ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය අද ඇරැඹේ | දිනමිණ

ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය අද ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝගතා කුසලාන යොවුන් බොක්සිං ශූරතාවලිය සහ පෙල්ප්ස් අනුස්මරණ අභියෝගතා කුසලාන ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය අද (8) ඉංගිරියේදී ආරම්භ වෙයි. අද සිට ලබන 11 වැනිදා දක්වා පැවැත්වෙන මේ ශූරතා ද්විත්වය ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් මෙහෙයවනු ලබයි. පසුගිය වසරේ අගභාගයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ ශූරතා ද්විත්වය අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් කල් දැමීමට සිදුවී තිබිණි.

අවුරුදු 17 -18 බාලක බාලිකා තරගාවලියක් වන යොවුන් බොක්සිං ශූරතාවලියට දෙඅංශයෙන්ම බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වෙයි. ඕනෑම පාසල් බොක්සිං තරගාවලියක පදක්කමක් දිනූ අවුරුදු 19න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ කිලෝග්‍රෑම් 49, 52, 56, 60 සහ 64 බර පන්තියෙන් තරගවලට සහභාගි විය හැකි අතර ආධුනික තරග කරුවන්ට කිලෝග්‍රෑම් 69, 75, 81,91 සහ 91ට වැඩි බරපන්ති සඳහා තරග කළ හැකිය.

වසර 2017 යොවුන් බොක්සිං ශූරතාවලියේදී නාරංදෙණිය ජාතික පාසල සමස්ත බාලිකා ශූරතාව දිනාගත් අතර කෙන්ගල්ල මහ විද්‍යාලයේ කේ.ඩබ්.අයි. සෙව්වන්දි හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනුවාය. හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨය එම තරගාවලියේ බාලක ශූරතාව දිනාගත් අතර මහනුවර ධර්මරාජ විදුහලේ ජේ.එච්.එන්.ජිනදාස හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

එවර ජාතික කනිෂ්ඨ බොක්සිං ශුරතාවලියේ කාන්තා ශුරතාව දිනාගැනීමට කෝට්ටේ ආනන්ද බාලිකා විදුහල සමත්වූ අතර එම විදුහලේ ආර්.කේ.ඒ.ඒ.රණසිංහ හොඳම ක්‍රීඩිකාව බවට පත්වූවාය. මහනුවර විද්‍යාර්ථ විදුහල සමස්ත පිරිමි ශුරතාව දිනාගත් අතර ධර්මරාජ විදුහලේ ජේ.එච්.එන්.ජිනදාස හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

එවකට පාසල් බොක්සිං වළල්ලේ හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයකු වූ බොක්සිං සංගමයේ වත්මන් උපසභාපති විශ්‍රාමික ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මේ ශූරතා ද්විත්වයට එක්වෙයි.


නව අදහස දක්වන්න