ආණ්ඩුව ඇමැතිකම් වැඩිකරගන්න හදනවා | දිනමිණ

ආණ්ඩුව ඇමැතිකම් වැඩිකරගන්න හදනවා

සමන්මලී ප්‍රියශාන්ති

මෙරට තරුණ තරුණියන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ අරමුණෙන් ක්‍රියාත්මක කෙරෙන තරුණ මාර්ගෝපදේශන මධ්‍යස්ථාන පිහිටුවීමේ “ස්මාට් ශ්‍රී ලංකා“ වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පොළොන්නරුවේදී ඇරැඹෙනවා.

කිසිම දේශපාලන නායකයෙක්, පක්ෂයක් මෙතෙක් බාර නොගත් මෙරට තරුණයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන කාර්යය වත්මන් ජනාධිපතිවරයා විසින් බාර ගත් බවත් ඒ අනුව මේ වැඩපිළිවෙළ යටතේ තරුණ මාර්ගෝපදේශන මධ්‍යස්ථාන 50ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. නිදහස් පක්ෂ මුලස්ථානයේදී පෙරේදා (06) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද කීය.

අපේ රටේ ඉතිහාසයේ සිටම තරුණයන් දේශපාලනික හා නොයෙකුත් අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා. 71 අරගලය වගේම 88-89 කාලවලදීත් තරුණයෝ විශාල පිරිසක් රටට අහිමි වුණා. මේ තරුණ අසහනයම ප්‍රයෝජනයට අරගෙන එල්ටීටීඊ සංවිධානයත් තරුණයන් අවභාවිත කළා. ඒ තරුණ දමිළ ජීවිත විශාල පිරිසක් රටට අහිමි කරමින් සිදු කළ අරගලය නතර කිරීමට ගිය දකුණේ හමුදා තරුණයන්ගේ ජීවිත ද රටට අහිමි වුණා. තරුණ අසහනය වෙනත් දෙයක් සඳහා උපයෝගී කර ගැනීම නිසයි මේ තත්ත්වය ඇති වුණේ. මේ සම්බන්ධයෙන් පැවැති රජයන්ට හෝ පවතින රජයට දෝෂාරෝපණය කරමින් සිට වැඩක් නැහැ. ඒ නිසා අපි තරුණ අසහනයට හා තරුණ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ඒ අනුව “විසඳුමට ජවයක්“ තේමාව යටතේ මේ රටේ සමස්ත තරුණ තරුණියන් සමඟ එක්ව මේ වැඩපිළිවෙළ අපි ජනපතිට බාර දුන්නා. ඒ වැඩපිළිවෙළ ජාතික වැඩපිළිවෙළක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු නිසා සියලුම ආයතන එකට සම්බන්ධීකරණය කර ගනිමින් වෙනමම ඒකකයක් ස්ථාපිත කර නිලධාරීන් පත් කර මේ වැඩපිළිවෙළ රට පුරාම ගෙන යන්න කටයුතු කර තිබෙනවා.

කිසිම දේශපාලන නායකයෙක්, පක්ෂයක් බාර නොගත් මේ තරුණයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන කාර්යය අපේ වත්මන් ජනාධිපතිවරයා බාර ගත්තා . ඒ වැඩපිළිවෙළ හෙට (08) ආරම්භ වෙන්නේ “ස්මාට් ශ්‍රී ලංකා“ තේමාව යටතේයි.

තරුණ මාර්ගෝපදේශන මධ්‍යස්ථාන 50ක් මේ වැඩපිළිවෙළ යටතේ අපේ රටේ ස්ථාපිත කිරීමට නියමිත අතර එහි සමාරම්භය පොළොන්නරුවේ දී අද(08) පස්වරු 2.00ට පැවැත්වේ.

අපේ රටේ ආයතන රැසක සහයෝගය මේ වැඩපිළිවෙළට ලැබෙනවා. ඇතැම් තරුණයන් තමන්ට යන්න අවශ්‍ය ක්ෂේත්‍රයේ නොවෙයි සේවය කරන්නේ. රටේ අධ්‍යාපන ක්‍රමය තුළ බහුවිධ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළයුතු වෙනවා. මේ ක්‍රමවේද වෙනස් වෙන්න අවශ්‍යයි. එසේ වෙනස්වීම් නැතිව අපට ඉදිරියට යන්න බැහැ.

අද නැවත ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ඡා තිබෙනවා. අපේ රටේ අවස්ථා දෙකකදී ජාතික ආණ්ඩු තිබුණා. 2008 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවැති ජාතික ආණ්ඩුවට මාස දෙකකට වඩා යන්න බැරි වුණා. මතවාද, ප්‍රතිපත්තිමය ගැටලු නිසා එය බිඳ වැටුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වු විට එතුමා සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවා. පසුගිය මහමැතිවරණයෙන් පසු බහුතරයක් හිමි කණ්ඩායමක් නොතිබුණු නිසා සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවා. රටේ ප්‍රශ්න යම් ප්‍රමාණයක් විසඳා ගන්න පුළුවන් වුණත් ප්‍රතිපත්තිමය ගැටලු මතු වුණා. යහපාලන සංකල්ප අමුඅමුවේම උල්ලංඝණය වු නිසා ජාතික ආණ්ඩුව බිඳ වැටුණා. දැන් ජාතික ආණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නේ ඇයි. මෙහි එකම අරමුණ වෙලා තිබෙන්නේ ඉන්න අයට ඇමැති ධූර හා නියෝජ්‍ය ඇමැති ධූරදීම පමණයි. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවොත් නිසැකව අපි එය පරාජය කරනවා යැයි කීය.

ඡායාරූපය - ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න