SLFP ආණ්ඩුවක් හදන්න ක්‍රියා කළ යුතුයි | දිනමිණ

SLFP ආණ්ඩුවක් හදන්න ක්‍රියා කළ යුතුයි

ස්වර්ණා විජේකෝන්

මේ වසර මැතිවරණ වසරක්
- ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා

ශ්‍රීලනිපය කියන්නේ අභියෝග මැදින් ඉදිරියට ආ පක්ෂයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා

රටට නව ආණ්ඩුවක් නිර්මාණය වන ‍ මේ වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රටට ආදරය කරන පුළුල් ජනතා ව්‍යාපාරයක් බිහි කරගනිමින් ශක්තිමත් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නව දේශපාලන ප්‍රවණතා පිළිබඳ හඳුනාගෙන කටයුතු කිරීම සිදුකළ යුතු බවත් පාක්ෂිකයාගේ, ගමේ, ජනතාවගේ, විශේෂයෙන් මෙරට උගත් නව පරපුරේත් සිතුම් පැතුම් හා චින්තනයන් හඳුනාගෙන නව දේශයක් ගොඩනැගීම සඳහා රටට ආදරය කරන සියලු දේශප්‍රේමි, දේශමාමක, පිරිසිදු බලවේග සමඟ ඒකරාශි වෙමින් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කර ඇති ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස තුනක කාල සීමාවේ දී පක්ෂය ශක්තිමත් කිරීම සඳහා සියලු දෙනා පැය විසිහතර පුරා කැපවිය යුතු අතර කම්මැලිකමට සිටිමින් ආණ්ඩු හදන්න හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා පැය විසිහතර පුරා කැපවී වැඩකරමින් මේ වසරේ දී රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට කැපවී ක‍ටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. පක්ෂ කාර්යාලයක් දිස්ත්‍රික්කයක හෝ ගමක හෝ කොට්ඨාසයක හෝ පිහිටුවීමේ අත්දැකීම ඔබට තියෙනවා. අපේ විතරක් නොවෙයි. අනෙක් පක්ෂවලටත් පක්ෂ කාර්යාලයකට ගොඩනැගිල්ලක් දෙන්න බොහෝ කෙනෙක් මැලි වෙනවා. එක් පැත්තකින් බය වෙනවා. ඇතැම් වෙලාවට ඉල්ලීම් මඟ හරිනවා. ප්‍රතික්ෂේප කරනවා. ගණන් හදනවා කාර්යාලය දීලා වාසියක් වෙයි ද? අවාසියක් වෙයි ද? ඊළඟට එන ආණ්ඩුවෙන් ගුටිකන්න වෙයිද මේ කාර්යාලය දීලා. මේවා තමයි සාමාන්‍යයෙන් කාර්යාලයක් දෙන්න ගියාම හිතන ඒවා. ඒවා බොහොම සාධාරණයි. අපේ දේශපාලන සංස්කෘතියත් එක්ක. ඒ සියලූ අභියෝග පිළිබඳව පුළුල් අත්දැකීම් තිබෙන තිලංග සුමතිපාල මහතා කොළඹ දිස්ත්‍රික් නායකයා වශයෙන් පත් කිරීමෙන් අනතුරුව එතුමාගේ නිවසට යාබදව මේ නව කාර්යාලය විවෘත කිරීම සම්බන්ධව මා පක්ෂය වෙනුවෙන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මෙහි දී කතා කළ මැති ඇමැතිවරු කිව්වා වගේ සුමතිපාල පරම්පරාව එදා මෙදා කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසීරු අමාරු අවස්ථාවන්ට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම කර ගහපු පරම්පරාවක්.

80 දශකයේ මුල් කාලයේ ඩාලි පාරේ අපේ පක්ෂ කාර්යාලය නැතිව ගිය අවස්ථාවේ බොරැල්ලේ උද්‍යාන පාරේ පක්ෂ කාර්යාලයක් තාවකාලිකව දාන්න ගිය වෙලාවේ සුමතිපාල පරම්පරාවෙන් තමයි අපට ඒ ගොඩනැගිල්ලත් දීලා. අමාරු වූ වෙලාවේ කර ගැහුවේ කියා මේ අවස්ථාවේ මා සිහිපත් කරන්න කැමැතියි.

අපිට අවශ්‍ය වන්නේ ජයග්‍රහණය පෙනී පෙනී තිබෙන අවස්ථාවේ ඒ ජයග්‍රහණයට කොඩි වනන මිනිසුන් නොවෙයි. අපිට අවශ්‍ය ජයග්‍රහණය ඈත පෙනෙද් දී ඒ ඈත පෙනෙන ජයග්‍රහණය ළඟා කරගන්න ඊට වේගයෙන් එක්වන ජනතාවගේ සහ ඊට සහාය දෙන අයගේ සහයෝගයයි. දිනුම දකින විට බොහෝ අය අපිට එකතුවෙනවා. දිනුම අසීරුයි කියන විට ඇතැම් අය ඈත් වෙනවා. අභියෝගය බාරගන්න කැමති අය එක්වෙනවා. අපිට අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ඔබ පැහැදිලිවම දන්නවා. මේ වසර මැතිවරණ වසරක්. මේ වසර මේ රටට අලුත් ආණ්ඩුවක් හැදෙන හදන වසරක්. ඒ හදන අලුත් ආණ්ඩුව සඳහා තමයි අද තමුන්නාන්සේලා අපි මේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළේ. එතුමා කාර්යාලයට උදෘත පාඨයක් දාලා තිබෙනවා ”කොළඹ පරිවර්තනය” කොළඹ වෙනස කියලා. කොළඹ වෙනස් විය යුතුයි. එක් එක් යුග තුළ කොළඹ වෙනස් වෙලා තියෙනවා. අපේ දේශපාලන ව්‍යාපාරයට සුදුසු විදියට. ඒ නිසා කොළඹ කියන්නේ වෙනස් කරන්න බැරි දිස්ත්‍රික්කයක් නොවෙයි. ඒ වෙනස කරන්න සෑම කෙනෙක්ගේම කැපවීම, සහයෝගය, අනුග්‍රහය තිබෙන්න ඕනෑ.

ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට රටට ආදරය කරන අයගේ පුළුල් ජනතා ව්‍යාපාරයක් බිහිකරගෙන ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න ඕනෑ.

විශේෂයෙන් මා සඳහන් කරන්න ඕනෑ සම්ප්‍රදායික දේශපාලන කතාබහත් එක්ක ඒ සම්ප්‍රදායේම ඇලී ගැලී සිටින අය කියනවා .දේශපාලන පක්ෂ පරාජය කිරීම පිළිබඳව අපේ රටේ. දේශපාලන නායකයන් පරාජය කිරීම පිළිබඳව. අපට අද තිබෙන්නේ පක්ෂ හෝ නායකයන් පරාජය කිරීම නොවෙයි. අද අපට තිබෙන්නේ රටට ද්‍රෝහී ජනතාවට ද්‍රෝහී බලවේග හරියට හඳුනාගෙන ඒ බලවේග පරාජය කිරීමයි. එය මා බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න ඕනෑ. සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. සෑම දේශපාලන පක්ෂයකම අවංක පිරිසක් ඉන්නවා. ඒ වගේම රටට ද්‍රෝහිකම් කරන, තමන් ගැන විතරක් හිතන පිරිසක් ඉන්නවා. මේ පවතින දේශපාලන පසුබිම හා දේශපාලන වාතාවරණය තුළ අපි හිතන්නට ඕනෑ අපි තෝරා ගන්න ඕනෑ. මේ රටට ආදරය කරන පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට සුදුසු නායකයන් සහ ක්‍රියාකාරීකයන්, අනුගාමිකයන් සහ සාමාජිකයන් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න.

මේ රටේ අද සිදුවන වංචා, දූෂණ, හොරකම්, නාස්තිය, අක්‍රමිතාවන් පිළිබඳව මට නම් අදත් පුදුමයි. 1994 ගත්තොත් වසර 17ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කර චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සටන් පාඨය වුණේ කුමක්ද. දූෂණය හා භීෂණය පරාජය කරමු කියලා. අපි භිෂණය පරාජය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගෙවී ගිය වසර හතරේ භිෂණය පැහැදිලිව පරාජය කර තිබෙනවා. මම එය ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා නැහැයි කියන්න කියලා. නමුත් ගතවූ වසර 25ක 30ක කාලය තුළ කිසිම දේශපාලන පක්ෂයකට ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක දී සටන් පාඨයක් වෙච්ච දූෂණය පරාජය කරන්න පුළුවන් වී නැහැ. දූෂිතයන් සහ දුෂිත බලවේග ශක්තිමත් වෙලා තියෙනවා. මම ඒ පිළිබඳ විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මත්ද්‍රව්‍ය ජාවාරම වෙනත් වෙළෙඳ ව්‍යාපාරත් එක්ක තිබෙන පුළුල් ජාවාරමක්. රටේ අස්සක් මුල්ලක් නෑර දූෂණය කියන එක පිරිලා ඉතිරිලා ගිහින් තිබෙනවා. කෙනෙක් අහන්න පුළුවන් ඔබ ජනාධිපති ඔබ අතේ පොලීසිය තියෙනවා .ඇයි ඒවා වෙනස් කරන්න බැරිද කියලා. ඒවා වෙනස් කරන්න පැය විසිහතරෙන් පුළුවන්කමක් නැහැ. මං මගේ අතට පොලිසිය අරගෙන දැන් මාස දෙකකට අඩුයි. ඒ කාලයේ දහසක් අභ්‍යන්තර වෙනස්කම් කර තියෙනවා. පොලිසිය නීතිය හා සාමය වගේම පොලිසිය රටට ගැළපෙන විශේෂයෙන්ම සමාජ විරෝධී, නීති විරෝධි දූෂිත තත්ත්වයෙන් වෙනස් කරන්න, මර්දනය කරන්න, ශක්තිමත් පොලිසියක අවශ්‍යතාව ගොඩනගන්න මං පටන් අරගෙන තියෙනවා. නමුත් පුළුල් දූෂිත බලවේගවලට මේ රටේ විශාල ශක්තියක් තිබෙනවා. ඒවා දේශපාලන පක්ෂ භේදවලින් තොරවයි තිබෙන්නේ. මේවා රටක් විදියට හඳුනාගෙන අපේ වගකීම් මොනවද කියලා තේරුම් අරගෙන රටට ආදරේ කරන පිරිසක් එක්ක රට හදන්න ඉදිරියට යන්න අපි සියලූදෙනා එකට එකතු වෙන්න කියන ගෞරවනීය ඉල්ලීමයි ඔබ වගේම රටේ සෑම කෙනෙකුගෙන්ම මට ඉල්ලා සිටින්න වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය, බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වය, බණ්ඩාරනායක මැතිතුමා එදා පක්ෂය හදලා ආණ්ඩුව හදලා ඔවුන්ට දුන්න අභියෝග දුෂ්කරතා ජීවිත පුජා කිරීම් එදා මෙදා තුර බණ්ඩාරනායක මැතිනියගේ අත්දැකීම් කඳුළු සැළුවා. බණ්ඩාරනායක මැතිණිය පක්ෂය සහ රට වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කවලට ලක්වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ අත්දැකීම් ඒ වගේම යුද්ධය ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම්. මේ සියල්ලත් එක්ක පෝෂණය වෙච්ච පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ පක්ෂය වෙනුවෙන් නායකයෝ විතරක් නොවෙයි .බණ්ඩාරනායක මැතිතුමා විතරක් නොවෙයි. මේ රටේ වැඩ කරන කම්කරුවෝ, ප්‍රගතිශීලීන්, පීඩිතයන් කොච්චර මැරුම්කාලා තියෙනවද? වෙඩිකාලා තියෙනවද? අතපය නැතිවෙලා තියෙනවද? පක්ෂයේ ආරම්භයේ සිටම අපිට උරුම වුයේ පන්ති සටනක්. ප්‍රගතිශීලී සටනක්. ඒ ප්‍රගිතිශීලි පන්ති සටන කියන එක එදා මෙදා දේශපාලන ලෝකයේ සිදුවුණු වෙනස්කම් එක්ක අද නව ආර්ථික ක්‍රමවේදයක් නව සමාජ බලවේගයක් නව සංස්කෘතික බලවේගයන් සමඟ අපි අලුතෙන් හිතලා අලුතෙන් සැලසුම් කර තියෙනවා. අපි පනහේ දශකේ හිතපු විදියට ඉදලා ආණ්ඩු හදන්න බැහැ. හැටේ දශකේ හැත්තෑවේ දශකේ අසුව දශකේ අනූව දශකේ හිතපු විදියට හිතලා ආණ්ඩුව හදන්න අද පුළුවන්කමක් නැහැ. අද ආණ්ඩුවක් හදන්න පුළුල්ව රටට ආදරේ කරන සහ රටට ආදරයක් නැති, තමන් විතරක් වර්ධනය වෙන, රට අමතක කරන පිරිස් සමඟ, මේ සටන කරන්නේ කොහොමද කියන එක අප විසින් පැහැදිලිව තේරුම් ගත යුතුව තිබෙනවා.දූෂිත බලවේග පරාජය කළයුතු වෙනවා. රට විනාශ කරන විදේශීය නියෝජිතයන් පිළිබඳව අපි හොඳින් හඳුනාගැනීම අවශ්‍යය වෙනවා. විදේශ බලවේග අපි බොහෝම පැහැදිව තේරුම් ගතයුතු වෙනවා. මේ රටේ තිබෙන දහස් ගණනක් රාජ්‍ය නොවන සංවිධාන රටට ආදරේ හිතවත් ඉතා හොඳ එන්.ජී. ඕ තියෙනවා. නමුත් මේ රට අපිට තිබෙන සංස්කෘතිය, අපේ උරුමයන්, අපේ දේශීයත්වය, අපේකම් ඒ සියල්ල විනාශ කරන්න ලෑස්තිවෙච්ච විදේශීය රාජ්‍ය නොවන සංවිධාන රාශියක් අද මේ රටේ දේශපාලනයට අතදාලා තියෙනවා. මේ රටේ සංවර්ධනයට අතදාලා තියෙනවා. මේවා හඳුනාගත යුතුව තිබෙනවා. පසුගිය අවුරුදු පනහක හැටක සම්ප්‍රදායික දේශපාලනයට වඩා මේ ඇතිවෙලා තිබෙන අලුත් දේශපාලන ප්‍රවණතා පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා.ඒ නිසා පාක්ෂිකයාටත් ගමටත් ජනතාවටත් විශේෂයෙන් මේ රටේ උගත් නව පරපුරටත් ඔවුන්ගේ සිතුම් පැතුම් සහ චින්තනයන් සමඟ නව දේශයක් ගොඩනගන්න ඉදිරියේ දී විශේෂයෙන්ම මේ අප අතර අලුත් ආණ්ඩුවක් හදන්න තමුන්නාන්සේලා අපි රටට ආදරේ කරන පැහැදිලි දේශපේ‍්‍රමී දේශමාමක පිරිසිදු බලවේග හඳුනාගෙන ඉදිරියට යෑමේ අවශ්‍යතාව සෑම කෙනෙකුටම පැහැදිලි කිරීම අවශ්‍යයයි.ඒ නිසා අද දවසේ මේ කාර්යාලය විවෘත කිරීම තුළ විශේෂයෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දැන් ආරම්භ කර තියෙනවා. නව දිස්ත්‍රි‍්‍රක් නායකයින් නව සංවිධායකයින් සමඟ මේ වැඩ පිළිවෙළ අපි ශක්තිමත්ව ඉදිරියට ගෙනියලා ඉදිරි මාස තුනක කාලසීමාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් බලවේගයක් කියන එක රටට පෙන්වන්න සියලුදෙනාම පැය විසිහතර පුරා කැපවෙන්න කියන ඉල්ලීම මම තමුන්නාන්සේලාගෙන් කරනවා. කම්මැලිකමට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ. ගණන් හදහද හිත හිත ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ. අපි දුර්වලයි කිය කිය ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ. අපි වැටිලයි කියලා හිත හිත ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ. අපි දිනනවා අපි ජයග්‍රහණය කරනවා අපි ශක්තිමත් වෙනවා කියන එක සෑම කෙනෙකුගේම කටේ තියෙන්න ඕනෑ .ඒ හඩ තියෙන්න ඕනෑ. එතැනින් තමයි රට අවදි වෙන්නේ. එතැනින් තමයි පාක්ෂිකයා අවදි වෙන්නේ. ඒ නිසා ජයග්‍රහණය පිළිබඳව සටන් පාඨයත් සමඟ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමු. රටට ආදරේ කරන හොඳ ආණ්ඩුවක් හදමු. මේ රටේ තිබෙන නව දේශපාලන ආර්ථික සහ සමාජ සංස්කෘතික බලවේග හඳුනාගෙන අපි යා යුතු ගමන්මඟ සකස් කරගන්න අවශ්‍යයි. තිලංග සුමතිපාල මහත්තයා මේ දිස්ත්‍රික්කයේ නායකයා විදියට පත්කළේ එතුමා පක්ෂයට ලොකු කැපවීමක් කරන කෙනෙක් නිසයි. මම කලින් කිව්ව විදියට. තිලංග හොඳ කළමනාකරුවෙක්. දිස්ත්‍රික් නායකයෙක් . දේශපාලන නායකයෙක් වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපේ සියලූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, පළාත් සභා මැති ඇමැතිවරු. සියලූ පළාත් පාලන මැති ඇමැතිවරු, සංවිධායකවරු, පාක්ෂිකයන්, ඒ සියලූදෙනාගෙන්ම මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ ගමන යමු. තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුතුව කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් බලවේගයක් කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න අප සියලු දෙනාම අපේ වගකීම් සහ යුතුකම් ඉටුකරමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අභියෝග මැදින් ඉදිරියට ආ පක්ෂයක්. අපගේ පක්ෂයේ ඉතිහාසය මරා දමන්නට කිසිවකුට බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය මියෙන්නට ඉඩ නො දී පක්ෂය ශක්තිමත් කරමින් පක්ෂය ඉදිරියට ගෙනයාමේ අභියෝගය, වගකීම අපි සියලුදෙනා වෙත පැවරෙනවා.අපට අභියෝග තිබෙනවා. එම අභියෝගවලට මුහුණ දෙමින් අපි පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට අපි ආරම්භ කර තිබෙනවා.පක්ෂයේ එම ප්‍රතිසංවිධාන ක්‍රියවලිය අනුව ඉදිරියේ දී බොහෝ වෙනස් කම් සිදුවෙනවා. පක්ෂය ශක්තිමත් කරනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි මේ වනවිට පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපි ගිය සතියේ දී දිස්ත්‍රික් නායකයන් පත්කළා. තව දෙදෙනෙක් පත්කිරීමට තිබෙනවා. එලෙස පත්කළ දිස්ත්‍රික් නායකයෙක් තමයි තිලංග සුමතිපාල මහතා. එතුමා කොළඹ දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරනවා. තිලංග සුමතිපාල මහතා අද දිනයේ දී දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළාට එතුමා ගිය සතියේදීම වැඩ ආරම්භ කළා.එතුමා දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයන් ඇතුළු අනෙකුත් අනුබද්ධ සංවිධානවල නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කැඳවා මූලික සාකච්ඡාවක් සිදුකළා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්නට තිලංග සුමතිපාල මහතාගේ මව හා පියා සුවිශේෂි කැපකිරීමක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තිලංග සුමතිපාල මහතාත් සුවිශේෂි වැඩ කොටසක් ඉටුකරනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය දැරීම වෙනුවෙන් තිලංග සුමතිපාල මහතාට ලේ උරුමයක් තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සුමතිපාල පවුල සිදුකර ඇති සේවාවත් අතිවිශාලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා-

අපේ රටේ වැදගත් වූ සෑම සන්ධිස්ථානයකදීම දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දායකත්වය උපරිමයෙන් ලබා දී තිබෙනවා.පක්ෂයේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීම සඳහා පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඉටු කිරීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කරනවා. ඒ අනුව පිහිටුවන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි සියලු දෙනා ගෞරවයෙන් පිළිගන්නවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි වැඩපිළිවෙළ ඉටුකිරීම, ජනතා අභිලාශ ඉටුකිරීම සඳහා මේ කොළඹ දිසා කාර්යාලය විවෘත කරනවා. මේ කාර්යාලය විවෘත කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන්මඟ ශක්තිමත් කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද මෙහි දී කතා කළේය

ඡායාරූප - නිරෝෂ් බටේපොළ


නව අදහස දක්වන්න