ජනපතිවරණයක් වහාම කැඳවන්න | දිනමිණ

ජනපතිවරණයක් වහාම කැඳවන්න

කමනි අල්විස්

* විපක්ෂයේ කුමන්ත්‍රණවලට විසඳුම ජාතික ආණ්ඩුවක්
* රුපියලේ අගය ඉහළ යන විට විපක්ෂය නිහඬයි

ජනාධිපතිවරණය වහාම කැඳවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරු ඊයේ (7දා) එක හඬින් ප්‍රකාශ කර සිටියේය.

ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමට ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ ඒ සඳහා සහාය දැක්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල බොහෝ මන්ත්‍රීවරු සැදී පැහැදී සිටින බවයි. කුමන්ත්‍රණ අභියෝග මැද ආණ්ඩුව ගෙන යන බැවින් ආණ්ඩුව ශක්තිමත් කරගැනීම බෙහෙවින් අවැසි බවත් මන්ත්‍රී රහුමාන් මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරු මේ බව පැවසීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙසේ පැවසීය.

වසර 2015 දී අපගේ ජනාධිපතිවරු ලෙස පත්කරගත් ජනාධිපතිවරයා තම කාර්යභාරය සම්පූර්ණයෙන් වෙනස් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවැසි භූමිකාව සකස් කළා. ව්‍යවස්ථා විරෝධී දින පනස්දෙකේ කුමන්ත්‍රණයේදී එතුමා හා අප අතර වෙනස ජනතාව දැනගත්තා.

නිදහස් දිනයේ ජාතිය අමතමින් සහ පෙරේදා (6) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ හෙළා දකිනවා. පෙරේදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා නිර්දය ලෙස විවේචනය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මානව හිමිකම් කොමිසම විවේචනය කරමින් හිතුවක්කාර ආයතන ලෙස දැක්වූවා. ජනතාවට වගකියන නීති පද්ධති සෑදීමට කොමිෂන් අවශ්‍යයයි. වර්තමානයේ ජනතාව භුක්ති විඳින නිදහසට හේතුව දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ කොමිෂන් සභා ඇතිකිරීමයි. දහනම වැනි සංශෝධනයට එකඟවුණ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව විවේචනය කළා.

කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ගෞරවයක්. හිටපු ජනාධිපතිවරයා විනිසුරුවරුන්ගේ දරුවන්ට වාහන පරිත්‍යාග කරමින් විනිසුරුවරුන් තම නිවසට කැඳවා හිතවත්කමට තමන්ගේ කාර්යභාරය ඉටුකර ගැනීමට විනිසුරුවරුන් පත්කළා. දහනමවැනි සංශෝධනයෙන් වර්තමාන ආණ්ඩුව නීත්‍යානුකූලව සම්ප්‍රදායානුකූලව විනිසුරුවරුන් පත්කළා. කිසිම බලපෑමක් ඇතිවුණේ නෑ.

තමන් විරුද්ධ පිලේ බවට ජනාධිපතිවරයා එළිපිටම ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා නිවැරැදි නම් වහාම කළ යුත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමයි. එවිට ඔහු සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පිලේ නම් හැටදෙලක්ෂයක ඡන්ද ඔහුට ලැබෙනු ඇත.

යුක්තියේ සටනින් ජයගත් ආණ්ඩුවට මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු අතිවිශාල කාර්යයන් රැසකි. උපාධිධාරීන්ට රැකියා ලබාදීම පාසල් සිසුන්ට පරිගණක ලබාදෙමින් ඉහළ අධ්‍යාපනයට මංපෙත් විවර කිරීමත් ඒ අතරේ තිබෙනවා යැයි ද මන්ත්‍රී මහාචාර්ය මාරසිංහ මහතා පැවසීය.

මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව අවුල් කරමින් කුමන්ත්‍රණ කරනවා. ඒ සියලු අභියෝග මැද ආණ්ඩුව ගෙන යාමට සිදු වී තිබෙනවා.

නිදහස් දිනයේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළේ දේශපාලන කතාවක්. ජාතියක් ලෙස අභිමානවත්ව කළ යුතු කතාවක් වෙනුවට අගමැතිවරයා අසලින් තබාගෙන එක්සත් ජාතික පක්ෂයට අසත්‍ය චෝදනා සිදු කළා. දින පනස්දෙකක කාලය තුළ මේ රටේ ආර්ථිකය ඇතුළුව සාමාන්‍ය ජන ජීවිතය අඩාල වුණා. රටම විනාශ වුණා. ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. දැන් ඩොලරය අඩුවෙනවා. බන්දුල මන්ත්‍රීවරයා නිහඬයි. වෙනදාට උදේ අවදි වන්නේ ඩොලරයෙන් ව්‍යවස්ථාව, අමෙරිකා කඳවුරු, ජාතිවාදී ආගම්වාදී ව්‍යාජ බිල්ලන් මවමින් රට අස්ථාවර කිරීමට ඇතමුන් ක්‍රියා කරනවා.

මුදල් ඇමැතිවරයා රටට හිතකර සහනදායි අයවැයක් ඉදිරිපත් කරනු නිසැකයි. රට ලෝකයත් සමඟ ඉදිරියට යන ශ්‍රේෂ්ඨ අයවැයක්. වහාම ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවත්විය යුතුයි. පුළුල් පෙරමුණකින් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මන්ත්‍රී රහුමාන් මහතා පැවසීය.

ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න