අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු සංචාරය අරඹයි | දිනමිණ

අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු සංචාරය අරඹයි

ෆවුස් මොහොමඩ්

වේගවත් තණතීරු සහිත නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ වේගපන්දු යවන්නන් හමුවේ අසරණවෙමින් ටෙස්ට් තරගමාලා ද්විත්වයම පරාජයට පත්වීමේ වේදනාවත් කරපින්නා ගෙන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අභියෝගයකට මුහුණදීමට ඊයේ දකුණු අප්‍රිකාවට ගොඩ බැස්සේය.

පසුගිය දෙසැම්බර් මාසයේ මුල් භාගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් නවසීලන්තය බලා ශ්‍රී ලංකාවෙන් පිටත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය නිමාකර නැවත පැමිණීමට නියමිතව ඇත්තේ මාර්තු මාසයේ අගභාගයේදීය. මාස 4කට ආසන්න කාලයක් පුරා වෙහෙසකාරී ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග බිමේ ක්‍රීඩා කරමින්ද, විවිධ ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවට නවක ක්‍රීඩකයන් ආදේශ කරමින්ද, දස්කම් අතර නොසිටින ක්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකාව බලා පිටත් කර හරිමින්ද, නායකත්වයේ වෙනසක් සිදු කරමින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මුහුණපාමින් සිටින්නේ එක්තරා අන්දමක සංක්‍රාන්ති සමයකටය.

ඊයේ චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වයෙන් සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 10 දෙනකු දකුණු අප්‍රිකාවට සේන්දු වූ අතර ඊට ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න ඇතුළත් වූහ. මේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව බලා පිටත්ව යද්දී ශ්‍රී ලංකාවේ සිට ඊයේ මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු සහ මොහොමඩ් ශිරාස් දකුණු අප්‍රිකාව බලා පිටත්වූහ. වීසා ලබාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් ලසිත් ඇඹුල්දෙණිය සහ ඇන්ජෙලෝ පෙරේරා මේ සති අන්තයේ පිටත්ව යාමට නියමිතව ඇත. මේ අතර ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී පෞද්ගලික නිවාඩු ලබා නැවත එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ජොන් ලුවිස් ද මේ සංචාරයට එක්වී සිටී. පසුගිය වසරේ එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැති ටෙස්ට් තරගමාලාවේ සිට පිට පිට ටෙස්ට් තරගමාලා 3ක්ම පරාජයට පත්වීමෙන් දැඩි පසුබෑමකට ලක්වී සිටින ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්, දඟපන්දු යවන ඩිල්රුවන් පෙරේරා, ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම සහ මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා ඔස්ට්‍රේලියාවේ සිට ඊයේ ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණියහ.

අවසන් වරට පසුගිය 2016-2017 තරගවාරයේදී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාවේදි තරග 3-0කින් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලේ වැඩි පිරිසක් මෙවර ද කණ්ඩායම නියෝජනය කරන අතර නැවත අභිමානවත් අයුරින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි.

පිට පිට අසාර්ථක ක්‍රීඩා රටාවක නිරතවීම හේතුවෙන් නායකයා මෙන්ම කණ්ඩායමේ පුහුණුකරුවා ද දැඩි විවේචනයට ලක්වූවත් හතුරුසිංහගේ පුහුණුකාරිත්වය එළැඹෙන ලෝක කුසලාන තරගමාලාව දක්වා රඳවා තබාගැනීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ. ලොව දක්ෂතම පුහුණුකරුවන් අතර සිටින හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත හිස ඔසවනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයට ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් වන අතර පළමු ටෙස්ට් තරගය මේ මස 13 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වෙයි.

නව අදහස දක්වන්න