මෙරට විශාලතම කලා පොළ පෙබරවාරි 24දා | දිනමිණ

මෙරට විශාලතම කලා පොළ පෙබරවාරි 24දා

1993 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ කලා පොළ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය වන අතර දේශීය සහ විදේශීය කලා රසිකයන් මෙන්ම දිවයිනේ ජනප්‍රිය තරු විශේෂිත පුද්ගලයන් සහ සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන්නකි. 2019 වසරේ කලා පොළ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි 06වන දා කොළඹ සිනමන් ලේක්සයිඩ් ඩියුක්ස් කෝට් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

ජෝර්ජ් කීට් පදනම ඉදිරිපත් කරන කලා පොළ මෙම වසරේදී පැවැත්වෙන්නේ 26වැනි වරට වන අතර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් මේ සඳහා 25 වන වරටත් අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබේ. කලාව සහ සංස්කෘතිය හා සම්බන්ධ ජෝන් කීල්ස් පදනමේ දිගු කාලීන සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ද මෙය හඳුන්වා දිය හැක. ජෝර්ජ් කීට් පදනමේ වත්මන් සභාපති මයිකල් ඇන්තනිස් මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. කලා පොළ නැරඹීමට පැමිණෙන පිරිස වගේම කලා කෘති මිලදී ගන්නා පිරිස ද පසුගිය වසර කිහිපයක කාල සීමාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබීම සතුටට කරුණක්. පසුගිය වසරේ පමණක් නරඹන්නන් 28000කට අධික පිරිසක් කලා පොළ නැරඹීමට පැමිණි අතර කලාකරුවන් ලැබූ සමස්ත ආදායම රු. මිලියන 15 ඉක්මවීමට සමත්. මේ කාර්යයේ ඇති වටිනාකම සහ වැදගත්කම කියාපාන්නට මේ අගයන් හොඳින්ම ප්‍රමාණවත්.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාරක වැඩසටහන් ප්‍රධානී නදිජා තම්බයියා මහත්මිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. ‘‘චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත් ශක්තිමත් කරගැනීමටත් මනා වූ පිටුවහලක් ලෙස කලා පොළ හඳුන්වා දෙන්නට පුළුවන්. ජෝර්ජ් කීට් පදනමේ හවුල්කාරීත්වය ද ඇතිව 25 වැනි වරටත් කළා පොළ සංවිධානය කරන්නට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටට පත් වෙනවා.’’

 

නව අදහස දක්වන්න