හස්තියා මරණාසන්නව | දිනමිණ

හස්තියා මරණාසන්නව

හක්ක පටස් කෑම නිසා හටගත් ආබාධවලින් පෙලෙමින් දින 10ක් පමණ වේදනා විදිමින් නිරාහාරව සිටි වන අලියෙකු ගිරාදුරුකෝට්ටේ ගිරාලගොල්ල ඇළක් ආසන්නයේ නිවෙසක ගෙවත්තක කෙලවරක වැටී සිටියදී ගම්මුන්ට හමු වී තිබේ. ගම්මු පවසන්නේ මේ සද්දන්තයා දැඩි ලෙසටම වේදනාවෙන් දඟල දගලා සිටි අතර කෑමට දුන් කිසිවක් පවා කෑමට හැකියාවක් නොමැතිව සිටින බවයි. මේ පිළිබද වනජීවී නිලධාරින් දැනුවත් කර ඇති අතර ඒ අනුව මධ්‍යම කලාප වනජීවී සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය නිලධාරි අකලංක පිණිදිය මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ පණ අදිමින් සිටි වන අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. පිණිදිය මහතා පැවසූ පරිදි උසින් අඩි හත හමාරක් පමණ වූද වයසින් අවුරුදු 20ක් පමණ වූද මේ අලියා පිරිමි සතෙකි. හක්ක පටස් කෑම හේතුවෙන් සතාගේ මුඛය හා ගලනාලය ආශ්‍රිතව දැඩි ලෙස අසාධ්‍ය තුවාල රැසක් හටගෙන ඇති අතර ඒවා පිපිරී සැරව ගලන මට්ටමට පත්වී ඇත. ආහාර ගැනීමට හෝ ජලය පානය කිරීමට හැකියාවක්ද නොමැත. සතා ආහාර අහේනියෙන් මෙන්ම විජලනයෙන්ද පෙළෙමින් සිටී. අඛණ්ඩවම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින නමුත් එම සතාගේ ජීවිතය බේරා ගැනීම කෙරෙහි විශ්වාසයක් තැබීමටද හැකියාවක් නොමැති නමුත් සතා බේරා ගැනීම සදහා හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටී.

ගිරාඳුරුකෝට්ටේ සමූහ-සෝමදාස සමර ගුණරත්න

 

නව අදහස දක්වන්න