රට වෙනුවෙන් වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් | දිනමිණ

රට වෙනුවෙන් වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක්

අපේ හාමුදුරුවනේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳව කතාන්දරය දැන් අවුරුදු හතරක් තිස්සේ මේ රටේ ජනතාවගේ මනස අවුල් කරන දෙයක් ලෙසයි මා දකින්නේ.අවුරුදු හතරක් කතා කරපු දෙය මැතිවරණ පවත්වන්න තිබෙන, ආණ්ඩු පත් කරන්න තිබෙන අවුරුද්දක කළ හැකියි කියා මා විස්වාස කරන්නෙ නැහැ

තම පැවැත්ම සඳහා විදේශීය බලපෑම් සහ අත පෙවීම් වල ශක්තිය කවුරුන් හෝ පාවිච්චි කරනවා නම් එය රටේ ස්වාධීනත්වයට සහ පැවැත්මට කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදා(31) පස්වරුවේ හොරණ, රයිගම්පුර, ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජමහා විහාරයේ අභිනව උපෝසථාගාරය සඟ සතුකොට පූජා කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

එම විහාරාධිපති උඩුවේ හේමාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ මෙහෙයවීමෙන් ඉතාලියේ මිලානෝහි පදිංචි ඇන්තනී පෙරේරා මහතා මෙය ඉදි කැර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මේ උතුම් කටයුත්තට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත්වනවා. නව ගොඩනැගිලි ශිල්පයේ දක්ෂතාවයන් පෙන්නුම් කරමින් ඉතාමත්ම අලංකාර උපෝසථාගාරයක්, ආකර්ශණීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මෙම ස්ථානයේ අද තිබෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ ගොඩනැගිල්ල සහ අනෙකුත් කටයුතු කිරීමට මූලිකත්වය ගත් දානපතියන් දෙනාටම මාගේ ස්තුතිය පිරිනමනවා.

අපේ රටේ ඉතිහාසය කියවන විට බෞද්ධ ඉතිහාසය පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා. රාජමහා විහාර අපේ පෙර රජ දවස සිට පැවත එන උතුම් පූජනීය ස්ථාන බව සෑම දෙනාම දන්නවා. ගමේ පන්සල ශක්තිමත් කිරීම, වර්ණවත් කිරීම පෝෂණය කිරීම ආරක්ෂා කරමින් සුරක්ෂි කිරීම අප කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. ථෙරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව ලෝකයට දෙන ආදර්ශය තුළ බෞද්ධ ප්‍රතිපත්තීන් පිළිපදින රටක් විය යුතු බව අප කවුරුත් දන්නා වූ දෙයක්. නමුත් විවිධ සංස්කෘතීන්, විවිධ ආර්ථික ක්‍රම නිසා අපේ බෞද්ධ දර්ශනයට, ප්‍රතිපත්තීන් වලට, හැඳියාවන්ට වර්තමානයේ නව අභියෝග එල්ල වී තිබෙනවා. එම අභියෝගයන්ට වඩාත් ශක්තිමත් පිළිතුර වන්නේ බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමයි.

රජයේ ප්‍රතිපත්තිය තුළ බෞද්ධ පූජනීය ස්ථාන, පූජා භූමි, නටඹුන්, කෞතුක වස්තු ආරක්ෂා කිරීමට බැදී සිටිනවා. එය අපේ වගකීමක් සහ යුත්කමක් ලෙස ද සලකනවා.

අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන්ගේ අනුශාසනාවේදීත් සඳහන් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරක් දීම අවශ්‍යයි කියා මා සිතනවා. අපේ හාමුදුරුවනේ අලුත් ව්‍යවස්ථාවක් හැදීම පිළිබඳව කතාන්දරය දැන් අවුරුදු හතරක් තිස්සේ මේ රටේ ජනතාවගේ මනස අවුල් කරන දෙයක් ලෙසයි මා දකින්නේ. අවුරුදු හතරක් කතා කරපු දෙය මැතිවරණ පවත්වන්න තිබෙන, ආණ්ඩු පත් කරන්න තිබෙන අවුරුද්දක කළ හැකියි කියා මා විස්වාස කරන්නෙ නැහැ. මේ කියන ආකාරයේ ව්‍යවස්ථාවක් මා දැකලත් නැහැ. මගේ අතට පත් වෙලත් නැහැ. එය කොයි ආකාරයේද කියා මා දැනුවත් වී නැහැ. පාර්ලිමේන්තුවේ කමිටු පත්කර ඒ පිළිබඳව කටයුතු සිදු වී තිබෙනවා. පසුගිය දිනවල අප දැක්කා ඒ පිළිබඳව විවිධ වාර්තා ඉදිරිපත් කරන අන්දම. නව ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කිරීම මා දකින්නේ එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමක් ලෙසයි. තවත් පැත්තකින් උතුරේ ජනතාව රැවටීමයි.

ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීමේදී ඇතිවෙලා තිබෙන තත්ත්වයන් අනුව ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම්, එයට ප්‍රමුඛත්වය දිය යුත්තේ රට ආණ්ඩු කරන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කියා මා විශ්වාස කරනවා. එවැනි කටයුත්තකට මාගේ සහයෝගය තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහක මන්ත්‍රී නියෝජනයේ ව්‍යුහාත්මක තත්ත්වය අප දකිනවා. කිසි කෙනකුට බලයක් නැති කාටවත් ආණ්ඩුවක් කරන්න බැරි බහුතරයක් නැති ආණ්ඩු මේ රටේ පවතිනවා. මේ තත්ත්වය ඉදිරියටත් පැවැතිය හැකියි. පාර්ලිමේන්තුවේ පවතින අවුල් සහගත තත්ත්වයේ අනිසි ප්‍රතිඵලය වන්නේ රටේ අනාගතය සඳහා තීන්දු, තීරණ ගන්න නායකයන්ට නොහැකි වීමයි. කවුරුන් හෝ ආණ්ඩු කරන අයට තමන්ගේ බලය පවත්වාගෙන යෑම සහ ශක්තිමක් කර ගැනීම සඳහා සුළු පක්ෂ ඉල්ලන විවිධ ඉල්ලීම් ලබා දීමට සිදු වෙනවා. මේ තත්ත්වය අපේ රටට සුදුසු දෙයක් නොවේ. 1505 සිට 1948 දක්වා අපේ රටට තිබූ විදේශිය ආක්‍රමන, අන්තර් ජාතක බලපෑම් වලින් පසුව මේ අවුරුද්දක දෙකක කාලය තුළ එදාටත් වඩා නව උපක්‍රම භාවිත කරමින් දැඩි විදේශීය බලපෑම් සහ අත පෙවීම් මේ රටට සිදුවන බව මා දකිනවා. රටට සිදුවන අවශ්‍ය අනවශ්‍ය විදේශීය දේශපාලන බලපෑම් අතපෙවීම් මා ගන්නා යම් යම් තීන්දු වලට මුල්වෙනවා. අප නිදහස් රටක් ලෙස, ස්වාධීන රටක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය රකින රටක් ලෙස කටයුතු කරන විට රටට අනවශ්‍ය විදේශීය බලපෑම් අනවශ්‍ය අත පෙවීම් තර්ජනයන් කිසිසේත්ම සුදුසු නැහැ. එය මේ රටේ සියලු දෙනාම පිළිගන්නවා. නමුත් ආණ්ඩු බලය පවත්වාගෙන යෑමට තම තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්න විදේශීය සංවිධානවල, විදේශීය බලපෑම්වල අත පෙවීම් වල ශක්තිය කවුරුන් හෝ පාවිච්චි කරනවා නම් එය මේ රටේ ස්වාධීනත්වයට සහ රටේ පැවැත්මට කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. ඒ නිසා රට වෙනුවෙන් සිතා අද ජීවත්වන සහ හෙට උපදින දරුවන් පිළිබඳව සිතා හොඳ රටක් හදන්න කටයුතු කිරීමට රටේ උගතුන්, බුද්ධිමතුන් දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලු දේශපාලන නායකයින්ට වගකීමක් තිබෙනවා. හොඳ රටක් හදන්න ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස මා දකින්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනස විනා ඉන් එහා වෙනසක් නොවන බව මගේ පෞද්ගලික අදහසයි.

මේ අවුරුද්දේ අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණ තියන්න ඕනේ. අවුරුද්ද අවසානයේ අනිවාර්යයෙන් ජනාධිපති ඡන්දයක් තියන්න ඕනේ. මහා මැතිවරණයක් එන්නත් බැරි නැහැ. කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් තුළ රටට යහපතක් විය යුතුයි. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ සංහිඳියාව සහ ජාතික සමගිය ඇති කරන සියලු දෙනා අතරේ සැකය බිය අවිශ්වාසය තුරන් කරන දේශපාලන ක්‍රමයක් සහ සමාජ වටපිටාවක් ගොඩනැගීම ඉතාමත් අවශ්‍යයි. ධර්මයෙන් ජීවත් වන්නා සෑම විටම ධර්මය විසින් ආක්ෂා කරනවා කියන බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයද සිහිපත් කරනවා.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහ නාහිමි වරකාගොඩ ඥාණරතන මහ නාහිමි- මාතලේ අලුවිහාරයේදී බුද්ධ ශාසනයේ ඉතා වැදගත් කර්තව්‍යයක් ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය දා සිදු වුණා. වර්තමානයේ අපේ රටේ රජතුමා ලෙස සැළකෙන ජනාධිපතිතුමාගෙන් මෙවැනි කාර්යයන් ඉටුවීම ඓතිහාසක කාර්යයක්.ජනාධිපතිතුමා මේ රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳව සොයා බලමින් කටයුතු කරන බවත් අපට පෙනෙනවා. මත්කුඩු ජාවාරමට එරෙහිව කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් කරන කාර්යයන් අප බොහෝ අගය කරනවා.

ව්‍යවස්ථාවකට මුල් තැන දීම මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. කලකෝලාහල ඇතිවන වාද බේද ඇතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මොහොතකට නවතා රටේ ජනතා ගැටලු විසදීමට මුල් තැන දෙමින් මැතිවරණයක් පවත්වා ජනතාවගේ අපේක්ෂා සපළ කළ යුතුයි.

මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි මහනාහිමි- මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක්. ජනාධිපතිතුමන් සිදු කළ මේ සත්කාරය ඉතා උතුම් කාර්යයක්. රටේ මතු පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් ගන්නා ලද විවිධ තීන්දු තීරණ පිළිබඳව අපේ මහ නාහිමියන් වහන්සේ සඳහන් කළා. ජනාධිපතිතුමා රාජ්‍ය තන්ත්‍රයෙහි අතිකරන නව නැම්ම අපගේ බලවත් ප්‍රසාදයට හේතු වනවා. එය දූරදර්ශී මහජනතාවගේ අගය කිරීමට හේතුවන බව මෙහිදී සඳහන් කිරීමට කැමැතියි.

නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, ඇමැති දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි මලික් ජයතිලක ,බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සමඟ විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

උපාලි කරුණාරත්න සහහොරණ සමූහ
ඡායාරූප- ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න