මැතිවරණ වසර! | දිනමිණ

මැතිවරණ වසර!

මැතිවරණ පිළිබඳ අපේක්ෂාවක් පැවැතියේ නම්; එය ඉටුවන ලකුණු මේ වනවිටත් දැකගන්නට ලැබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන් ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද දක්වන අදහස්වලින් ඉහත තත්ත්වය තවදුරටත් සනාථ වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ මේ වසර මැතිවරණ වසරක් හැටියටය. අගමැතිවරයා සිය පක්ෂයේ සංවිධායකවරුන් වෙත දන්වා ඇත්තේ වහාම මැතිවරණයකට සූදානම් විය යුතුය යන්නය. කොමිසමේ සභාපතිවරයා නිශ්චිත දින වකවානු පෙන්වා දෙමින් ඊට පෙර මැතිවරණ පැවැත්විය නොහැකි නම්; සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා ඇත. මේ සියලු සාධකවලින් පෙනීයන්නේ මැතිවරණයක් අත ළඟ බවය.

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහිදී රාජ්‍ය පාලනය සඳහා නියෝජිතයන් පත්කිරීමේ බලය මහජනතාවට ලැබේ. එය බලයක් නොව; ජනතාවගේ මූලික අයිතියක් සේ ගැනීම වඩා නිවැරැදිය. ඒකාධිපති පාලනයක් තුළදී ජනතාවට එම අයිතිය ලැබෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වුව මහජනයාගේ දැඩි විවේචනය හා විරෝධතා මැද රාජ්‍ය බලය අත්නොහැර සිටින්නේ නම්; එහි ඇත්තේ ඒකාධිපතිවාදය යැයි කියන්නට පුළුවන. ආණ්ඩුවකට මැතිවරණ පැවැත්වීම ඔස්සේ මහජනයාගේ විශ්වාසය ගොඩනඟා ගත හැකිය. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ජනතාව ඉතා ඉක්මනින් මැතිවරණ අපේක්ෂා කරති. එහෙත් මැතිවරණ ලබාදිය හැක්කේ රටේ නීතියට, ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුවය.

මැතිවරණ සිතියම දෙස එබී බලන විට පෙනීයන්නේ මැතිවරණ තුනක් එක පෙළට ඇති බවය. පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය, මහ මැතිවරණය ලෙස එය දැක්විය හැකිය. මෙයින් කුමන මැතිවරණයක් පළමුව පවත්වන්නේද යන්න බලධාරීන් තීන්දු කළ යුතුව තිබේ. පළමුව පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු යැයි සමහරු තර්ක කරති. ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වීම වඩාත් සුදුසු ක්‍රමය ලෙස තව සමහරු පෙන්වා දෙති. සියල්ලට පළමුව ශක්තිමත් ආණ්ඩුවක් පැවැතිය යුතු නිසා මහ මැතිවරණයක් පළමුව පැවැත්වීම උචිතයැයි තවත් සමහරු කියා සිටිති. සෑම මතයකට ම අදාළ සාධාරණ හේතු - සාධක තිබේ. මේ අතරින් වඩාත් කාලෝචිත හා ප්‍රායෝගික තීරණයක් ගැනීම වැදගත්ය .

පළාත් සභා ක්‍රමය පමණක් නොව; බලය බෙදීම පවා අනුමත නොකරන පිරිස් සිටිති. එහෙත් පළාත් සභා ක්‍රමය අපේ දේශපාලනයට ද සමාජ ක්‍රමයටද ජීර්ණය වී අවසන් යැයි කිව හැකිය. පළාතක සංවර්ධනය, සමාජ ඒකාබද්ධතාව හා දේශපාලනය තීන්දු කරන රාමුව ලෙස පළාත් සභාව පවතී. එය අක්‍රීය නම්; සමාජය නිසි ඉලක්ක කරා ගමන් කරන්නේ නැතැ’යි කිව හැකිය. පළාත් සභා පහක නිල කාලය අවසන් වී ඇත. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් මාසයෙන් අවසන් වේ.

මැතිවරණ කල්යෑමට හේතුව ලෙස දක්වා ඇත්තේ සීමා නිර්ණය පිළිබඳ ගැටලුව නිරාකරණය නොවීම යැයි කිව හැකිය. ඊට උත්තරයක් ලෙස ලැබෙන්නේ පරණ ක්‍රමයට මැතිවරණය පවත්වමු යන්නය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා එහි මනාප ක්‍රමය සංවාදයට ලක්වන්නේ සැලැකිය යුතු කාලයක සිටය. ඡන්ද කොට්ඨාස වෙන් කිරීම පිළිබඳ ගැටලුව සාකච්ඡා වන්නේ ද සැලැකිය යුතු කාලයක සිටය. මේ හැරෙන්නට සුළු ජාතීන් නියෝජනය කරන ඡන්ද කොට්ඨාස පිළිබඳ සංවාදයක්ද පවතී. මේවාට නිශ්චිත විසැඳුම් ලැබී නැති අතර එකිනෙක දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන් ඒ සම්බන්ධයෙන් විවිධ මත දරන බවද පෙනෙන්නට තිබේ. මූලික ගැටලුව වී ඇත්තේ එකඟතාවක් ඇති කිරීමට පවතින බාධාවන්ය. ඇතැම් දේශපාලන පක්ෂ හා නායකයන් තම පක්ෂය හා පක්ෂයේ වාසිය ගැන පමණක් අවධානය යොමු කරන බවද පෙනෙයි. මේ පසුබිම තුළ ප්‍රශ්නය තවදුරටත් සංකීර්ණ වනු මිස නිරාකරණයක් කරා ගමන් කරන බවක් පෙනෙන්නට නැත. තත්ත්වය එසේ වුව මැතිවරණ පැවැත්විය යුතුව තිබේ.

රජයේ පැත්තෙන් මීට ලබාදීමට නියමිත විසැඳුම ලෙස අපට දැනගන්නට ලැබි ඇත්තේ පළාත් සභා සියල්ලෙහිම ඡන්දය එකවර පැවැත්වීමට තීරණයක් ගෙන ඇති බව ය. පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ එක ම කාලවකවානුවක පැවැත්විය හැකි බවට තර්කයක් ද ඉදිරිපත් වී ඇත. මේ ක්‍රමය වඩාත් සුදුසු බව පෙනී යයි. කඩින් - කඩ මැතිවරණ පැවැත්වීමට විශාල වියදමක් වැය වන අතර කාලය අපතේ යැවීමක් ලෙස ද සැලැකිය හැකිය. මැතිවරණ පවත්වන කාලසීමාව රටේ ආර්ථික ක්‍රියාදාමයට හා ජන ජීවිතයට යම් බලපෑමක් ද එල්ල කරන බැවින් මේ මැතිවරණ එකම දිනයක දී පැවැත්වීම වඩාත් කාලෝචිත බව පෙනී යයි. පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ එකවර පැවැත්වීම වඩාත් සුදුසු වන අනෙක් කාරණය වන්නේ, ප්‍රාදේශීය හා පළාත් පාලන දේශපාලනය, සමගාමී ක්ෂේත්‍රවල පවතින නිසාය.

මේ අතර දේශපාලන සංවාදයට එක් වී ඇති තවත් මාතෘකා දෙකක් තිබේ. පළමුවන්න යළිත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවයි. දෙවන්න නව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ යෝජනාවයි. මේ යෝජනා දෙක ද වැදගත් ය. රටට ගැළපෙන හා අවශ්‍ය ව්‍යවස්ථාවක් නැතිකම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ අවුල් ඇති වූ බව පැහැදිලි ය. ව්‍යවස්ථාව යනු රටක ඇති මූලික නීති රාමුව බැවින් එය පළමුව සකස් කර ගැනීම වැදගත් ය. ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් තිබීම ද වැදගත්ය. ජාතික ආණ්ඩුවක් තනි ආණ්ඩුවකට වඩා ශක්තිමත් යැයි කිව හැකි ය. දුර්වල ආණ්ඩු පවතින විට දේශපාලන හා ආර්ථික තීන්දු ගැනීම අපහසුය. අසීරු තීන්දු -තීරණ නොගෙන ව්‍යවස්ථාවක් වෙනස් කිරීම අපහසු ය. පසුගිය කාලය පුරාවට ම එය සනාථ වී තිබේ.

ගෙවී ගිය කාලය තුළ පළ වූ මහජන අදහස්වලින් ද සිවිල් සංවිධානවල මත දැක්වීම්වලින් ද පැහැදිලි වන්නේ මැතිවරණ පිළිබඳ අපේක්ෂාවක් පොදු සමාජය තුළ ඇති බව ය. මැතිවරණ ඉල්ලමින් උද්ඝෝෂණ කළ අවස්ථා කිහිපයක් ද අපට දැකගන්නට ලැබිණි. සමාජ සංස්ථාව දෙස බලන විට පෙනී යන්නේ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් වී ඇති බව ය. මැතිවරණ කොමිසම දන්වා සිටින ආකාරයට රජය දන්වා සිටින ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වීමේ හැකියාව පවතී. තත්ත්වය එය නම් දැන් කළ යුත්තේ පළමුව පැවැත්විය යුතු මැතිවරණය කුමක් ද යන්න මැතිවරණ කොමිසමට දැන්වීම ය. මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති බව පෙනෙන්නට නැත. ඒ අනුව පළමුව කළ යුත්තේ දේශපාලන පක්ෂවල නායකයන් රැස් වී එකඟතාවක් ඇතිකර ගැනීම ය.

ජනතාවගේ පැත්තෙන් බලන විට ඔවුන් කැමැති ආණ්ඩුවක් ද ඔවුන් කැමැති නියෝජිතයන් ද පත්කර ගැනීමේ අවස්ථාව තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන්නේ එවිටය.


නව අදහස දක්වන්න