ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රාජ්‍යය කරමු | දිනමිණ

ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රාජ්‍යය කරමු

රක්ෂණ ශ්‍රියන්ත
ජාතික දින උළෙල ඊයේ (4) අභිමානවත් අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් පිළිගනු ලැබූ අයුරු.  ඡායාරූප - සුදත් මලවීර සහ සුදත් සිල්වා

ජාතික දින උළෙලේ දී ජනපති කියයි

හැත්තෑ එක්වෙනි ජාතික සැමරුමෙන් අපි අධිෂ්ඨාන කළ යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ශ්‍රී ලංකාව සුහුරු ආර්ථිකයක් වෙත ගෙනයාම සඳහා දුගීභාවය පිටුදකින, සියල්ලන් එකතු කරගත්තා වූ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බවත් දේශපාලනික අරාජික භාවය පිටුදැකීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නා වූ තුලන හා සංවරණ ක්‍රමයක් ද, ඡන්ද ක්‍රමයක් ද හඳුන්වා දිය යුතු බවත් ජනාධිපතිවරයා කීය.

2015 සිට පැහැදිලි ලෙස ම සම්පූර්ණයෙන් ම භීෂණය ඉවත් කර ජයග්‍රහණය කළ බවත් දූෂණය ඉවත්කිරීම කොතරම් දුරට සිදුවූවාද යන්න ගැටලුවක් බව කී ජනාධිපතිවරයා අවංක ශපාලනඥයන්ගේ හිඟයක් තමා දකින්නේ යැයි ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 71වන ජාතික දින උළෙල අමතමිනි. ගාලුමුවදොර පිටියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) මහත් අභිමානවත් අයුරින් ජාතික දින උත්සවය පැවැත්විණි.

මෙවර ජාතික දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා වූයේ මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිස් මහතා සහ එම ආර්යා ෆස්නා අහමඩ් මහත්මියයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය පාලනය සඳහා කුසලතා වාදය හඳුන්වාදීම අත්‍යවශ්‍ය දෙයක්. රටේ දුෂණය අක්‍රමිතතාව හා නාස්තිය සහමුලින් පිටුදැකීමට ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ සඳහා අපි සියලු දෙනා කැපවිය යුතුයි.

මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු මුල් බැසගත් කළු ආර්ථිකයට පණපොවන සියලු ජාවාරම් අප පරාජය කළ යුතුයි. රටේ අනාගතයේ හිමිකරුවන් වන තරුණ පරපුර නවොත්පාදනයට පොළඹවනු වස් ඒ සඳහා සානුබල සපයන පරිසරයක් ගොඩනැගීමෙහිලා තාක්ෂණික

අධ්‍යාපනය, ප්‍රාග්ධනය, යටිතල පහසුකම් ලබාදීම අපි වහ වහා කළ යුතුයි.

උගතුන් පිරි ජාතියක් බවට පත් කරන්න අපේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ කඩිනම්ව කළ යුතුයි. පෙබරවාරි 4 දා යනු නිදහස වෙනුවෙන් කැප වූ සහ දිවි පිදූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිතවල ආත්මීය ගුණ සුවඳ නැවත මතකයට නංවන දිනයයි. ඒ 1505 සිට 1948 දක්වාත්, ඒ වගේම වසර 30කට ආසන්න මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ සියලු රණවිරුවන් ද එම වීරයන් අතරට අයත් වන බවද ජනාධිපතිවරයා කියා සිටියේය‍.

අප හමුවේ ඇති අභියෝග අතර විදේශ බලපෑම් සහ අතපෙවීම්වලට ද මුහුණදීම ප්‍රධාන බවත් 1948ට පෙර තිබූ ආක්‍රමණශීලි විදේශ බලවේගවලට වඩා වෙනත් මුහුණුවරකින් ඒවා දැන් පැමිණ තිබේන්නේ යැයි ද පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් නිදහස් දිනය සැමරුම යනු අප රටට ලෝක දේශපාලන සිතියමේ නිදහස් ස්වෛරි සහ ස්වාධිපත්‍ය සහිත රාජ්‍යයක් ලෙස නැගී සිටීම සංකේතවත් කරන දිනය පමණක් ම නොවේ. එනම් නිදහස් දිනය සැමරීමේ මූලික අරමුණු අතරට රටේ නිදහස වෙනුවෙන් කැප වු වෙහෙස වූ දිවිපිදු ජාතික විරුවන් සහ යුද බිමේ දී දිවිපිදෙූ අතුරදන් වූ සහ අභීතව සටන් කළ යුද විරුවන් සිහි කිරීම ඔවුන්ට ජාතියේ කෘතවේදිත්වය සහ ගෞරවය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නා බවද කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතා නායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, විදේස් තානාපතිවරුන් ඇතුළු රාජතාන්ත්‍රිකයන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අදහස් 2ක් ඇත

namuth ane,,, agamathi thuma athe ekama agillakawath thaba muddakwath matanam penne naha , ekata,,, mage dasa anda welada bola?

නව අදහස දක්වන්න