විදේශ ආයෝජන වැඩිකර ගැනීමට නම් | දිනමිණ

විදේශ ආයෝජන වැඩිකර ගැනීමට නම්

ජයසිරි මුණසිංහ

නව රැකියා අවස්ථා බිහි කිරීමට, ජනතාවගේ ආදායම් ඉහළ නංවාගැනීමට පමණක් නොව සමස්ත රටේ දියුනුවට මඟපාදන ජවයක්, ශක්තියක්,සෘජු විදේශ ආයෝජන වැඩිකර ගැනීම හරහා හිමිවේ. වසර 2018 අප රටේ ඉතිහාසයේ වැඩිම සෘජු විදේශ ආයෝජන ලැබුණු වසර විය. එනමුත්! වසර 2019 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 03 සෘජු විදේශ ආයෝජන දිනා ගැනීමට රජය සැලසුම් කොට ඇත.

මේ ආකාරයට වසරින් වසර ආයෝජන දිනා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටියි. අප අද දවසේ ආර්ථික විශ්ලේෂක චිත්‍රාල් ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මෙසේයි.

රටකට සංවර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජනයන් අත්‍යවශ්‍ය වේ. විදේශ ආයෝජන තුළින් රටක යටිතල පහසුකම් සංවර්ධනය දියුණු කිරීමට, අළුතින් කර්මාන්ත ඇති කිරීමට, සේවා අංශයන් දියුණු කිරීමට මෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහාත් අවශ්‍ය සාධකයක් ලෙස පෙනී යයි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය ආයෝජනයන් වැදගත් සාධකයකි. නොදියුණු රටවල ප්‍රධාන ගැටළුවක්ව පවතින්නේ ප්‍රාග්ධන ඌණතාවය යි. ප්‍රාග්ධන ඌණතාවය නැතිකිරීම සඳහා විදේශීය ආයෝජනයන් විශාල රුකුලක් වේ. විශේෂයෙන් ම භෞතික ප්‍රාග්ධනය දියුණු කිරීම සඳහාත්, රැකියා උත්පාදනය සඳහාත්, නිෂ්පාදන ධාරිතාවය වැඩි දියුණු කිරීම සඳහාත්, දේශීය ශ්‍රමිකයින්ගේ කුසලතාවය වර්ධනය කිරීම සඳහාත්, නවීන තාක්‍ෂණය හා දැනුම අළුතින් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහාත්, දේශීය ආර්ථිකය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපල සඳහා රැගෙන යාම සඳහා ඍජු විදේශ ආයෝජනයන් ඉතා වැදගත් වේ.

නමුත් ඇතැමුන් පවසන්නේ ඍජු විදෙස් ආයෝජන කැඳවාගැනීමෙන් විදෙස් ගැති බවක් ඇතිවන බවයි‍ ?

විදේශ ආයෝජනයන් තුළින් රටකට වාසි මෙන්ම අවාසිද ඇතිවනවා. විදේශ ආයෝජනයන් වල වාසි අවාසි ද්විත්වය ම කළමනාකරණය කළ හැක්කේ රජයකටයි. ඒ සඳහා රජය ඍජු ප්‍රතිපත්ති රාමුවක් සැකසිය යුතුයි. උදාහරණයක් ලෙස විදේශීය ආයෝජන මගින් රට තුළට විදේශ සම්පත්, මුදල් ගලා එන්නා සේම එම ආයෝජනයන්වල ලාභ රට තුළින් යලිත් ගලා යාමේ අවධානමක් තිබේ. මෙහිදී රජය සිදුකළ යුත්තේ ඒ සඳහා ක්‍රමෝපායික ලෙස නීතිමය රාමු මගින් කඩයිම් බැඳීම යි. තව ද විදේශීය ආයෝජන මගින් දේශීය ව්‍යාපාරිකයින්ට හා දේශීය වෙළෙඳාමට කිසියම් තර්ජනයක් මතුවන ආවස්ථාවන් ද ඇති විය හැකිය. මෙහිදී ආයෝජන පැමිණෙන අවස්ථාවේ දී ම ගිවිසුම් අත්සන් කිරීමේ දී දේශීය වෙළෙඳපලට එම නිෂ්පාදන පැමිණීමේ දී ඉහල බදු අනුපාතයක් අය කිරීමේ ක්‍රමවේදයක් හෝ එය වලකාලීමේ වගන්ති ඇතුලත් කළ හැකිය.

පසුගිය කාලේ කොපමණ විදේශ ආයෝජන සිදුවුණාද?

නමුත් 2009 වර්ෂයෙන් පසු බෙදුම්වාදී ගැටුම් නිමා වීමෙන් පසු විදේශ ආයෝජකයින්ගේ ආකර්ෂණය වැඩි වූ අතර 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ විදේශීය ආයෝජනයන් ක්‍රමයෙන් ඉහළයාමක් පෙන්නුම් කරයි.

2012 වර්ෂයෙන් පසු වැඩිම විදේශීය ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇත්තේ 2017 වර්ෂයේ දී ය. එය ඇ. ඩො. බිලියන 1‍.710කි. 2014 වර්ෂයේ ද ඇ. ඩො. බිලියන 1.528ක විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබී තිබේ. කෙසේ වෙතත් සාපේක්‍ෂව මෙම ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 2ට අඩු සුළු ප්‍රමාණයකි. එය රටේ ඉදිරි සංවර්ධනයේ දී ප්‍රමාණවත් නොවේ. වියට්නාමය වැනි රටවල විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයන්ගේ ප්‍රතිශතයක් ලෙස සියයට 5-6ත් අතර ප්‍රමාණයකි. කාම්බෝජයේ සියයට 12.6කි. මාලදිවයින සියයට 11කි. මැලේසියාව සියයට 03කි. ශ්‍රී ලංකාව ඉදිරියේ දී සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීම සඳහා විදේශ ආයෝජන, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4-5ක මට්ටමක පවත්වා ගෙන යා යුතුය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීමට අවශ්‍ය යෝජනා මොනවාද?

ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා කිහිපයක් පෙන්වා දිය හැකිය.

සේවා සැපයුම් සහ වෙළෙඳ පහසුකම් වැඩි දියුණු කිරීම

කලාපයේ අනෙකුත් ආර්ථිකයන් සමඟ සැසඳීමේ දී ලංකාවේ ආර්ථිකය ඉතා කුඩා ප්‍රමාණයේ ආර්ථිකයක් වේ. නමුත් ලංකාව පිහිටීම අතින් ගත් කළ ලෝකයේ නාවුක, වෙළෙඳ ක්‍ෂේත්‍රයේ ක්‍රමෝපායිකව වැදගත් ස්ථානයක පිහිටා තිබේ. විශේෂයෙන් නාවික ගමනාගමනයේ බටහිර කලාපයේ කේන්ද්‍රීය රටක් ලෙස පිහිටා තිබීම මගින් එහි වාසිය උපරිමයෙන් තවමත් ලබා නොගෙන ඇති බව කිව යුතුය. කොළඹ වරාය මෙහෙයවන භාණ්ඩ වලින් සියයට 75ක ප්‍රමාණයක් ප්‍රතිඅපනයනයන් වන අතර කොළඹ වරාය ආසියාවේ ප්‍රතිඅපනයන කේන්ද්‍රීය වරායක් බවට පත්වී තිබේ. ඉතා ඉහළ පහසුකම් සහිත වරායක් ලෙස කොළඹ වරාය ලෝකය හඳුනාගෙන තිබේ.

ලෝක බැංකුව ගණනය කරනු ලබන සේවා සැපයුම් දර්ශකයට අනුව ,2018 ශ්‍රී ලංකාව 94 වන ස්ථානයට පත් වී තිබේ. 2010 වර්ෂයේ දී එය 134වන ස්ථානයේ පසු විය. ගණනය කරණු ලබන නිර්ණායකයන්වල වර්ධනයක් පෙන්නුම් කරයි. රටක ආයෝජනයන් ඉහළ තබා ගැනීම සඳහා මෙම දර්ශකය ඉතා වැදගත් වන්නේ තමන්ගේ නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට පහසුවෙන් අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපනය වී ඇති ද යන්න යි. කලාපීය වශයෙන් එකිනෙක වරායන් සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවය අනුව :2017 වර්ෂයේ දී LINER SHIPPING INDEX ලෝකයේ වරායන් අතුරින් 15 ස්ථානයට පත් වීම ද ඉතා වැදගත් වේ. මෙම පහසුකම් වර්ධනය තුළින් විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගත හැකි වේ.

නව වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම

2017 වර්ෂයේ අග භාගයේ දී වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය තුළින් පැරණි තීරු බදු ඉවත් කිරීම හා අඩු කිරීම මගින් වෙළෙඳපල වැඩි දියුණු වීමක් සිදුවී තිබේ. 2019 අය-වැය තුළින් අපනයනයන් සඳහා දිරිගැන්වෙන තීරුබදු ප්‍රතිසංස්කරණයන් හා වෙළෙඳ ප්‍රතිපත්තිවල වඩා ඵලදායී වෙනස්කම් සිදු කළ යුතුය. වෙළෙඳපල හා ප්‍රතිපත්ති තව තවත් නිදහස් කිරීමක් අපේක්‍ෂා කරණු ලබයි. අපනයන විවිධාංගීකරණය මගින් වැඩි ආර්ථික වර්ධනයක් අපේක්‍ෂා කරණු ලබයි. වෙළෙඳ ප්‍රතිපත්ති ලිහිල් කිරීම මගින් ද ආයෝජනයන්ට හිතැති පරිසරයක් ගොඩනැගෙනු ඇත. ඒ තුළින් තිරසාරත්වය ඉහල නැංවීම, තාක්‍ෂණය අවශෝෂණය, නිපුණතා වැඩිදියුණු කිරීම සිදුවනවා ඇත.

ප්‍රතිපත්තිවල සංකූලතාවයන් ඉවත්කොට ආයෝජනයන් දිරි ගැන්වීම

ව්‍යාපාර පවත්වාගෙන යාමේ දර්ශකය අනුව :2015 ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් 100වන ස්ථානයට පත්වී තිබේ. 2018 වර්ෂය දර්ශකයට අනුව එය 111වන ස්ථානයට පත්විය. දර්ශක 11කින් ඉදිරියට පැමිණීම යහපත් ලක්‍ෂණයකි. නමුත් ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතුය. විශේෂයෙන් ඉඩම් මිලදී ගැනීමේ දී, ඉඩම් ලියාපදිංචියේ දී මෙන්ම ඉදිකිරීම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී විශාල බාධාවන් සිදුවේ. අනෙක් අතට බස්නාහිර පලාත තුළ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් පහසුකම් නොමැතිවීම නිසා අළුතින් ආයෝජන කලාපයක් ඇති විය යුතුය.

විනිමය පාලනයන් ලිහිල් කිරීම හා දේශීය ආදායම් පනත් වල පවත්නා අඩුපාඩු ඉවත් කොට විදේශ ආයෝජනයන් විධිමත් වන පරිදි සැකසීම ඉතා වැදගත්. නිරන්තරයෙන් වෙනස්වන ප්‍රතිපත්තීන්, විදේශ ආයෝජනයන් සඳහා බාධාවන අතර විදේශ ආයෝජනයන් සඳහා ඍජු දැක්මක් රජය විසින් සකස් කළ යුතුය.

තරඟකාරී නිෂ්පාදන හා මූල්‍ය වෙළෙඳපොළ මගින් නව්‍යතාවයන් වර්ධනය කිරීම

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අපනයනයන් සලකා බැලීමේ දී ඉතා සුළු වෙනස්කම් දක්නට ලැබුණ ද විශාල වෙනස්කම් දක්නට නොලැබේ. අපනයන නිෂ්පාදයන් නව්‍යකරණයවීමක් හෝ විවිධාංගීකරණය වීමත් සිදුවී නොමැත. නවෝත්පාදනයන් සිදුවී ඇත්නම් එය ඉතා අතලොස්සක් පමණ වේ. පවතින නවෝත්පාදන ක්‍රමෝපායන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය කරන දැනුම නොඅඩුව ලැබිය යුතුය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහය දැක්වීම සිදුවිය යුතුය. ඒ සඳහා විදේශ ආයෝජනයන් ඉතා වැදගත් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය වෙළෙඳපල තුළ තවදුරටත් අවශ්‍ය පහසුකම් ඇති කිරීම හා අවශ්‍ය ණය යෝජනා ක්‍රමයන් හදුන්වා දිය යුතුය.

කාර්මික ගැටළු වලට විසඳුම් ලබා දීම

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ පවත්නා දුර්වලතා හා කාර්මික ගැටළු ආයෝජනයන් සඳහා පුළුල්ව බලපෑම් කරණු ලබයි. විශේෂයෙන් ශ්‍රම බලකාය තුළ කුසලතාවයන් නොගැලපීම, නිපුන ශ්‍රම බලකායේ දුර්වලතා මඟ හරවා ගැනීම ඉතා වැදගත්ය. කාර්මික ගැටළු නිරාකරණය කිරීම හා කාර්මික නීති රීති ලිහිල් කිරීම තවදුරටත් නියාමනය හා සලකා බැලීම කළ යුතුය. කාන්තාවන් ශ්‍රම බලකායට සහභාගීකරවා ගැනීම හා ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය ඉහළ නැංවීම මඟින් වාසි සහගත තත්ත්වයක් ලබා ගත හැකි ය.

සැපයුම් පහසුකම් දියුණු කිරීම හා යටිතල පහසුකම් පුළුල් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ පවතින දුර්වලතා ආයෝජනයන් සම්බන්ධයෙන් ඍණාත්මකව බලපා තිබේ. කෙසේ වෙතත් පසුගිය දශකය තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය හා යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රබල දියුණුවක් ලබා තිබේ. එය ආයෝජකයින් දිරිගන්වන සුළු වේ. තවදුරටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සිදුවිය යුතුය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවාව යොදා ගැනීමට දීර්ඝකාලයක් පුරා සාකච්ජාවට ගැණුන ද තවමත් හරිහැටි ක්‍රියාත්මක වී නොමැත. ගුවන් ගමන් සේවාවන් පුළුල්වීම ඉතා වැදගත් වේ. නාවුක ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිය. ලොව ප්‍රධාන පෙලේ නෞකා සමාගම් තම සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය භාවිතයට ගනු ලැබේ. ඒ තුළින් ලංකාව ප්‍රධාන පෙලේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙමින් පවතී.

ඉදිරියේ දී රටේ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් ක්‍ෂේත්‍ර සඳහා කඩිනම් ආයෝජන අවස්ථාවන් ඇති කිරීම තුළින් වඩාත් ඵලදායී දීර්ඝකාලීන සංවර්ධනයක් ලබාගත හැකිවේ. ඒ සඳහා රාජ්‍ය සැමවිටම ශක්තිමත් අඩිතාලමක් දැමිය යුතුය.


නව අදහස දක්වන්න