වැටුප් වැඩි කිරීමට අපි සම්බන්ධ නැහැ | දිනමිණ

වැටුප් වැඩි කිරීමට අපි සම්බන්ධ නැහැ

දුමින්ද සම්පත්
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ

වතුකම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය සහ සාමූහික ගිවිසුම, ජාතික ආණ්ඩුකතා කතාබහ, පළාත් සභා මැතිවරණය පිළිබඳ ප්‍රශ්න ආදිය වෙනුවෙන් අදහස් දෙක වෙන්වේ.

වතු කම්කරුවන්ගෙ ප්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවට රටේ ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියල සමහරු අහනවා. ඔබ මොකද කියන්නෙ?

වතු කම්කරු ප්‍රශ්නය අපේ මට්ටමෙන් අපි විසඳුවා. ඒකට ආණ්ඩුවට මැදිහත්වෙන්න බැහැ. ඒක විස‍ඳෙන්නෙ සාමූහික ගිවිසුමකින්. වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ සංගමය මේ සාමූහික ගිවිසුම අත්සන් කළා. වතුකරය නියෝජනය කරන වෙනත් වෘත්තීය සමිති මේ ලැබුණු දේ ප්‍රමාණවත් නැහැ කියල කියනවා. තව මොනව හරි අරන් දෙන්න පුළුවන්ද කියලා අපිත් හොයල බලනවා.

රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලපු කම්කරුවව රුපියල් 700ක් දීල රැවට්ටුවනේද?

මේ අය කියන්නෙ රුපියල් 500 මූලික වැටුප රුපියල් 1000 කරන්න කියලයි. ඒක එකපාර කරන්න බැරිබව හැමෝම දන්නවා. වතු කම්කරුවන් වැඩිපුර කඩන දළු කිලෝවකට ගෙවපු රුපියල් 25 රුපියල් 40 ක් කළා. දවසකට වැඩිපුර කි‍ලෝ 10ක් කැඩු‍‍වොත් වැඩිපුර රුපියල් 400ක් ලැබෙනවා.

ප්‍රසාද දීමනාවත්, පැමිණීමේ දීමනාවත් අයින් කරලයි මේ වැටුප් වැඩිවීම කරල ති‍යෙන්නෙ?

අපි මේකට මැදිහත් වුණේ නැහැ. වෘත්තීය සමිතියි හාම්පුත්තුයි එකතුවෙලයි මේ එකඟතාවට ඇවිත් තියෙන්නෙ මූලික වැටුප 700ක් වුණාම අර්ථසාධකය ග්‍රැටිවිටි එක වැඩිවෙනවා.

මේ ගිවිසුම අත්සන් කරද්දි අගමැතිවරයත් හිටිය බව කියනවා?

ගිවිසුම අත්සන් කරන්න අගමැතිවරයගෙ සම්බන්ධයක් නැහැ. අත්සන් කළාට පස්සෙ මේ පාර්ශ්ව දෙකම අගමැතිතුමා මුණ ගැහෙන්න අවශ්‍ය බව කිව්වා. මමත් එතන හිටියා. ඒ වෙලාවෙදි අගමැතිතුමා ඔවුන් හමුවුණා. වැඩිම සාමාජික ප්‍රමාණයක් ඉන්න වෘත්තීය සමිති දෙක තමයි ගිවිසුම අත්සන් කළේ. මේකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයෙ වෘත්තීය සමිතියකුත් මේ ගිවිසුමට අත්සන් කළා. මේ ලැබුණු වැටුප් වැඩිවීම ප්‍රමාණවත් කියල ඔබ හිතනවද?

මේ වැටුප් වැඩිවීමත් එක්ක අවුරුද්දකට රුපියල් 12,000ක විතර අර්ථසාධකයක් මේ සේවකයන්ට ලැබෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්.

දින 51 ආණ්ඩුව එක්ක වතු සමාගම් වෘත්තීය සමිති මේ ගැන කතා කරද්දි වතු සමාගම් රුපියල් 1000ක වැටුප් වැඩි කිරීමකට එකඟ කරගත හැකි මට්ටමක හිටිය බවයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?

තොණ්ඩමන් ඇමතිතුමත් හිටියනෙ. එහෙම එකඟතාවක් තිබුණෙ නැහැ. තොණ්ඩමන් මහත්තයගෙ වෘත්තීය සමිතියත් මේකට එකඟ වුණා. සාමූහික ගිවිසුමට අත්සන් කළා.

වතු කම්කරුවට රුපියල් 1000ක් දෙන්න බැරිනම් වතු රජයට පවරාගන්න කියල ආණ්ඩුවෙම කොටසක් කියනවා?

ආණ්ඩුව සතුවත්, වතු කීපයක් ති‍යෙනවා. ඒ වතුවල තත්ත්වය බොහොම නරකයි. ඒවයෙ සේවකයන්ගෙ අර්ථසාධක ගෙවන්නෙ නැහැ කියලත් චෝදනා එනවා. රජයට වතු කරන්න බැරි හින්ද තමයි වැවිලි සමාගම්වලට තාවකාලිකව බදු දුන්නෙ.

EPF එක පෞද්ගලික අංශයෙ ආ‍යෝජනය රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ යෝජනාවක් කියලයි කියන්නෙ.?

EPF එක අරමුදලක්. ඒක තරකරගන්න ඕන. ඒ සඳහා ආයෝජනය කිරීමේ වරදක් නැහැ. ලෝකෙ වෙනත් රටවල ඒක කරනවා.

මහ බැංකු වංචාවත් එක්ක අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් වෙච්ච බවයි කියන්නෙ?

කොමිෂන් සභාවේ වාර්තාවට අනුව උසාවියෙන් තීන්දුවක් දෙයි. ඒ තීන්දුව එනකන් ඒ ගැන කියන්න බැහැ. අර්ථසාධක අරමුදල් කිසිම හොයා බැලීමක් නැතිව අසාර්ථක ව්‍යාපෘතිවල ආයෝජනය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. අද ඒ ගැන කවුරුවත් කතාකරන්නෙ නැහැ.

මේ ආණ්ඩුව කම්කරුවන්ගෙන් පළිගන්නව කියලත් චෝදනාවක් තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපන, තරුණසේවා, නිවාස, නාගරික සංවර්ධන ආයතනවල අසාධාරණ මාරුවීම් ගැනත් දේශපාලන පළිගැනීම් ගැනත් කියනවා.

කම්කරු අමාත්‍යාංශයට තවම එහෙම පැමිණිලි ලැබිල නැහැ. ඒ අයගෙ වෘත්තීය සමිති මාර්ගයෙන් ඕනම කෙනෙකුට අපිට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම ආවොත් අපි සොයා බලනවා. ඒවට විසඳුම් දෙනවා. දේශපාලන පළිගැනීම්කරන ක්‍රමවේදය 2015දී නතර වුණා. ඒකට ප්‍රධාන හේතුව ප්‍රධාන පක්ෂදෙක එකතුවෙලා ආණ්ඩුවක් හදපු එක. ඒ නිසා ඔය දේශපාලන පළිගැනීම් දැන් නැහැ. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයත් ආණ්ඩුවෙ හිටියා.

මේ චෝදනාව එල්ල කරන්නෙ ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වයෙන්?

එහෙනම් විධිමත් පැමිණිල්ලක් තියෙන්න එපැයි.

ඔබ ජාතික ආණ්ඩුවක් ගැන කිව්වා. නැවතත් ජාතික ආණ්ඩුවක් ගැන කතා වෙනවා. ජාතික දින උත්සවයේදී ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා. ඔබ මොකද හිතන්නෙ?

මේ රටේ ප්‍රශ්න විසඳන්න නම් ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ හින්දනෙ ජනාධිපති තුමා මේකට මුල පුරල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කණ්ඩායමක් එක්ක ජාතික ආණ්ඩු සංකල්පයට ඇතුල්වුණේ. අවුරුදු තුනහමාරකට පස්සෙ, කවුරුහරි එතුමට දීපු වැරදි වැටහීමකට අනුව තමයි එතුමා ජාතික ආණ්ඩුව අහෝසි කළේ. එතුමා ගත්තු ක්‍රියාමාර්ගය වැරදියි කියල උසාවියත් කිව්වනෙ. ජාතික ආණ්ඩුකරනකොට ප්‍රශ්න එනවා. ඒව විසඳගන්න ඕන. රටේ ජනතාව වෙනුවෙන් නම් ජාතික ආණ්ඩු තීරණ ගන්නෙ, එන ප්‍රශ්නවලදිත් එකට ඉන්න ඕන.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ ජාතික ආණ්ඩුවට විරුද්ධ බවයි කියන්නෙ?

ඒ අය ජාතික ආණ්ඩුවකට විරුද්ධ බව නෙවෙයි කියන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කලින් ආණ්ඩුවේදී හැසිරිච්ච විදියට වැඩකරනව නම් එවැන්නකට ඔවුන් විරුද්ධ බවයි කියන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩු සංකල්පය කඩල තනි තීන්දුවක් ගත්ත. ඒ ගත්තු තීරණය වැරදියි කියල ඒ අයට දැන් තේරෙනවා.

ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුවට එන බව සමහරු කියනවා. සමහරු කියන්නෙ එහෙම යෝජනාවක් නැහැ කියලයි.?

පාර්ලිමේන්තුවෙ න්‍යාය පුස්තකයට - ජාතික ආණ්ඩු යෝජනාව ඇතුල්කරල තියෙන්නෙ. පාර්ලිමේන්තුවෙ විවාදකරල පාර්ලිමේන්තුවෙ බහුතර බලයක් ලැබුණොත් ඒ අනුව වැඩකරන්න ආණ්ඩුවට බලය ලැබෙනවා.

මැතිවරණ ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා. මුලින් එන්න පුළුවන් මැතිවරණය මොකක්ද?

ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මැතිවරණයක් ඉල්ලනවා. පළාත් සභා මැතිවරණයකට යන්න නම් මේ ව්‍යවස්ථාව නැවත වෙනස් වෙන්න ඕන. පරණ ක්‍රමේට ඡන්ද තියන්න යනවනම් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලයක් ඕන. අපි මැතිවරණවලට කැමතියි. අපි මැතිවරණ වලට බයත් නැහැ.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලට පොදු සන්ධානයකින් එන බවක් කියනවා?

එක්සත් ජාතික පක්ෂය, පක්ෂ ගණනාවක් එක්ක, පුළුල් සන්ධානයක් හදනවා. අපි මැතිවරණයට යන්නෙ ඒ සන්ධානෙන්.


වතු කම්කරුවට ආණ්ඩුව දුන්නෙ රුපියල් පනහයි

- ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී

 වතුකම්කරුවො රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවා ලැබුණෙ රුපියල් 700යි. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

වතු සමාගම්, තොණ්ඩමන් ඇමතිතුමා, වෘත්තීය සමිති, වතු අයිතිකරුවන් එක්ක දින 51 ආණ්ඩුවෙ, කම්කරු අමාත්‍යාංශය හැටියට අපි කතාකළා. ඩොලරයෙ වැඩිවීමත්, පොහොර සහනාධාරයෙන් ලැබෙන ලාභයත් ගැන හිතල වතුකම්කරුවන්ට සියලු දීමනා එක්ක රුපියල් දහසක වැටුප් වැඩිවීමක් දෙන්න කියලයි අපි ඉල්ලුවෙ. ඔවුන් මේකට එකඟවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ආණ්ඩුව ඉවරවුණා. මේ ආණ්ඩුව රුපියල් 700 වැඩිකරනකොට දීමනා අයින්කරල දැන් කම්කරුවෙකුට වැඩිවෙලා තියෙන්නෙ රුපියල් 50යි.

මේ වැටුප් වැඩිවීමත් එක්ක සාමූහික ගිවිසුමක් වතු කම්කරුවන්ට ලැබුණා. මේකට වතු සමාගම් තොණ්ඩමන් මහත්තය වෘත්තීය සමිති එකඟවුණා.?

සාමූහික ගිවිසුමට බලය තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිතියටයි ‍තොණ්ඩමන් ඇමැතිතුමාගෙ වෘත්තීය සමිතියටයි විතරයි. අද ඊට වඩා වෘත්තීය සමිති තියෙනවා. නමුත් වැඩකරන පන්තිය ඕකට එකඟ නැහැ.

තොණ්ඩමන් මහත්තය දින 51 ආණ්ඩුවෙ සාකච්ඡාවල හිටියනම් මේ ආණ්ඩුවෙ සාකච්ඡාවලදි රුපියල් 700ට එකඟවුණේ කොහොමද?

ප්‍රසාද දීමනාවයි, පැමිණීමේ දීමනාවයි අඩුවෙන බව තොණ්ඩමන් ඇමතිතුමා දැක්කෙ නැතුව ඇති. ඒ දෙකත් එක්කයි අපි වැටුප් වැඩිවීම ඉල්ලුවෙ.

මේ විදියට වතු කම්කරුවන් රැවටීම ගැන ඔබ මොකද කියන්නෙ?

අගමැතිතුමා කොළේවහල වැඩේ කළා. ඒත් ඒක ජනතාව පිළිගන්නෙ නැහැ. අඩුගානෙ එක්සත් ජාතික පක්ෂෙ අයවත් පිළිගන්නෙ නැහැ.

වතු කම්කරුවන්ගෙ රුපියල් 1000 වැටුප් වැඩිවීම දෙන්න බැරිනම් වතු රජයට පවරාගන්න කියල ඉල්ලීමක් තියෙනවා?

ඒක තීරණය කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තය. වතු සමාගම් මේ වතු හරියට නඩත්තුකරන්නෙ නැහැ. අපේ නිෂ්පාදනය අඩුයි. මේක වතු සමාගම්වල වැරැද්ද. ඒ අයගෙ අලසකම හින්ද වතු කම්කරුවො දුක් විඳිනවා.

වසර 71 ක් පුරා දේශපාලන පක්ෂ වතුකම්කරු ජනතාව රැවැට්ටුව බවයි කියන්නෙ?

අද තියෙන ආණ්ඩුවයි. ඒඅයව රවට්ටන්නෙ. මෙච්චර කල් අපි වැටුප් වැඩිවීම අරන් දුන්නා.

තවම රුපියල් 700යි වතු කම්කරුවෙක්ගෙ වැටුප, ඒක ප්‍රමාණවත්ද?

වතු පවුල්වල සියලුදෙනාට වතුවල රස්සාව දෙනවා. මේ පවුල් මීට වඩා දියුණුවෙන්න ඕන කියල අපි කියනවා.

ගෙවීගිය වසර හතර පුරා කම්කරු නැගිටීම් රැසක් ඇතිවුණා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

මේ ආණ්ඩුව තරම් කම්කරුවන්ට හිරිහැර කරපු, කම්කරු නීති උල්ලංඝනය කරපු, දේශපාලන පළිගැනීම් ගත්තු ආණ්ඩුවක් නැහැ. මේ මොහොත වෙනකොටත්, තරුණසේවා සභාව, අධ්‍යාපන සේවය, නිවාස අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංගම වගේ ආයතන වල සේවකයන් අසාධාරණ විදියට මාරුකිරීම් කරල. සමහර සේවකයන්ට වාඩිවෙන්න පුටුවක්වත් නැහැ.

ඔයවගේම කම්කරු සටන් මර්දනය කිරීම කම්කරුවන් ඝාතන, චෝදනා ඔබ හිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් එල්ල වුණා?

ඒවා ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා ගොතපු බොරු චෝදනා. මේ ආණ්ඩුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට කොමිෂන් සභා දැම්මනෙ. ඒවයෙන් ඔප්පුවුණේ නැහැනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තය 88 - 89 ජේ.වී.පී එකට එරෙහිවයි සුදුවෑන් සංස්කෘතිය පටන්ගත්තෙ. බටලන්ද වාර්තාව අරන් කියවන්න.?

භූමිතෙල් සහනාධාරය ඉල්ලපු, EPF එක බේරගන්න ගිය කම්කරුවන්ට වෙඩි තියල කම්කරුවො මරපු එක මුළු රටම දන්නවා?

පොලීසියෙ මැදිහත්වීමක් එතන වුණා. පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් දෙන්න ගියහම, ජනතා විමුක්ති පෙරමුණයි. තවත් කණ්ඩායම් එකතුවෙලා ඒ වැඩේ විනාශ කළා. ETF එකයි EPF එකයි. නතර කරන වැඩක් එතන තිබුණෙ නැහැ. හැමදාම බොරුවෙන් මිනිස්සු රවටනවා. මහින්ද රාජපක්ෂ මහත්තය හොරකම් කරනව කියල මතයක් ගොඩනගල වෙනසක් ඕන කිව්ව. දැන් මොකදවෙලා තියෙන්නෙ. රටම හෙම්බත් වෙලා.

EPF සල්ලි වෙනත් තැනක ආයෝජනය කරන්නයි එදා ආණ්ඩුව හැදුවෙ. කම්කරුවො ඒකටයි විරුද්ධ වුණේ.?

ආ‍යෝජනය කරපු එක ඇත්ත. රනිල් වික්‍රමසිංහ මහත්තය තමයි අර්ථසාධක අරමුදලෙන් 10%ක් පුද්ගලික අංශයෙ ආයෝජනය කරන්න කියල තීන්දු කළේ මහින්ද රාජපක්ෂ මහත්තය කම්කරු ඇමැති හැටියට කරපු වැඩ පිළිවෙළ නිසා ඒ 10% ට්‍රිලියන ගාණක් වුණා. පුද්ගලික අංශයෙ තියෙන අර්ථසාධක සියල්ල අරමුදලට එන්න ඕන කියල තීන්දුකළේ මහින්ද රාජපක්ෂ මහත්තය. මහ බැංකුව මංකොල්ලෙදි මේ ආණ්ඩුව අර්ථසාධක අරමුදලට තමන්ගෙ ගජමිතුරන් එක්ක එකතුවෙලා කෙලවලම දැම්මා. මහින්ද රාජපක්ෂ මහත්තය ගෙනාපු කම්කරු ප්‍රඥප්තිය නිසා තමයි කම්කරු අමාත්‍යාංශයට බලයක් ලැබුණෙ.

ඒකාබද්ධයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා හැදෙන නව සන්ධානය ගැන ඔබ මොකද කියන්නෙ?

එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න, ඔවුන්ට විරුද්ධ සියලු කොටස් එකතුවෙන්න ඕන.

මේ අලුත් සන්ධානයෙ සභාපතීත්වය මහින්ද රාජපක්ෂ මහත්තයට ඕන කියල ඔහු කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අවශ්‍ය බව?

වැඩිබලය තියෙන කෙනාට සභාපතිකම දෙන්න ඕන. පළාත් පාලන මැතිවරණයෙදි ජනතා බලය කාටද තිබුණෙ. ඒ බලය පිළිගන්න ඕන. ඇප කැන්සල්වෙලා අපි නායකත්වය ඉල්ලන්නෙ නැහැ. බුලත් කොලෙන් ඡන්දෙ ඉල්ලල අපි පාඩම් ඉගෙන ගත්තා. එදා ජාතික ලයිස්තුවෙන් අපේ වමේ නායකයන්ට පාර්ලිමේන්තු යන්න බැරි වුණා. අපිට ඒ පක්ෂයෙ බලය තිබුණෙ නැහැ. විශ්වාසවන්ත කෙනෙක් සන්ධානෙ නායකය වෙන්න ඕන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ මේ රටේ දැවැන්ත පක්ෂයක්. ඔවුන් කියන්නෙ එහෙම පක්ෂයක් යටතට අනෙක් පක්ෂ පැමිණිය යුතු බවයි?

ඒක ඇත්ත. ගුණසිංහ මහත්තයගෙ කම්කරු පක්ෂය තමයි කොළඹ නගර සභාවෙ නගරාධිපති වුණේ. කම්කරු පක්ෂයට දැන් නායකත්වය දෙනවද? ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේපකරල. ජනතාවත් එක්කයි මේ ව්‍යාපාරය යන්නෙ. එක්සත් ජාතික පක්ෂය මේ රටේ තුන්වෙනි බලවේගය වෙන්නත් පුළුවන්. ඒක ඔවුන් පිළිගෙන තියෙන්නෙ. රටේ ප්‍රධාන පක්ෂෙ නායකය තමන්ගෙ පක්ෂයෙ නොවන කෙනෙක්ව ජනාධිපති කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයව ගොනාට අන්දල මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ර‍ටේ ජනාධිපතිවෙන්න පුළුවන් වුණා. ඒ හින්ද මම එතුමට ගරුකරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ සමහරු කියන්නෙ, ඕනම මැතිවරණයකට පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත්වෙන්න ඕන කියලයි?

වෙනම තරගකරල එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවන්න අපිට පුළුවන්. පහුගිය ප්‍රතිඵල ගත්තම අපි දෙගොල්ලන්ටම ශක්තිමත් වෙන්න පුළුවන්. එකතුවෙලා ඉල්ලන්නත් පුළුවන්.

‍ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහත්තය කියන්නෙ මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලයි. ඔබ මොකද කියන්නෙ?

අපි මොන ආණ්ඩු පිහිටෙව්වත් ජනතා කැමැත්ත ඕන. මේ ආණ්ඩුව ඡන්ද කල් දානවා.

මම අහන්නෙ, මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් හැටියට ඔබේ පාර්ශ්වය පිළිගන්නවද කියලයි?

අපි නම් පිළිගන්නෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපති හැටියට කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා ලෙස වාඩිවෙනවා.?

ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන දෙයක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වාඩිවුණේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක මේ කාරණය සැසදුවොත් මේක ජාතික ආණ්ඩුවක් නේද?

ජාතික ආණ්ඩුවෙන් වැඩක් වුණේ නැහැ කියල රටම පිළිගන්නවනෙ. ඒ නිසානෙ දෙගොල්ල දෙගොල්ලන්ට බැණ බැණ යන්නෙ.


නව අදහස දක්වන්න