ජාතික නිදහස! | දිනමිණ

ජාතික නිදහස!

හැත්තෑ එක්වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබේ. දසක හතක් යනු සැලකිය යුතු කාලයකි. මේ කාලවකවානුව තුළ අප ලැබූ ජයග්‍රහණ කවරේ ද? පරාජයන් කවරේදැ’යි ස්වයං විචාරයක නිරතවීමට සුදුසු ම අවස්ථාව පැමිණ ඇතැ’යි කිව හැකි ය. මේ සඳහා කිසියම් නියැදියක් තෝරාගන්නේ නම්; යටත්විජිතවාදයෙන් බැට කෑ අනෙකුත් ආසියානු රටවල් හා අපේ රටේ තත්ත්වය සාපේක්ෂ විමර්ශනයකට නතු කිරීම වැදගත් ය. ඉන්දියාවට, මැලේසියාවට, සිංගප්පූරුවට, වියට්නාමයට මෙන් ශීඝ්‍ර වෘද්ධියක් සහිත ආර්ථිකයක් අපට නැත. බෲනයි රාජ්‍යය පවා පසුවන්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ය.

ශක්තිමත් ආර්ථිකයක්, උසස් දේශපාලන සංස්කෘතියක් හා රට එක අරමුණක තබන ජාතික ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් වූ කතිකාව පවතින්නේ සැලැකිය යුතු කාලයට සිට ය. එහෙත් ඒවා සංවාදයට පමණක් සීමාවී ඇත. හැදුණු ජාතික ප්‍රතිපත්තියක් නැත. ලබා ඇති ආර්ථික ජයග්‍රහණයක් ද නැත. එහෙත් ශ්‍රී ලංකාව පවතින්නේ ආසියාවේ හොඳ ම සංචාරක ගමනාන්තය හැටියට ය. එය ලෝක මට්ටමේ සමීක්ෂණයකින් අපට ලැබුණු දායාදයකි. මේ කීර්තිනාමයෙන් නිසි ප්‍රයෝජනය ලබන්නේ නම්; ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයකට එම තත්ත්වය පමණක් වුව යොදාගත හැකි ය. නිදසුනක් ගතහොත් “ඩුබායි” ප්‍රාන්තය සැලකිල්ලට ගත හැකි ය. අමෙරිකන් ව්‍යාපාරිකයෝ පවා නිවාඩුවක් ගත කිරීමට ඩුබායිවලට එති.

නිදහස යන්නෙහි ජනප්‍රිය අර්ථය වන්නේ වහල්භාවයෙන් මිදීම යන්න ය. එය තවදුරටත් සරලව දක්වතොත්; දාසභාවයෙන් මිදීම නිදහස යැයි කිව හැකි ය. මෙහිලා චින්තනය වඩාත් වැදගත් වෙයි. නිදහස්ව සිතන්නට මත දරන්නට හා සැලැසුම් ඇති කරන්නට හැකියාවක් අපට තිබිය යුතු ය. ඉන්දියාවේ බුද්ධිමතුන් පෙන්වාදෙන ආකාරයට ඉංග්‍රීසිකාරයා ඒ රටේ ජාතික ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව ශීඝ්‍රයෙන් පල්ලම් බැස්සුවේ ය. එලෙස ම ඉන්දියාවේ සම්පත් ශීඝ්‍රයෙන් සූරාකෑවේ ය. ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසුවීමට පෙර ලෝක ආර්ථිකයට දැක්වූ දායකත්වය යටත්විජිතවාදය නිසා දුර්වල වූ බව ඉහත බුද්ධිමත්හු තර්කානුකූලව පෙන්වාදෙති. එහෙත් නිදහසින් දසක හතකට පසු ඉන්දියාව යළිත් බලවත් වී ඇත.

අසල්වැසි ඉන්දියාව පසුවන්නේ අභ්‍යවකාශ තරණය සහිත රාජ්‍යයක් හැටියට ය. අමෙරිකාව, රුසියාව හා චීනය අභ්‍යවකාශ තරණයට එක් වූ අනෙක් රටවල් ය. ලෝක බලවතුන් ලෙස ද එම රටවල් හැඳින්විය හැකි ය. වර්තමානයේ හොඳම ආර්ථික කලාපය බවට පත්ව ඇත්තේ ආසියානු මහාද්වීපයයි. චීනය හා ඉන්දියාව මේ කලාපයේ බලවතුන් ය. තවත් දසකයක් ගෙවී යනවිට චීන ආර්ථිකය පැරදවීමේ හැකියාව ඉන්දියාව ලබාගනු ඇතැ’යි පුරෝකථනය වී ඇත. ඉන්දියාවේ වේගවත් ගමන තුළ ඇති රහස අප ද ‍ෙසායාගත යුතු ය. එය අපේ දියුණුවේ අඩිතාලම ලෙස යොදාගත හැකි ය. ඉන්දියානු රහසේ ප්‍රධාන කරුණු දෙකක් ඇත. එක; ඉන්දියානු උරුමය අමතක නො කිරීම ය. දෙක; ජාතියක් ලෙස සාමුහිකව ක්‍රියාකිරීම ය.

යුරෝපා ඉතිහාසය පිරික්සන විට පෙනීයන්නේ පහළොස් වන සියවසේ සිටම යුරෝපා ජාතිකයන් ලෝකයේ සෙසු ප්‍රදේශ ආක්‍රමණය කරන්නටත්; එම ප්‍රදේශවල සම්පත් කොල්ල කන්නටත් පටන්ගත් බව ය. මේ සඳහා යොදාගත් ජනප්‍රිය සාධක වූයේ නාවුක ගමන්, වෙළෙඳාම, ආගම හා අධ්‍යාපනය යි. මීට ගොදුරු වූ කලාප ලෙස සැලැකිය හැක්කේ ආසියාව, අප්‍රිකාව හා ලතින් අමෙරිකාවයි. පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය, එංගලන්තය හා ප්‍රංශය අධිරාජ්‍යවාදයේ තරගකරුවෝ ය. එදා මේ තර‍ගයෙන් ජය ලබාගත්තේ නාවුක ශක්තියෙන්, යුද බලයෙන් හා උපක්‍රමික ක්‍රියා කලාපයෙන් පොහොසත් බ්‍රිතාන්‍ය ජාතිකයා ය. අපේ ස්වදේශික ආර්ථිකය හා ස්වදේශික චින්තනය විකෘති කළේ ද බ්‍රිතාන්‍ය පාලනය බව කිව යුතු ය. එහෙත් බටහිරට කත් අදින සමහරු මේ අදහස ප්‍රතික්ෂේප කරති.

දැන් අපට බලපාන බ්‍රිතාන්‍ය පාලනයක් නැත. එහෙත් ඒ වෙනුවට වෙනත් බලපෑම් අප හමුවේ පවතී. ගෝලීයකරණය එක සාධකයකි. නව යටත්විජිතවාදය තව සාධකයකි. බටහිර බලවත් රටවල බලපෑම් තවත් සාධකයකි. ලෝක දේශපාලනය විග්‍රහ කරන බුද්ධිමතකු වන නොම් චොම්ස්කි මහතා ගෝලීයකරණය හා නව යටත්විජිතවාදය විග්‍රහ කරමින්; එය වෙන කිසිවක් නොව; අමෙරිකන් ව්‍යාප්තවාදය යැයි පෙන්වා දෙයි. මේ විග්‍රහ හා විචාර සාමාන්‍ය ජනතාවට බර වැඩිවන්නේ වුව එය වටහාගැනීමට වෑයම් කිරීම වැදගත් වෙයි. අපට යා හැකි මාර්ගය තෝරා බේරාගත හැක්කේ මේවා අතරින් නිසා ය. බටහිර ජාතීන් අපට කුමක් කරන්නදැ’යි ප්‍රශ්න කරන තැනකට ඉන්දියානු බුද්ධිමතුන් අද පෙළගැසී ඇත. අපට ද එවැන්නක් ඇති කර ගැනීම වැදගත් ය.

ජාතියක් ලෙස නැඟී සිටිය හැකි ක්‍රමවේද හා සැලැසුම් ඇති කරන දිනයක් හැටියට ජාතික නිදහස් දිනය නම් කළ යුතුව තිබේ. සාමය හා සාමුහිකත්වය එහිදී පෙරමුණ ගනු ලැබේ. ශ්‍රී ලංකාව බහුජාතික, බහු ආගමික හා බහු සංස්කෘතික රාජ්‍යයකි. මෙබඳු රාජ්‍යයක ප්‍රතිපත්ති හා සැලැසුම් ඇති කළ යුත්තේ ජාතීන් එකතු කරන පිළිවෙළට මිස ඔවුන් වෙන් කරන පිළිවෙළකට නො වේ. 1940 ගණන්වල නිදහස් අරගලයට ප්‍රධාන ජාතීන් තුනෙහි ම නායකයෝ සහභාගී වූහ. අරගලය ක්‍රියාත්මක වූයේ ජාතීන් තුනෙහිම සාමුහික ප්‍රයත්නයක් හැටියට ය. එය රුධිරය ගලන විප්ලයක් නොවූවද ජාතියේ චින්තනය වෙනස් කළ අරගලයක් විය. එහෙත් මේ සාමුහිකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකිවීම අපේ බලවත් පරාජයකි.

මේ වනවිට රට ඉදිරියෙහි බලවත් අභියෝග කිහිපයක් පවතී. ඉන් ප්‍රධාන අභියෝගය වන්නේ ආර්ථික අභියෝගය ජයග්‍රහණය කිරීම ය. ආර්ථිකය දුර්වල නම්, කිසිදු නිදහසක් ස්ථාවර වන්නේ නැත. අපට පසුව අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූ රටවල් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබූවද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් එක තැන පල්වන්නේ යැයි චෝදනාවක් තිබේ. එය අසත්‍යයක් නො වේ. එහෙත් ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකි සියලු සම්පත් අප සතු බව ද ඒ සමඟ කියැවේ. එසේ නම්; අවශ්‍ය වන්නේ සාර්ථක සැලැසුම් හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම යැයි පෙන්වාදිය හැකි ය. පසුබිම ගැන කතා කළහොත්; එහි හැමවිට ම පාහේ දක්නට ලැබෙන්නේ විභේදන ය. අප ජාතියක් වශයෙන් සාමුහිකව සිතන්නට මතන්නට පටන්ගන්නේ කවදාද? එදිනට අපේ ජාතික නිදහස අර්ථවත් වනු ඇත.


නව අදහස දක්වන්න