සන්නිවේදනයේ අක්මුල් කියන කෞතුකාගාරය | දිනමිණ

සන්නිවේදනයේ අක්මුල් කියන කෞතුකාගාරය

බෙර හා හූ හඬින් ද ගිනි මැලයෙන්ද පොල්කටුවෙන්ද, ගිනි පෙට්ටියෙන්ද සන්නිවේදනය කළ සහ අත්හදා බැලූ මිනිසා ජංගම දුරකථනයෙන් ගව්ගණන් දුර සිට නිවසක් පාලනය කිරීම කෙතරම් දියුණු තත්ත්වයක් ද? කැමරා සවි කිරීමෙන් ඕනෑම දුරක සිට අදාළ සිදුවීම් නැරඹීමටත් එකිනෙකා සිටින ස්ථාන දුරකථනයට පැමිණෙන සංඥා පණිවුඩ හරහා දැන ගැනීමට හැකියාව ලැබීමත් ‍හොඳ සහ නරක දෙකටම මිනිසා භාවිතා කරන අයුරු අප දන්නා කරුණකි.

කුරුළු නද හැර හාවක් හූවක් නැ‍ඟුණේ නම් ඒ ඈතින් ඇසෙන වාහනයක් ගමන් ගන්නා ශබ්දයකි. හුදෙකලාවට කැමැති අයකුට මෙන්ම මනස හා පන්හිද අතර කෙරෙන කාරියට නම් මෙය අවැසිම තෝතැන්නකි. පාදුක්ක නගරයේ මීපේ ප්‍රදේශයේ අක්කර 36 ක වපසරියක් තුළින් ගත් අක්කර හයක ප්‍රදේශයක පිහිටා ඇති ජාතික විදුලි සංදේශ කෞතුකාගාරයෙහි වටිනාකම හොඳින්ම දන්නේ ඒ විෂය පථය හඹා යන්නකු පමණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සබඳතා අංශය මඟින් පාලනය කෙරෙන මේ කෞතුකාගාරයේ ඇති වැදගත් තොරතුරු සම්භාරය ජාතික සම්පතකි.

ජාතික විදුලි සංදේශ කෞතුකාගාරය මෙරටට පමණක් නොව දකුණු ආසියාවටම ඇති ඒ පන්නයේ එකම කෞතුකාගාරය වීම, සැබෑ ශ්‍රී ලාංකිකයකු නම් ඔබගේ සාඩම්බරයට හේතු විය යුතුම ය. අහස උසට ගොඩනැඟුණු අභිමානවත් චන්ද්‍රිකා කලුන (සැටලයිට් ඩිෂ්) සමඟින් ඉපැරණි සන්නිවේදන තොරතුරු, උපාංග හා දත්ත රැගත් නිහඬ කෞතුකාගාරය තුළට ඇතුළුවත්ම අපගේ මුතුන් මිත්තන්ගේ යුගයේ සිට ආරම්භ වූ සන්නිවේදන ක්‍රියාවලිය පිළිවෙළින් මේ යැයි පහදා දෙයි.

සන්නිවේදන විෂය සම්බන්ධයෙන් විවිධ රටවල් සමඟ ගනුදෙනු කරද්දී මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ හදවත වශයෙන් සලකනු ලබන බව ජාතික විදුලි සංදේශ කෞතුකාගාරයේ කළමනාකාරිනී ගගාරිනී විතානවසම් මහත්මිය අප හා පැවසුවාය. මේ සැටලයිට් තාක්ෂණ ක්‍රමය 1976 රාජ්‍ය නායකයන් මෙරටට පැමිණි අවස්ථාවේ දී භාවිතයට ගත් ද ඇය සන්නිවේදන කෞතුක වස්තු සමූහය 2016 වර්ෂයේ මැයි 17 වැනි දින මෙම ස්ථානයේ ස්ථානගත කෙරුණු බව ඇය පැවසුවාය.

රජ කාලයේ සියොතුන් අත හසුන් පත් යැවූ බව ද හූවකින්, බෙරකරුවන් මඟින්, සෙල් ලිපි මඟින්, ගින්දර අවුළුවා තැබීමෙන් මෙන්ම විවිධ ශබ්ද නැඟීමෙන් ද මිනිසා සිය පණිවුඩ හුවමාරු කරගත් බවට තොරතුරු ලෝක ඉතිහාසයේ සටහන් වී තිබේ. 1825 බ්‍රිතාන්‍ය විදුලි කාර්මික විලියම් ස්ටූවගන් සොයාගත් විදුලි කාන්දම් ක්‍රමය ඇමරිකානු ජාතික ජෝශප් හෙන්රි දුරස්ථ සන්නිවේදන කටයුතු අත්හදාබැලීම් සඳහා යොදා ‍ගෙන 'විදුලි පණිවුඩ උත්පාදන' ක්‍රමවේදය සොයා ගත් අතර පැන්සලයක් සවි කළ දෝලනයක් මඟින් චලනය වන කඩදාසි පටියක් මත සංකේත මඟින් පණිවුඩ සටහන් කිරීමේ මෝස් සංඥා ක්‍රමය 1835 වසරේ දී ලොවට හඳුන්වා දෙන ලද්දේ සැමුවෙල් මෝස් විද්‍යාඥයා විසිනි. එතැන් සිට නව්‍යකරණයට ලක් වූ සන්නිවේදන ක්‍රියාවලිය නොබෝ දිනකින් මෙරටට ද පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1857 දී ආරම්භ වීමත් සමඟ 1958 අවුරුද්ද වන විට රටේ විවිධ ප්‍රදේශවලට සන්නිවේදන ක්‍රියාදාමය ආරම්භ කළේ ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ වූ පොල් ගස් එකිනෙකට යා කෙරෙන පරිද්දෙන් රැහැන් සම්බන්ධ කිරීමෙනි. මේ ‍‍ ඓතිහාසික තොරතුරු හා ඡායාරූප සියල්ලම කෞතුකාගාරයේ සුරක්ෂිතව තිබේ.

කෞතුකාගාරයේ ද්වාරයෙන් පිවිසෙන ඔබගේ දකුණු පසින් ආරම්භ වන්නේ ලණු හෝ වැල් පොටකින් සම්බන්ධ කර ඇතැයි සිතිය හැකි පොල්කටු දෙකක් ‍ලවන්පත් මත තබාගෙන සිනහ මුසු මුහුණින් ගම්බද දරුවකු හා දැරිවියක අතර කෙරෙන සිඟිති සන්නිවේදන උපක්‍රමයේ පිළිරුවක් සහිත කාමරයකි. එය ඉපැරණි සන්නිවේදනයේ මූලික අවස්ථාවක් මෙන්ම එකළ දරු දැරියන්ගේ ළමා කාලයේ රස තැන් සිහිපත් කරවන්නකි. ඒ අවට ඝණකම වීදුරු යොදා ඇති රාක්කවල ආරක්ෂා වන්නේ සන්නිවේදන ඉතිහාසයේ මහා වැදගත්කමක් උසුලන මෝස් සංඥා ප්‍රතියෝජකය, විදුලි පණිවුඩ යතුරු, ස්ථානීය කඩතුරාව, ගැල්වනෝමීටරය, අධිබල සම්ප්‍රේෂණ සඳහා භාවිතා කළ විවිධ මාදිලිවල කපාට, රැහැන් රහිත හුවමාරු ස්වියන්, රැහැන් සහිත මැගිංටෝ ස්විච් පුවරුව, එඩිස්ටෝන් රේඩියෝ සංක්ෂි ප්‍රතිග්‍රාහකය, මුල් යුගයේ භාවිතා කළ ටෙලිප්‍රින්ටරය, පොදු ස්ථාවල භාවිතා කළ ප්‍රධාන වේලා පාලක ඔර්ලෝසුව, කඩදාසි ආවරණය සහිත අනු රැහැන් ගණනාවකින් සමන්විත සම්ප්‍රේෂණ කේබලය, ඊයම් ආවරණය සහිත සම්ප්‍රේෂණ රැහැන්, විවිධ මාදිලිවල සම්ප්‍රේෂණ රැහැන්, මනුබිලයන්ට වාතය සපයන උපකරණය, රැහැන් පරිවාරක, භූගත රැහැන් පෑස්සුම් ආරක්ෂක ආවරණය, දුරකථන රැහැන් බෙදාහැරීමේ පෙට්ටි, අතේ ගෙන යා හැකි පීඩන මාපකය වැනි අද්විතීය සුරැකුම් උපකරණ රැසකි.

ඉන් පසුව හමුවන තවත් කාමරයක හමුවන්නේ අතීතයේ සිට ක්‍රමිකව විකාශනය වූ ‍දුරකථන වර්ග සමූහයකි. තැනින් තැනට ගෙන යා හැකි යුද හමුදාව භාවිතා කළ දුර්ලභ ඝණයේ දුරකථනයක් මෙහි සුරක්ෂිතව ඇත. එක් තැනකින් තවත් තැනකට කථා කළ හැකි දැවමය රාමුවක් සහිත දුරකථනවල සන්නිවේදන හැකියාව මෙන්ම රුවද ගාම්භීරය. මැගිංටෝ ක්‍රමයට විදුලිය ලබාගෙන ක්‍රියා කරන දුරකථන ද අංක කරකවා දුරකථන ඇමතුම් ලබා ගත හැකි දුරකථන ද දිගු දෙකක් සහිත දුරකථනය, බෝගල මිනිරන් පතලේ සවි කර තිබූ දුරකථනය, පතල්වල සවි කළ වෙනත් දුරකථන වර්ග හා විවිධ මාදිලියේ දුරකථන වර්ග සමූහයක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ නරඹන්නන්ගේ සිත් පෞරාණිකත්වයේ ඇති සුන්දරත්වයට ඇලුම් කරවන්නට මෙනි.

සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී ප්‍රමුඛස්ථානයේ පවතින පැරණි 'ස්වයංක්‍රීය හුවමාරු' කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ප්‍රථම ස්වයංක්‍රීය හුවමාරුව බිහි වුණේ 1891 වසරේ දී ය. බී‍.ස්ට්‍රවුගර් විද්‍යාඥයා විසින් නිර්මාණය කළ ස්වයංක්‍රීය හුවමාරුව 1920 වන විට ශ්‍රී ලංකාවේ තැපැල් හා විදුලි පණිවුඩ දෙපාර්තමේන්තුවේ භාවිතය සඳහා යොදාගෙන ඇති අතර සජීවී දුරකථන 3000 ක් සම්බන්ධ කළ හැකි ස්ට්‍රවුගර් ස්ව්‍යංක්‍රීය හුවමාරුව 1939 දී සවි කෙරිණ.

මේ සියළුම උපකරණ හා උපාංග නරඹා කෞතුකාගාරය කෙළවර වන්නේ ස්මාර්ට් යුගයෙනි. එනම්, සන්නිවේදන තාක්ෂණය ජංගම දුරකථන හා දියුණු තාක්ෂණික සන්නිවේදන ක්‍රමවේදයන් වෙත පැමිණෙන ආකාරය නිරූපනය කරමින් එම උපකරණ කට්ටල, තොරතුරු මූර්ති හා ඡායාරූප කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

ජංගම දුරකථන මුල් යුගයේ සිට වර්තමාන අති දියුණු ජංගම දුරකථනය දක්වා සාම්පල සීල් තැබූ දැවැන්ත වීදුරු රාක්කයක ප්‍රදර්ශනයට තබා ඇත. එහි චන්ද්‍රිකා කුලුනක අනුරූපයක් ද නිර්මාණය කර තිබේ. ඉන්පසු අති දියුණු, සුවිශේෂී නිවසක් තුළ මින් පසුව අපට පිවි‍සිය හැකිය. එය ස්මාර්ට් යුගයට අයත් නිවසකි. නවීන පන්නයේ පුටු සැටියකින් යුතු විසිත්ත කාමරයේ අති නවීන පන්නයේ ‍රූපවාහිනියක් තබා ඇත. නිදන කාමරය හා මුළුතැන්ගෙය ද නවතම අංගයන්ගෙන් යුතුය. මෙහි විශේෂත්වය වන්නේ නවීන නිවස පාලනය වන්නේ ජංගම දුරකථනයෙන් වීමයි. එනම්, වයි ෆයි තාක්ණෂණය හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගෙන ජංගම දුරකථනය හරහා නිවසේ සියළුම විද්‍යුත් උපකරණ විවෘත කිරීම හා වසා දැමීම, නිවසේ දොර ජනේල මෙන්ම දොර ජනේල ආවරණ පවා වැසීම, ඇරීම, නිවෙසේ ජල නල වැසීම හා ඇරීම මෙන්ම නිවසේ විදුලිය හෝ ගෑස් කාන්දුවක් වුවද ලොව කොතැනක සිටියත් ජංගම දුකථනයට පැමිණෙන සංඥාවක් හරහා දැන ගැනීමට හැකි ක්‍රමවේදය කෞතුකාගාරයේ නිර්මාණය කර ඇති ස්මාර්ට් නිවසෙන් අත්දැකිය හැකිය. ධනවත් පවුල් අතර මෙම ක්‍රමවේදය භාවිතයට ගැනෙමින් පවතී.

බෙර හා හූ හඬින් ද ගිනි මැලයෙන්ද පොල්කටුවෙන්ද, ගිනි පෙට්ටියෙන්ද සන්නිවේදනය භාවිතා කළ සහ අත්හදා බැලූ මිනිසා ජංගම දුරකථනයෙන් ගව්ගණන් දුර සිට නිවසක් පාලනය කිරීම කෙතරම් දියුණු තත්ත්වයක් ද? කැමරා සවි කිරීමෙන් ඕනෑම දුරක සිට අදාළ සිදුවීම් නැරඹීමටත් එකිනෙකා සිටින ස්ථාන දුරකථනයට පැමිණෙන සංඥා පණිවුඩ හරහා දැන ගැනීමට හැකියාව ලැබීමත් ‍හොඳ සහ නරක දෙකටම මිනිසා භාවිතා කරන අයුරු අප දන්නා කරුණකි. මේ සියලුම දියුණු ක්‍රමවේදයන් ක්‍රමිකව විකාශනය වූ ඒවා ය. කෞතුකාගාරය නැරඹීමෙන් අත්දැකිය හැකි ලෝක සන්නිවේදන තාක්ෂණ‍ය සෑම සියුළු දෙනාටම වටිනාකමින් ඉහළය.

ජාතික විදුලි සංදේශ කෞතුකාගාරය මේ ක්ෂෙත්‍ර පිළිබඳ අවධානය යොමු කරන, සැලකිල්ලක් දක්වන හා අධ්‍යනය කරන ඕනෑම අයකුට ‍කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ. පාසල් සිසුන්, දෙස් විදෙස් සංචාරකයන් වෙත මෙය මෙය සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලය ඇතුළත විවෘතව පවතී. දරුවන් සඳහා රු.20/- ක්, වැඩිහිටියන් සඳහා රු.50/- ක්, විදේශිකයන් සඳහා රු.200/- ක් වැනි සුළු මුදලක් කෞතුකාගාරය නැරඹීම සඳහා අය කරගන්නා අතර ඉන් ලැබෙන දැනුම් සම්භාරය නම් මිල ‍කළ නොහැකි බව ඉඳුරා කිව යුතුය. කෞතුකාගාරය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දුරකථන අංක 0094112859666, 0716837712, 0718726941 ඇමතීමෙන් ලබාගත හැකිය.

සටහන - චින්තා රණසිංහ
ඡායාරූප - රංජිත් අසංක


නව අදහස දක්වන්න