ලොව දිගම ඩින්ගෝ වැට | දිනමිණ

ලොව දිගම ඩින්ගෝ වැට

කවිඳු වීරරත්න

සේනා දළඹු උවදුර මුළු රටටම පිළිලයක් බවට පත් වී තිබේ. බොහෝදෙනා විශ්වාස කරන්නේ මෙම පලිබෝධකයා වෙනත් රටක සිට මෙරටට පැමිණ ඇති බවයි. සත්ත්වයකු හෝ ශාකයක් සම්පූර්ණයෙන්ම ආගන්තුක පරිසරයකට හඳුන්වාදුන් අවස්ථාවක ඔවුන්ට එම පරිසරය යෝග්‍ය වූ විට ඔවුන් අසාමාන්‍ය ලෙස වර්ධනය වීම සිදුවෙයි.

සේනා දළඹු උවදුර හිටි හැටියේ මතුවී මෙතරම් ඉක්මනින් ව්‍යාප්තවන්නේ ඒ නිසා විය හැකියි. මෙවැනි පලිබෝධකයින් පිළිබඳව පුවත් විටින් විට අසන්නට ලැබෙන අතර ලංකාවට පමණක් නොව ලෝකයේ ඕනෑම රටකට විටින් විට මෙවැනි පලිබෝධක ආක්‍රමණ ඇතිවේ.

අද රසඳුන ‘අතැඹුල‘ විශේෂාංගය අප වෙන් කළේ ඕස්ට්‍රේලියාවේ ඇතිවුණු භෝගවලට හානි කළ හාවුන්ගේ තර්ජනයකට ඔවුන් සාර්ථකව මුහුණ දුන් ආකාරයත් ඒ සඳහා ඉදිකර ඇති ලොව දිගම වැට ලෙස සලකන ඩින්ගෝ වැට පිළිබඳව තොරතුරු ගෙන එන්නටයි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් ඕස්ට්‍රේලියාව සොයාගත් පසු ආහාර ලෙසින් භාවිතා කිරීම සඳහා හාවුන් යුරෝපයේ සිට රැගෙනවිත් තිබේ. එම හාවුන් ස්වල්ප දෙනා ඔවුනට අභියෝගයක් වන තරම විලෝපිකයින් නොමැති නිසා ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

මේ නිසා 1860 ගණන් වන විට හාවුන් මිලියන 600ක් පමණ මුළු ඕස්ට්‍රේලියාව පුරා පැතිරී එවකට පදිංචිකරුවන්ගේ සියලු භෝග වගාවන්ට හානි කරමින් ජීවත් වී තිබේ. මෙයට පිළියමක් ලෙස බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය (ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය) විසින් කිලෝමීටර් 2000ක් පමණ දිග වැටක් වසර 1907 වනවිට සාදා තිබුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ වගාබිම් හාවුන්ගෙන් බේරාගැනීමටයි.

හාවුන්ගේ පැමිණීම නැවැත්වීම සඳහා සාමාන්‍ය වැටකට වඩා ප්‍රබල පිළියමක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙත අවශ්‍ය වී තිබුණේ හාවුන්ගෙන් පමණක් නොව ඩින්ගෝ සතුන්ගෙන්ද ඔවුන්ට එල්ල වී තිබුණ බලපෑම් නිසායි. ඩින්ගෝ යනු කැලෑ සුනඛයන් වර්ගයක් වන අතර කාන්තාර සහ කැලෑ පෙදෙස්වල ප්‍රධාන විලෝපිකයා ලෙසින් පැතිරී තිබෙන මොවුන් ගොවීන්ගේ බැටළුවන් ඉතා විශාල වශයෙන් දඩයම් කිරීම නිසා ඩින්ගෝ සතුන්ගෙන් තම බැටළුවන් ආරක්ෂා කර ගැනීමටද වැටක් ඉදිකිරීමට අවශ්‍ය වී තිබේ.

මේ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය හා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් එක්ව එම ප්‍රාන්ත වල ඉදිකර තිබෙන හා වැටවල් කිහිපයක් උපයෝගී කරගෙන සැතපුම් 3437ක් එනම් කිලෝමීටර් 5531ක් දිගැති ලොව දිගම වැට ඉදි කර තිබේ. මෙමගින් මෙල්බන් හා සිඩ්නි ඇතුළු ඕස්ට්‍රේලියාව හොඳම භූමි ප්‍රමාණය ඩින්ගෝ සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හැකි වී තිබේ.

පොළවෙන් යටට අඩියක් හා පො‍ෙළාව මට්ටමෙන් උඩට අඩි 6ක් වන මෙම වැට ලී කණු හා කම්බි දැල් භාවිතා කරමින් නිර්මාණය කර තිබෙන අතර මෙහි සමහර ස්ථාන විදුලි වැටක් ලෙසින්ද ක්‍රියාත්මක වෙයි. රාත්‍රී කාලයට රතු හා සුදු ලාම්පු මඟින් ආලෝකමත් වන මෙහි මුර සංචාරයේ යෙදීම සඳහා පූර්ණ කාලීන සේවකයන් 23 දෙනකු සේවය කරන අතර වාර්ෂිකව රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් මෙහි නඩත්තුව සඳහා වැය වෙයි.

මෙය සියයට සියයක්ම සාර්ථක නොවන්නේ සමහර සතුන් විසින් වැටට හානි කර තිබෙන ස්ථාන වලින් ඩින්ගෝ සතුන් පැමිණෙන නිසයි. නමුත් මෙම වැට නිසා පෙරට වඩා විශාල ලෙසින් බැටළු ගොවිපළවල් ආරක්ෂා වී තිබේ. ඕස්ට්‍රේලියාව තුළ දඩාවතේ යන පූසන්ද මහත් හිසරදයක් බවට පත් වී තිබෙන්නේ ඔවුන් ආවේණික සතුන්ව ගොදුරු කරගන්නා නිසායි.

මීට අමතරව අතීතයේ ඕස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් විසින් රැගෙන ආ තවත් ආක්‍රමණික සත්ත්ව විශේෂයක් ලෙසින් ඔටුවන්වද හැඳින්වෙන අතර ලොව විශාලම ඔටු රංචුව ජීවත් වන්නේද මෙම ඩින්ගෝ වැටට එහායින් තිබෙන විශාල කාන්තාර ප්‍රදේශය තුළයි. 

නව අදහස දක්වන්න