චැම්පියන් ලීග් ශූරතාව දිනන්න කණ්ඩායම් 4ක් උණුසුම් සටනක | දිනමිණ

චැම්පියන් ලීග් ශූරතාව දිනන්න කණ්ඩායම් 4ක් උණුසුම් සටනක

ප්‍රින්ස් ගුණසේකර

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛතම චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය වසරේ ඔක්තෝම්බරයේ ආරම්භවී තවත් දින කිහිපයකින් නිමාවට පත්වීමට නියමිතය. මෙතෙක් පැවැති චැම්පියන් ලීග් පාපන්දු තරගවලට හාත්පසින්ම වෙනස් ස්වරූපයේ ප්‍රශ්න රැසකට මුහුණදුන් තරගාවලියක්වන මෙවර තවත් තරග දෙක බැගින් ඉතිරිව තිබියදීත් ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න සිතාගත නොහැකි මට්ටමේ උණුසුම් තත්ත්වයක පවතී.

චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව පසුගිය වසරේදී කොළඹ පාපන්දු සමාජය හිමිකරගත් අතර රිනවුන් ක්‍රීඩා සමාජය අනු ශූරතාව දිනා ගත්තේය. කොළඹ පාපන්දු සමාජය පිට පිට තෙවැනි වරට චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනා සිටින අතර ඔවුන් ඉදිරි තරග දෙකේදී පෙන්වන දක්ෂතාමත අනාගතය තීරණය වුවද, රිනවුන් පිලට අනු ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව හෝ ගිලිහී ගොස් ඇත.

දැනට තරගාවලියේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින නාවික හමුදාව, කොළඹ පාපන්දු සමාජය, කළුතර බ්ලූ ස්ටාර් හා යුද හමුදාව යන කණ්ඩායම් අතුරින් එකක් මෙවර චැම්පියන් ලීග් ශූරතාව හා රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගය දිනා ගැනීමේ සටනට පැහැදිලිවම අවතීර්නවී සිටිති.

නාවික හමුදාව තරග 14කට ක්‍රීඩා කොට 9ක් ජයගෙන තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරග 2ක් පරාජයවී ප්‍රසාද ලකුණු 30ක් ලබා සිටින අතර, කොළඹ පාපන්දු සමාජය තරග 14කට ක්‍රීඩා කොට 8ක් ජයගෙන තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරගයක් පරාජයවී ප්‍රසාද ලකුණු 29ක් ලබා සිටී. කළුතර බ්ලූ ස්ටාර් තරග 14කට ක්‍රීඩා කොට 9ක් ජයගෙන තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරග 3ක් පරාජයවී ප්‍රසාද ලකුණු 29ක් ලබා ඇති අතර යුද හමුදාව තරග 14කදී තරග 8ක් ජයගෙන තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරග 2ක් පරාජයවී ප්‍රසාද ලකුණු 28ක් ලබා ඇත. චැමිපියන් ලීග් තරගයක් ජය ගන්නා කණ්ඩායමට ලකුණු 3ක් හා ජය පරාජයෙන් තොරව නිමාවෙද්දී කණ්ඩායම් දෙකට ලකුණ බැගින් එක්වී මේ ලකුණු සටහන නිර්මාණයවී ඇත.

මේ තත්ත්වය මත ඉතිරි තරග දෙකම ජය ගන්නා කණ්ඩායමට පහසුවෙන් ශූරතාව දිනා ගැනීමේ අවස්ථා නිර්මාණයවී ඇත. මේ ඉතිරි තරග දෙකෙන් පළමු තරග වටය හෙට පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල මේ කණ්ඩායම් හතරටම ඉතා වැදගත් වනු ඇත. ඉදිරියේදී නාවික හමුදා පිලට මාතර සිටි හා කොළඹ පාපන්දු සමාජය සමග තරග ඉතිරිව ඇති අතර, කොළඹ පිලට අනෙක් ඉතිරි තරගය යුද හමුදාව සමග වේ. බ්ලූ ස්ටාර් පිලට කුරුණෑගල පෙළිකන්ස් හා යුද හමුදා පිල සමග තීරණාත්මක ගැටුම් ඉතිරිව පවතී.

මේ කණ්ඩායම් හතරම තරගාවලිය අතරතුර පරාජයට පත්වේ යැයි නොසිතූ තරග පරාජයවීම විශේෂත්වයකි. ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින නිගම්බු යූත් පිල හමුවේ කොළඹ පාපන්දු සමාජය පරාජයවීමත්, නාවික හමුදාව සෝන්ඩර්ස් ඉදිරියේ පරාජයවීමත්, යුද හමුදාව අප් කන්ට්‍රි ලයන්ස් පිල ඉදිරියේ පසුබැසීමත් නොසිතූ මොහොතක සිදු විය. මෙවර තරගාවලියට එක්වූ කෝඩුකාර රෙඩ් ස්ටාර් හමුවේ බ්ලූ ස්ටාර් ලද පරාජයත් බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය. එමෙන්ම කොළඹ පාපන්දු සමාජය ශූරතාව දිනා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටියදී, රිනවුන් සමග අවසන් මිනිත්තුවේදී ජය පරාජයෙන් තොරව නිමාවීම කොළඹ පිලට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බාධා ගෙන දුන්නේය.

කෙසේ වුවද වසර ගණනාවකට පසු රත්නම් ක්‍රීඩා සමාජය චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට එක්වී දැනට 5වැනි ස්ථානයේ සිටීම කැපී පෙනේ. රත්නම් ක්‍රීඩා සමාජයේ යොවුන් ක්‍රීඩකයන් සමග නයිජීරියානු ජාතික ක්‍රීඩකයන් තිදෙනාගේ සේවය මනාලෙස කළමනාකරණයවීම මේ ආකාරයෙන් ඉදිරියට පැමිණීමට හේතු විය. එහෙත් අවසන් තරග කිහිපයේදී රත්නම් පිලේ විදෙස් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වීම ඔවුන්ට අවාසිදායකවී තිබේ.

මෙවර තරගාවලියේදී ආරක්ෂක හමුදා ක්‍රීඩා සමාජ හා සෝන්ඩර්ස් පිල හැර අනෙක් සියලුම ක්‍රීඩා සමාජ විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි කොට ඇත. ජාවාලේන් ක්‍රීඩා සමාජය පමණක් එක් ක්‍රීඩකයෙක් නයිජීරියාවෙන් ගෙන්වා ඇත. එහෙත් මෙවර තරගාවලියේදී විදෙස් ක්‍රීඩකයන්ගේ සේවය එතරම් සාර්ථකව නොලැඹුන බව ඇතැම් කණ්ඩායම්වලින් මැසිවිලි නැගී ඇත.

මෙයට පෙර ශූරතා පිට ශූරතා දිනාගත් නිගම්බු යූත් පිල මෙවර ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූයේ විදෙස් ක්‍රීඩකයන් තිදෙනාගේ සේවය බලාපොරොත්තු පරිදි ඉටු නොවූ බැවින් යැයි මතයකි. එමෙන්ම කොළඹ පාපන්දු පිලට ද විදෙස් ක්‍රීඩකයන් එක්කළ ගෝල් ප්‍රමාණය වෙනදාට වඩා අවම මට්ටමක පවතී. එහෙත් බ්ලූ ස්ටාර්, රෙඩ් ස්ටාර්, මාතර සිටි, අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම්වලට විදෙස් ක්‍රීඩකයන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබුණු බව පෙනේ.

පසුගිය වසරේ චැම්පියන් ලීග් තරගාවලියේ ප්‍රතිඵල අනුව ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටස දක්වා පහළ වැටුණු අතර ප්‍රීමියර් ලීග් පාපන්දු පළමු කොටසේ ශූරයන් හා අනු ශූරයන්වූ රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජය හා රත්නම් ක්‍රීඩා සමාජය චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට මෙවර උසස්වීම් ලබා ක්‍රීඩා කළහ.

ඒ අනුව මෙවර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට කොළඹ පාපන්දු සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, නිව් යංග්ස් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, පෙළිකන්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදාව, මාතර ක්‍රීඩා සමාජය, යුද හමුදාව, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදාව, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය, බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය, නිගම්බූ යූත් ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය, රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජය හා රත්නම් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්හ.

මෙවර ද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වන ක්‍රීඩා සමාජ දෙක ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටස දක්වා පහළ වැටෙන අතර ඒ කවුරුන්ද යන්න තවත් දින කිහිපයකින් නිශ්චිතව ප්‍රකාශ කළ හැකිවනු ඇත. ඒ කණ්ඩායම් දෙක කවුරු වුවද පහළ සිට ඉහලට පැමිණිය යුතුවේ.


නව අදහස දක්වන්න