක් නිර්මාණය වූයේ ද ඒ නිසා ය. මේ සටන් පාඨය තරුණ කැරැල්ලකට ජීවය දුන් සටන් පාඨයක් බව ද අප අමතක නොකළ යුතු ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින විසමතාව තරුණ අසහනයට බලපාන ප්‍රධාන සාධකයකි. දේශපාලකයන් ඒ බව වටහාගන්නේ නම්; එය ඉතා වැදගත් බව කිව හැකි ය.

සමාජයක දැක්ම, සංවර්ධනය හා සදාචාරය ඇති කළ හැකි ප්‍රධාන සාධකය අධ්‍යාපනය යැයි කිව හැකි ය. අධ්‍යාපනය සඳහා වැය කරන මුදල ආයෝජනයක් ලෙස සලකන්නේ ඒ නිසා ය. අප මුලින් සඳහන් කළ ආකාරයට අනුව අධ්‍යාපනය කාලෝචිත විය යුතු ය. එලෙසම ප්‍රායෝගික විය යුතුය. එසේ නොවන හැමවිටකම, උගතා සමාජයෙන් දුරස්වෙයි. ආර්ථික ක්‍රියාවලියෙන් අතහැරෙයි. පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් පිටවන තරුණයා කෙළින්ම රටේ ජාතික ආර්ථිකය සමඟ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ විය යුතුය. ඒ සඳහා උපකාරී වන එක සාධකයක් වන්නේ තාක්ෂණික ඥානයෙන් හා භාවිතයෙන් තරුණයා සන්නද්ධ කිරීම ය. ආචාර්ය හර්ෂ ද සිල්වාගේ වැඩසටහන ඊට සමපාත වෙයි.


නව අදහස දක්වන්න