සැහැල්ලු දුම්රියෙන් සැහැල්ලුවෙන් යන්න | දිනමිණ

සැහැල්ලු දුම්රියෙන් සැහැල්ලුවෙන් යන්න

ජයසිරි මුණසිංහ

මේ දුම්රිය සේවාව සෑම දිනකම අලුයම 4.30 ට අන්ත දෙකෙන්ම ඇරඹේ. කාර්යබහුල ලෙස සැලකෙන උදෑසන 7 – 9 සවස 4 – 7 ත් අතර සෑම විනාඩි තුනකටම වරක් දුම්රිය ධාවනයට ඉඩ සලසාදීමට සූදානම්ය.

මාලඹේ සිට කොළඹට උඩින් එන සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට ජපාන රජය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.85 මුදලක් ලබාදීමේ ගිවිසුමට මේ මාසයේ මැද වනවිට අත්සන් තැබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නාවික කොමදෝරු චමින්ද ආරියදාස මහතා ප්‍රකාශ කළේය.

මාලඹේ සිට කොළඹට පැය භාගයෙන් පැමිණීමට හැකිවන පරිදි ඉදිකිරීමට යෝජිත මේ සැහැල්ලු දුම්රිය ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 16 කි. සම්පූර්ණයෙන්ම වායුසමනය කළ සුවපහසු දුම්රිය මැදිරි හා පරිසර හිතකාමී හා ආරක්ෂිත දුම්රිය ගමනාන්තයක අත්දැකීම් විඳ ගන්නට මෙමඟින් මගී ජනතාවට අවස්ථාව උදාවන බවද චමින්ද ආරියදාස මහතා කීය.

ජාත්‍යන්තර සහයෝගිතාවය පිළිබඳ ජපාන නියෝජිතායතනය (ජයිකා) විසින් මේ ඩොලර් බිලියන 1.85 මුදල අප රටට ලබාදීමට තීරණය ‍ෙකාට අවසන්ය. එය ලබාගැනීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉකුත්දා හිමිවිය. ඒ අනුව විෂය භාර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, බස්නාහිර පළාත් හා මහනගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ ණය මුදල ලබාගැනීමේ ගිවිසුමට මේ මාසය මැද අත්සන් තැබේ.

මේ ඩොලර් බිලියන 1.85 ක මුදල වාරික හයක් යටතේ අප රටට ලබාදීමට ජපානය එකඟතාවය පළකොට ඇත. ඒ අනුව පළමු වාරිකය වන ඩොලර් මිලියන 260 ප්‍රමාණයක් ඉක්මනින්ම හිමි වේ.

මේ මුදල ලබාගෙන ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කොට ව්‍යාපෘතිය ඉදිකිරීම් භාරදීමට සුදුසු ඉදිරි කටයුතු වහාම ආරම්භ කරන බවද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ලැබෙන මේ ජපාන ණය මුදල ආපසු ගෙවීමට වසර 40 ක කාලයක් ලබාදී ඇත. ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කළ යුත්තේ එය මෙරටට ලැබී වසර 12 ක් ගත වූ පසුවීමද වාසියකි.

වසර 2020 දී ඉදිකිරීම් ආරම්භ වී වසර 2024 වනවිට මගී ජනතාවට මේ දුම්රිය මාර්ගයේ ගමන් කළ හැකිවනු ඇත.

මේ සැහැල්ලු දුම්රිය ගමන් ආරම්භ කරන්නේ මාලඹේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාවතේ සීනෙත් ආයතනය සමීපයෙනි. සැහැල්ලු දුම්රිය සඳහා ඉදිකැරෙන ද්විත්ව මාර්ගය, දුම්රිය නැවතුම්, නඩත්තු ඒකකය, පුහුණු මධ්‍යස්ථානය පවා කුලුනු මත ඉදිකැරේ. ඒ භූමිය ඉතිරි කරගැනීම සඳහායි. මේ දුම්රිය අංගණය හෙක්ටයාර් 30 ක කුඹුරු ප්‍රදේශයක ඉදිකැරේ. ප්‍රදේශයේ ජල ගැල්මකට ඉඩක් නොතබමින් මෙය ඉදිකිරීමට සැලසුම්කොට ඇත.

ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිසෙන සැහැල්ලු දුම්රිය කොටා පාර අසලදී බහුකාර්ය ප්‍රවාහන හුවමාරුවේ නතර වේ. එහි ඊළඟ නැවතුම බොරැල්ලයි. දුම්රිය බොරැල්ලෙන් ගමන් අරඹා වෝඩ් පෙදෙස හරහා ජාතික රෝහල පසුකර ඉබ්බන්වල හන්දියෙන් ඩාර්ලි පාර ඔස්සේ පැමිණ ඩී. ආර්. වි‍ජයවර්ධන මාවතට එක්වේ.

අනතුරුව මරදාන දුම්රිය අංගණය හරහා ට්‍රිපෝලි සංකීර්ණයටත්, එහි සිට පාවෙන වෙළෙඳ සංකීර්ණය හරහා බැස්ටියන් මාවත ඔස්සේ කොටුව දුම්රිය පොළට පැමිණේ. කි.මී.16 ක් දිවෙන මේ දුම්රිය ස්ථාන 16 ක පමණ නවතියි. දුම්රිය එක් ස්ථානයක නතර කොට තැබෙනුයේ තත්පර 30 ක කාලයකි. එය මේ වර්ගයේ දුම්රිය නවතා තැබීම සඳහා පවතින ලෝක සම්මත වේලා ප්‍රමාණයයි. මේ කාලය තුළ නැවතුම්පොළවල සිටින මගීන්ට දුම්රියට ‍ගොඩවීමටත්, දුම්රියේ එන මගීන්ට බැස යෑමටත් ප්‍රමාණවත් කාලයකි. දුම්රියේ පිවිසුම් පුළුල් දොරවල් තුනකින් යුක්තය. සියලුම දුම්රිය වේදිකා එකම උසකින් ඉදිකැරේ. පැයට කිලෝ මීටර් 35 – 40 ත් අතර වේගයකින් දුම්රිය ධාවනය කැරේ.

මේ දුම්රිය සේවාව සෑම දිනකම අලුයම 4.30 ට අන්ත දෙකෙන්ම ඇරඹේ. කාර්යබහුල ලෙස සැලකෙන උදෑසන 7 – 9 සවස 4 – 7 ත් අතර සෑම විනාඩි තුනකටම වරක් දුම්රිය ධාවනයට ඉඩ සලසාදීමට සූදානම්ය.

දුම්රිය පාලන කටයුතු (Moving black) ක්‍රමයට සිදුකැරේ. මීටර් 100 ක පමණ පරතරයකින් දුම්රිය දෙකක් ධාවනය කළ හැකියි. මේ පරතරය ස්වයංක්‍රීයව පාලනය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය ඊට යොදා ගැනේ.

කාර්යබහුල වේලාවන්හිදී මේ මාර්ගයේ දුම්රිය 18 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කොට ඇත. ඉන් 12 ක් පමණ මාලඹේ බලා යැවීමටත් ඉතිරි 06 බත්තරමුල්ල හරහා යැවීමටත් සැලසුම්කොට තිබෙනුයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් ‍බත්තරමුල්ලෙ පිහිටා තිබීම නිසාය.

අප රටට ජපානයෙන් ඉතාම අඩු පොලියක් යටතේ ලැබෙන දැවැන්ත මුදල යොදාගෙන මාලඹේ සිට කොළඹ දක්වා සැහැල්ලු දුම්රිය ධාවනයට කටයුතු කිරීම යනු අනාගත පරපුරේ දියුණුව ඇති කිරීමේ දැවැන්ත ආයෝජනයක් ලෙස හැඳින්විය හැකියි.

මේ ව්‍යාපෘතිය ආරම්භ ‍කොට ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට යම් කැපකිරීමක් රට වෙනුවෙන් කළ යුතුව තිබේ. ඒ මේ මාර්ගයේ ඉදිකිරීම් නිසා ඇතිවන තාවකාලික රථවාහන, මගී තදබදය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කොට ඊට සහාය දැක්වීමට පියවර ගැනීම තුළිනි. මේ ව්‍යාපෘතිය සාර්ථකව නිමවූවිට ජනතාවට විශාල සහනයක් හිමි වේ. ඒ සහන පිළිබඳව සිතා මේ ව්‍යාපෘතිය ඉදිකරන කාලයේ වගකීමෙන් කැපවීමෙන් කටයුතු කරන්නැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කෙළේය.

නව අදහස දක්වන්න