සී.ආර්.පිලට හෙට මහනුවර සමඟ තීරණාත්මක තරගයක් | දිනමිණ

සී.ආර්.පිලට හෙට මහනුවර සමඟ තීරණාත්මක තරගයක්

ෆවුස් මොහොමඩ්

මෙතෙක් පැවැති තරග 12කින් 6ක් පමණක් ජයගෙන සමස්ත ලකුණු 40ක් ලබා සිවුවැනි තැන පසුවන සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට සුපිරි හතරේ වටයට එක්වීමේ තීරණාත්මක තරගයක් හෙට (9) පස්වරුවේ මහනුවර පිල සමග පැවැත්වෙයි. සමස්ත ලකුණු 32ක් ලබා පස්වැනි තැන සිටින යුද හමුදා ක්‍රීඩා සමාජයත් හෙට පස්වරුවේ රත්මලානේදී ලකුණු සටහනේ 7 වැනි තැන සිටින පොලිස් ක්‍රීඩා සමාජය සමග තරග වදින බැවින් අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ සී.ආර්.පිලේ බලාපොරොත්තු අවදානම් තත්ත්වයක පවතී.

හෙට පැවැත්වෙන මේ තරග ද්විත්වයේ තීරණය ලබන සතියේ දෙවැනි වටයේ අවසන් තරගවලදී සුපිරි හතර වටයට එක්වීමේ සී.ආර්.පිලේ මෙන්ම යුද හමුදා පිලේ ද බලාපොරොත්තු ඇතිවීම හෝ නැතිවීම කෙරෙහි දැඩි බලපැමක් එල්ල කරනු ඇත. යුද හමුදා පිල සමස්ත ලකුණු 32ක් ලබා සිටින අතර හෙට පොලිස් පිල හමුවේ ප්‍රසාද ලකුණකුත් සහිතව වැඩි උත්සාහක දිනුම් ප්‍රමාණයකින් තරගය ජයගැනීමට බලාපොරොත්තු පොදි බැඳ සිටින්නේ ලබන සතියේදී සී.එච්.පිලට මුහුණදීමට පෙර හිස ඔසවා ගැනීමේ අපේක්ෂාවෙනි.

ලබන සතියේදී සී.ආර්.පිලේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ ලකුණු සටහනේ අවසන් තැන සිටින ගුවන් හමුදාව වන අතර එම තරගයේ ජයග්‍රහණය ඔවුන් දැනටමත් සහතික කරගෙන සිටි. එසේ වුවත් පසුගියදා මහනුවර පිල පරාජයට පත්කිරීමට සමත්වූ යුද හමුදා පිල සිය දස්කම් මුවහත් කරමින් සිටින අතර හෙට පොලිස් කණ්ඩායමත්, ලබන සතියේදී සී. එච්. කණ්ඩායමත් පරාජය කිරිමට සමත්වුවහොත් සුපිරි හතර වටයට එක්වීමේ අවස්ථාවක් ඔවුන්ට ලැබෙනු නිසැකය. එබැවින් සුපිරි හතරට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු රඳවා තබාගැනීමට නම් හෙට තරගයේදී මහනුවර පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සී.ආර්.පිලට සිදුවනු ඇත.

පෙරළිකාර සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයත් සමග අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවූ ආරම්භයේ සිටම පෙරමුණ ගෙන සිටි වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජයේ අරමුණ වී ඇත්තේ හෙට තරගයේදී සිය අභිමානය රැක ගනිමින් පිට පිට තරග දෙකක් පරාජයට පත්වීමෙන් වැළකී සිටීමටය. එබැවින් හෙට පැවැත්වෙන සී.ආර්. සහ මහනුවර පිල අතර තරගය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ප්‍රසාද ලකුණු 4ක් සමග සමස්ත ලකුණු 32ක් ලබා පස්වැනි තැන රැඳී සිටින යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ප්‍රසාද ලකුණු 8ක් සමග සමස්ත ලකුණු 23ක් ලබා 7 වැනි තැන සිටින පොලිස් කණ්ඩායම අතර තරගය හෙට පස්වරුවේ රත්මලානේදී පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු 12න් සමග සමස්ත ලකුණු 27ක් ලබා 6 වැනි තැන පසුවන නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ප්‍රසාද ලකුණු 3ක් සමග සමස්ත ලකුණු 8ක් ලබා අටවැනි තැන රැඳී සිටින ගුවන් හමුදා පිල අතර තරගය අනිද්දා (10) පස්වරුවේ වැලිසරදී පැවැත්වෙයි. පසුගිය සතියේදී පොලිස් පිල පරදවා ප්‍රසාද ලකුණු 9ක් සමග සමස්ත ලකුණු 64ක් ලබා පෙරමුණ ගෙන සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අනිද්දා පස්වරුවේ පෙරළිකාර සී.එච්.පිලේ අභියෝගයට මුහුණදීමට කොළඹ තුරඟ තරග පිටියට එක්වෙයි. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මෙතෙක් පරාජයට පත්වී ඇත්තේ පළමු වටයේදී මහනුවර පිලට පමණි. එසේ වුවත් අනිද්දා පැවැත්වෙන තරගයේදී හැව්ලොක්ස් පිලේ ප්‍රතිවාදියා වන ප්‍රසාද ලකුණු 11ක් සමග සමස්ත ලකුණු 51ක් ලබා තුන්වැනි තැන සිටින පෙරළිකාර සී.එච්.පිල හමුවේ දැඩි සටනක නිරතවීමට හැව්ලොක්ස් පිලට සිදුවනු ඇත.


නව අදහස දක්වන්න