අධ්‍යාපනයේ ඇති නැති පරතරය | දිනමිණ

අධ්‍යාපනයේ ඇති නැති පරතරය

අඩු පහසුකම් ඇති ග්‍රාමීය පාසල්වලට දරුවන් ඇතුළත් කොට ඔවුන්ගේ අනාගතය දෙස දුක්මුසුව බලමින් සුසුම් හෙළන්නේ අතිශය දුප්පත් ජනතාවයි. හැකියාවක් ඇති පිරිස ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් තෝරාගනු ඇත. ඒ අනුව පෙනී යන්නේ පුද්ගලයකු තුළ ස්වයං විශ්වාසයක් ගොඩනැඟීමට අපේ අධ්‍යාපනය අසමත් ව ඇති බවයි.

අධ්‍යාපනයෙන් කෙරෙන්නේ සංස්කෘතිය පවරා දීමකි. පෙර අපරදිග අධ්‍යාපන දාර්ශනිකයන් සහ අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් අධ්‍යාපනයෙන් විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ලෝකයට පහදා දී තිබේ. බුදුන් වහන්සේ ද ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් සේ ම අධ්‍යාපනඥයෙකි. අපේ අධ්‍යාපනයේ හැඩතලය කෙසේ විය යුතුද යන කාරණය පිළිබඳ එවන් දර්ශනයන් තුළින් අපට පාඩම් උගත හැක. අධ්‍යාපනයේ හැඩතලය සකසාගත යුත්තේ අතීත සම්ප්‍රදායන්, වර්තමාන සම්ප්‍රදායන් සහ අනාගත අවශ්‍යතා යන සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ය. මෙහිදී පැන නැඟී ඇති ගැටලුව නම් අතීත සම්ප්‍රදායන් අප විසින් ආරක්ෂා කිරීමට උත්සාහ කළ ද, අනාගතයට ගැළපෙන අන්දමේ නූතන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනඟා ගැනීමට අපට හැකිව තිබේද යන්නයි.

මෙරට අඳුරු පැල්පත් බොහෝමයක් එළිය කළේ නිදහස් අධ්‍යාපනයේ ආලෝකයයි. මහජන මුදලින් අධ්‍යාපනය ලබා, ජීවිතය දිනූ සියල්ලන්ට ම රටට ගෙවීමට ණයක් ඇත. මෙරට අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් කරඋර දීමේ වගකීම ඔවුන් වෙත ද පැවරී ඇති බව කියනු කැමැත්තෙමි. ඛේදවාචකය නම් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ජීවිතය දිනූ බොහෝ දෙනකු රටේ ඉහළ තාන්නමාන්න ලැබූ පසු අධ්‍යාපනය පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු නොකිරීමයි. පිදුරු ගස් අල්ල අල්ලා පැමිණ, නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් මධ්‍යම පංතියට රිංගා ගත් බහුතරය, එම වරප්‍රසාදය සෙසු පීඩිත ජනතාවට ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමට කෙතරම් දුරට දායක වනවාද යන්න ගැටලුවකි.

පෙරට ගෙනයන හණමිටිය

අපේ අධ්‍යාපන දර්ශනයත් දේශපාලන දර්ශනයත් අතර පෑහීමක් නැති අතර, අධ්‍යාපන ක්‍රමය සැකසිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත අරමුණක් නැති අපි, පෙර කරේ තියාගෙන පැමිණි හණ මිටිය ම දිගින් දිගට ම කර පින්නාගෙන යන්නෙමු. පවත්නා අධ්‍යාපන ක්‍රමය රටට හෝ රැකියා වෙළඳපොළට නොගැලපේ. එහි වරද අධ්‍යාපනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්, ගුරුවරුන් සහ සමස්ත ජනතාව මත පැවරෙනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටක අධ්‍යාපනය සංවර්ධනයට දායක කරගන්නා ආකාර කිහිපයකි. පළමුවැන්න නම් ජනතාව තුළ ස්වයං විශ්වාසයක් ගොඩනැඟීමයි. අද වන විට යම්තම් හෝ ආර්ථික ශක්තියක් ඇති පිරිස සිය දරුවන් රජයේ විශ්වවිද්‍යාලවට යොමු නොකරන අතර ඒවායෙන් උපාධි ලැබීමට පෙළඹෙන බහුතරය අතිශය දුප්පත්, කරකියාගත හැකි අන් යමක් නොමැති පිරිසකි. ඉහළ හැකියාවක් ඇති මධ්‍යම පාංතිකයන් තමන්ගේ දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස්ගත කරන අතර තවත් පිරිසක් පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතනවලට යොමු වෙති. පාසල්වල තත්ත්වය ද මෙය ම ය. අඩු පහසුකම් ඇති ග්‍රාමීය පාසල්වලට දරුවන් ඇතුළත් කොට ඔවුන්ගේ අනාගතය දෙස දුක්මුසුව බලමින් සුසුම් හෙළන්නේ අතිශය දුප්පත් ජනතාවයි. හැකියාවක් ඇති පිරිස ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් තෝරාගනු ඇත. ඒ අනුව පෙනී යන්නේ පුද්ගලයකු තුළ ස්වයං විශ්වාසයක් ගොඩනැඟීමට අපේ අධ්‍යාපනය අසමත් ව ඇති බවයි.

මිනිසුන් අතර සහයෝගය පුරුදු පුහුණු කරවීම අධ්‍යාපනයෙන් විය යුතු තවත් යමකි. දිනූ නිදහසට වසර 71ක් ගෙවෙන විට ද අප සිටින්නේ සුළු සිදුවීමක් ජාතිවාදයක් දක්වා ඔඩුදුවන තැනක ය. එයින් පෙනී යන්නේ අපේ අධ්‍යාපනය මිනිසුන් අතර සහයෝගය ඇති කරවීමට ද අසමත් ව ඇති බවයි.

සම්පත් නාස්තිය සහ දූෂණය, අල්ලස වැනි දේට පෙළඹවීම වැලකීම අධ්‍යාපනයෙන් කළ යුතු තවත් කාර්යයකි. නමුදු පාසලට ළමයා ඇතුළත් කිරීමට ද විදුහල්පතිවරයාට අත යටින් මුදල් දීමට සිදුවන අධ්‍යාපන ක්‍රමයකි අපට හිමිව ඇත්තේ අනෙක් අතින් පාසල් තුළ දරුවාට දැඩි දඬුවම් ලබාදීම, දරුවන්ගේ විභාග මානසිකත්වය මුල්කරගෙන දැඩි ලෙස මුදල් සූරා කන ටියුෂන් මාෆියාව වැනි පිළිලයන් ඔඩුදුවන කල දැයේ දරුවාගේ අධ්‍යාපනය ආරක්ෂා වන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි. අපේ අධ්‍යාපනයේ ඇති තවත් බරපතළ ගැටලුවක් වන්නේ, නිර්මාණාත්මක චින්තනය දියුණු නොකිරීම. විෂය කරුණු කටපාඩම් කොට, විභාගයට හොඳින් ම පිළිතුරු සපයන ගිරා පෝතකයා උඩට එන අතර නිර්මාණාත්මක චින්තනයට අවැසි තැන ලබාදීමට අපේ අධ්‍යාපනය අසමත්ව ඇත. බොහෝවිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දේශපාලන ව්‍යාපාරවල අතකොළු බවට පත්ව සිටින්නේ ද නිර්මාණාත්මක ව සිතීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙනි. කිසිවකුගේ ඉගැන්නුම් බසට ඔවුන් රැවටී පාරක් පාරක් ගාණේ බෝර්ඩ් කෑලි එල්ලාගෙන කෑගසන්නේත්, නවක වදය දීමට පෙරමුණ ගන්නේත් ඉන් එහාට ලෝකයක් ඇති වග නොසිතමිනි. නිර්මාණාත්මක අධ්‍යාපනය දියුණු කිරීම රජයකට තනිව කළ නොහැක්කකි. ඒ සම්බන්ධයෙන් රජයට දැරිය හැකි පිරිවැය සීමා සහිත වන අතර අනවශ්‍ය සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් රජය ද මඟ වරද්දාගෙන ඇත.

නිලඇඳුම් සහ පෙළපොත් දුප්පතුන්ට පමණක් නොමිලයේ ලබාදීම ප්‍රමාණවත් ය. නමුත් සියලු දෙනාට මේවා නොමිලයේ ලබාදීමට රජය විශාල පිරිවැයක් දරයි. එනිසා ම සැබෑ දුප්පතුන්ට සහන ලැබීමට ඇති අවස්ථා ඇහිරී යනු ඇත. රජයට කළ හැකි සීමාව ඉක්මවා අධ්‍යාපනය වෙනුවෙන් යමක් කිරීමට නම් පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබාගත යුතු ය. අධ්‍යාපනය පෞද්ගලික අංශයට ද විවෘත කළ යුතු අතර එහි ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සඳහා යම්කිසි නියාමනයක් පවත්වාගෙන යා යුතු ය. සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සම්බන්ධයෙන් ගත යුතු ව තිබු ක්‍රියාමාර්ගය නම් එය ප්‍රතික්ෂේප කිරීම නොව, ගුණාත්මක බව රැකගනිමින් පවත්වාගෙන යෑමට ප්‍රතිකර්ම සෙවීම ය. අවස්ථාවාදී දේශපාලනඥයන් සහ වෘත්තීය සංගම්වල ඊර්ෂ්‍යා සහගත පිරිසකගේ මැදිහත් වීමෙන් එය ද වසාදැමුණි.

අති දුෂ්කර ලෙස අධ්‍යාපනය ලැබූ, අවස්ථාවාදී දේශපාලනඥයන් සහ අධ්‍යාපනඥයින් සිතනුයේ සියල්ලන් ඔවුන් ආ මඟ ම ආ යුතු බව ය. නිර්මාණාත්ම චින්තනය දියුණු වීමට ඉඩක් තබන්නේ නැත. නමුදු සැබෑවට ම විය යුත්තේ නිර්මාණාත්මක චින්තනය දියුණු කිරීමේ වැඩසටහන් විවිධාකාරයෙන් දියුණු කිරීමයි. එය ඇරැඹිය යුත්තේ පාසලෙනි. පාසල්වලට යෝග්‍ය තාක්ෂණය පිළිබඳ අප වටහා ගත යුතු ය. ශිෂ්‍යශිෂ්‍යාවන්ට ටැබ් පරිගණකයක් ලබාදීමට ගත් තීරණය බුද්ධිමත් ය. පෙළපොතේ බරත් අඩුකරන අතර දරුවා ලෝකයට ප්‍රවේශ වීමේ මාර්ගයක් ලෙසත්, නව නිර්මාණාත්ම අධ්‍යාපනයට පිවිසුමක් ලෙසත් ටැබ් පරිගණකය යොදාගන්නවා නම් යෙහෙකි. දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී තාක්ෂණය අත්‍යවශ්‍යයෙන් යොදාගත යුතු ය. නොඑසේ නම් සිදු වන්නේ යල් පැනගිය ක්‍රමය තුළ දරුවා අතරමං වීමයි.

නායකත්ව ගැටලුව

නායකත්ව ගැටලුව, අපේ අධ්‍යාපනයේ ඇති තවත් මූලික අර්බුදයකි. බොහෝ පාසල්වලට විදුහල්පතිවරුන් නොමැත. ඇතැම්විට පත් කරන විදුහල්පතිවරුන් ද නායකත්ව කුසලතා මත නොව දේශපාලන සබඳතා මත කඩාපාත් වන්නන් ය.රටක් ලෙස අප ඉදිරියට යෑමට නම් පන්දමට නොව තැන දිය යුත්තේ හැකියාවට ය. නමුදු අද බොහෝ තැන්වල දක්නට ඇත්තේ කනයා නැති වළට ලූලා පණ්ඩිතයා වීමයි.

අපේ විෂය මාලාව තුළ අඩුලුහුඩුකම් රැසකි. එහි ඇති ප්‍රායෝගික ගැටලු අවම කරගත හැකි නම් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුවට මංපෙත් විවර වනු ඇත. ලෝකයේ දැඩි ආගමික භක්තියක් ඇති ඇතැම් රටවල පාසලේ දී ආගම වෙනුවට දරුවාට උගන්වන්නේ සදාචාරයයි. අපේ පාසල්වල හය හත ශ්‍රේණිවල දරුවන්ට කර්මය පිළිබඳ ඉගැන්වුවද එය ජීවිතයට කෙතරම් දුරට ප්‍රායෝගිකව බලපානු ඇත්ද යන්න ගැටලුවකි. දරුවාට ඉගැන්විය යුත්තේ කර්මය නොව සමාජය තුළ ගෞරවනීය පුරවැසියකු ලෙස ජීවත් වන ආකාරයයි. ලෝකෝත්තර ජීවිතයට පෙර සැකසිය යුත්තේ ඔවුන්ගේ ලෞකික ජීවිතයයි. අධ්‍යාපනය තුළින් විෂය කරුණු ඉගැන්වීමට අමතරව දරුවා තුළ සාරධර්ම, අනුකම්පාව, දයාව, ආදරය, කරුණාව ඇති කරවිය යුතු ය. මෙවර රජය විසින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට 6000ක පමණ පිරිස වැඩිපුර ඇතුළත් කරගැනීම පැසසිය යුතු කරුණකි. ඒ සමඟ ම අප අවධානය යොමු කළ යුත්තේ උසස් අධ්‍යාපනය අහිමි වූ තවත් විශාල පිරිසකගේ අනාගතය වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්නයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් රජය විසින් ශිෂ්‍ය ණය ක්‍රමයක් ලබාදීමේ වැඩසටහන ද සැබවින් ම පැසසිය යුතු ය. එතුළින් ඔවුන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙන අතර, රැකියාවක නිරත වූ කලෙක එම ණය මුදල නැවත රජයට අය කරගත හැකි ය. මහපොළ ශිෂ්‍යාධාරය ද පිනට පිදිය යුතු නැත. එය ද ශිෂ්‍ය ණයක් ලෙස ලබා දෙනවා නම් දරුවාට ඒ පිළිබඳ වගකීමක් දැනෙනු ඇත. අද මහපොළ පෙනෙන්නේ දුප්පත්කමට දෙන සහනාධාරයක් ලෙසිනි. නමුදු සහනාධාර දීමෙන් දුප්පතුන් හෝ දුප්පත්කම නැති කළ නොහැකි වග අප සිහි තබාගත යුතු ය. සහනාධාර ලබාදෙන විට සිදුවන්නේ දුප්පත්කම වැඩි දියුණුවීමයි. එනිසා මහපොළ ශිෂ්‍යාධාර ලබාගත් පිරිස රැකියාවක නිරත වන කල එම මුදල නැවත එම අරමුදලට බැර කිරීමට සලස්වන්නේ නම් වටී. අයිතිවාසිකම් භුක්ති වින්දේ නම් ආපිට යුතුකම් ද ඉටු කළ යුතු ය.

සහනාධාර සහ ණය

මහපොළ ලබාගත් ශිෂ්‍යයින් ඉගෙන ගෙන රටේ වැදගත් තාන්න මාන්න දක්වා යෑමට මංපෙත් විවර කරගෙන ඇත්තේ ජනතාවගේ බදු මුදල්වලිනි. ඒ මුදල් ඇතිහැකි කලෙක මේ රටේ දුප්පතුන්ට ආපිට ගෙවිය යුතු ය. සපයන සේවය වෙනුවෙන් ලබන වේතනයෙන්, ජනතාව ඔවුන් වෙනුවෙන් වියදම් කළ මුදල නැවත මහපොළ ශිෂ්‍යාධාර අරමුදලට ම යෙදවිය හැකි ය. ඉදිරි පරපුරෙහි අධ්‍යාපනය සුරක්ෂිත වන්නේ එවිට ය. එවැනි ප්‍රායෝගික වැඩපිළිවෙළ සැකසීම අධ්‍යාපනයේ පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයකි. එසේ ම පෞද්ගලික අංශය දායක කරගැනීම ද අත්‍යවශ්‍ය කාරණයකි. අධ්‍යාපනය විකුණාගෙන කමින් ජීවිතය සුඛිත මුදිත කරගන්නා පිරිසකට තැන දිය යුතු නැත. නමුදු ලාබ ලැබීම අවම කරමින් ජනතාවට සුබසාධනයක් සැලසෙන ආකාරයට පෞද්ගලික අධ්‍යාපනයක් රැක ගත හැකිනම් පෞද්ගලික ව්‍යවසායකයන් ලාබ ලැබීම ගැටලුවක් නොවනු ඇත. ඇමරිකාවේ හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් උසස් අධ්‍යාපන ආයතන, උපයන ලාබය නැවත යොදවන්නේ අධ්‍යාපනය වෙනුවෙන් සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ම ය. එවන් දියුණු තත්ත්වයකට යෑමට නම් මූලික පදනම අප විසින් සකසාගත යුතු ය. නොඑසේ නම් මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අර්බුදය දිගින් දිගටම පවතිනු ඇත.

අධ්‍යාපනය රැකගැනීමට නම් ඒ පිළිබඳ උනන්දුවක් ඇති, අධ්‍යාපනය සම්බන්ධයෙන් පර්යේෂණ කළ සහ බුද්ධිමය දායකත්වයක් දිය හැකි අධ්‍යාපනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතු ය. කන්නන්ගර මහතා දිනා දුන් නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස යන සංකල්ප දෙක ම රැකගත හැක්කේ එසේ කිරීමෙනි. සකස් විය යුත්තේ රටේ සංවර්ධන ඉලක්කයන්ට දායක වන අන්දමේ අධ්‍යාපන ප්‍රතිපත්තියකි. ඒ සඳහා කොන්ද පණ ඇති දේශපාලනඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු ය. බල්ලාගේ වැඩේ බූරුවාට පවරා දුන හොත් උද්ගත වන්නේ බරපතළ ඛේදවාචකයකි.

සටහන - කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න