ATM වංචාකාරයින්ට වැට බඳිනවා | දිනමිණ

ATM වංචාකාරයින්ට වැට බඳිනවා

ජයසිරි මුණසිංහ

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා සිදු කැරෙන වංචාකාරි ගනුදෙනු වැළැක්වීමට පියවර ගණනාවක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ පිළිබඳව අදහස් දක්වන මහ බැංකුව මෙසේ ද කියා සිටියි.

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙසේ වෙතත්, (ATM) හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොර‍‍ා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකියාව ඇත. එබඳු සිදුවීම් අවම කිරීම පිණිස ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සඳහා වන ආරක්ෂක ප්‍රමිතීන් හා පරිචයන්ට අනුකූල ව ගෙවුම් කාඩ්පත් ජාලය තුළ විද්‍යුත් චිපයක් සහිත ආරක්ෂිත කාඩ්පත් (EMV) නිකුත් කිරීම සහ සියලු ම ආකාරයේ විද්‍යුත් ගනුදෙනු කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් දැනුම්දීම් වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.

මෑත කාලයේ දී වංචනික ලෙස ගෙවුම් කාඩ්පත් භාවිත කරමින් අරමුදල් ආපසු ලබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය.බැංකු ක්‍රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කරනු වස් දැනටමත් ගෙන ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා ක්ලියර් (පුද්ගලික)සමාගම සහ බලපත්‍රලාභී බැංකු යන ආයතන මේ සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඕනෑ ම ගෙවීම් පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා බැංකු කාඩ්පත් නිකුත්කරුවන්, අත්පත්කරුවන් සහ නියාමකයින් දරන උත්සාහයන්ට ගනුදෙනුකරුවන්ගේ සහාය මෙන් ම ඇගයීම ද අවශ්‍ය වේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගනුදෙනුකරුවන් විසින් EMV තාක්ෂණය සහිත ගෙවුම් කාඩ්පත් භාවිත කිරීම අවශ්‍ය වේ. එවැනි කාඩ්පත් හඳුනාගත හැක්කේ ඒ මත මනාව දිස්වන ලෙස පිහිටා ඇති විද්‍යුත් චිපය මඟිනි. ගනුදෙනුකරුවකු විසින් භාවිත කරන කාඩ්පත EMV තාක්ෂණයෙන් තොර නම්, එම ගනුදෙනුකරුවා හට EMV තාක්ෂණය සහිත කාඩ්පතක් නිකුත් කරන මෙන් අදාළ බැංකුවෙන් ඉල්ලා සිටිය හැක. ඒ අනුව, ATM මඟින් කරනු ලබන ගනුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවුම් කාඩ්පත් සහ ATM යන්ත්‍ර භාවිත කිරීමේ දී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව දැනුම් දෙනු ලබයි. හඳුනාගත නොහැකි හෝ අනවසර ගනුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගත වූ කාඩ්පත් වේ නම් එවැනි සිදුවීම් වහා ම අදාළ බැංකුව වෙත දැනුම් දිය යුතු වේ.


නව අදහස දක්වන්න