පළාත් සභා ඡන්දය තියන්නේ නැතිනම් අපි ඡන්දය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා | දිනමිණ

පළාත් සභා ඡන්දය තියන්නේ නැතිනම් අපි ඡන්දය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා

චන්ද්‍රිකා පෙරේරා

කුමන ඡන්ද ක්‍රමයක් යටතේ හෝ පළාත් සභා ඡන්දය නියමිත කාලයේ පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් ඡන්දය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නීතිය හා සාමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නිවාරණය ඉතා සාර්ථකව සිදුවන බවද විවිධ හොර ජාවාරම්වල යෙදී සිටින අය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට විරුද්ධ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවේදී දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා රේගුව මෙරට රජයේ ආදායමෙන් 35%ක ප්‍රමාණයක් උපයා දෙන ආයතනය වුවත් නිසි ක්‍රමවේදයකින් තොරව තීරු බද්දෙන් සමහර භාණ්ඩ නිදහස් කිරීම වැනි ක්‍රියා නිසා රේගුවෙන් උපයන බදු ආදායම ඉකුත් වසර කිහිපයේ පහත වැටී තිබෙනවා. නමුත් මෙතෙක් කටයුතු කරමින් සිටි රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය බලපෑම්වලට යටත් නොවී කෙසේ හෝ හැකි අයුරින් රේගු බදු අයකර ගැනීම ක්‍රියාත්මක කළා.

ඇයගේ ක්‍රියාකලාපය නිසා බදු ආදායම අඩුවී ඇති බව ඇඟවීමට උත්සාහ කළත් ඇය නිසි ලෙස ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන අතර වාහන ඇතුළු විවිධ භාණ්ඩ තීරු බද්දෙන් නිදහස් කිරීම නිසා බදු ආදායම අඩුව තිබෙන්නේ.

පසුගිය කාලයේ මෙරට නිෂ්පාදිත ගම්මිරිස් මිල කිලෝව රුපියල් 1800 සිට රුපියල් 600 දක්වා පහත වැටුණා. මෙසේ දේශීය ගම්මිරිස් මිල පහත වැටීමට හේතු සොයා බැලීමේ දී ඊට හේතුව වී තිබුණේ එක්තරා ව්‍යාපාරිකයෙක් වියට්නාමයෙන් ගම්මිරිස් ටොන් 2800ක් ගෙන්වා තිබෙන බවයි. ඒවා රේගු බද්දෙන් නිදහස් කර තිබෙන අතර එම ගම්මිරිස් මෙරට නිෂ්පාදිත ඒවා කියා ව්‍යාජව ලේබල් කර නැවත ඉන්දියාවට යවා තිබෙනවා. මේ නිසා පමණක් ඩොලර් මිලියන නවයක් පමණ අපේ රටට අහිමි වුණා. මීට අමතරව තීරු බදු රහිතව මෙරටට පොල්තෙල් ටොන් 405ක් ගෙන්වා විකුණා ඇති අතර එයින් මිලියන 81කට වැඩි ආදායමක් මෙරටට අහිමි වී තිබෙනවා.

එක්තරා පිටි කම්හලක හා රේගු සටහන් අතර විශාල වෙනස්කම් තිබෙන අතර එයින් රුපියල් මිලියන 475ක මුදලක් රේගුවෙන් බදු ලෙස එකතු කර ගැනීමට ගිය විට එය නොකරන ලෙස බලපෑම් තිබෙනවා.

වාහන තීරු බදු අඩු කර මෙරටට ගෙන්වා දේශීය නිෂ්පාදන ලෙස විකිණීමට කටයුතු කරන සමාගම් මෙරට ක්‍රියාත්මකයි. නමුත් මේවායින් උපාලි විජේවර්ධන මහතා එදා කළ අයුරින් දේශීයව වාහන නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ.

මෙවැනි දේ කුමන ආණ්ඩුවක් යටතේ කවුරු සිදු කළත් අප ඊට විරුද්ධයි. කෙසේ වුවත් ශ්‍රී ලංකා රේගුවේ මෙතෙක් අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කළේ රාජ්‍ය පරිපාලන සේවයේ හෝ රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු කළ අයෙක්. නමුත් මෙවර එම ධූරය සඳහා නාවික හමුදා විශ්‍රාමික නිලධාරියකු එහි අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කිරීමට තීරණය කර තිබෙන අතර මෙතෙක් එහි කටයුතු කරමින් සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පත් කරන අවස්ථාවේදී මංගල සමරවීර මහතා පැවසුවේ ඇය ඉතා දක්ෂ, අවංක, කිසිදු වංචා සොරකමකට සම්බන්ධ නැති කෙනෙක් කියායි. මේ නව පත් කිරීම රාජ්‍ය පරිපාලන සේවයට සුදුසු නැහැ. මෙයට මැදිහත්ව ගැටලුව නිරාකරණය කර බදු ආදායම ලබා ගැනීමට කටයුතු කරන ලෙස අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා. නීතිය හා සාමය ජනාධිපතිවරයා යටතට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නිවාරණය ඉතා සාර්ථකව සිදු කෙරෙන අතර විවිධ හොර ජාවාරම්වල යෙදී සිටින අය මෙවැනි කටයුතුවලට විරුද්ධයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හකුලාගෙන නොසිට පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන ලෙස අප බලකර සිටිනවා. එය කුමන ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වුවත් කමක් නැහැ. එය පවත්වන්න කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට අප තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කිරීමට සූදානම්. මැතිවරණය නිසි ලෙස තැබීමට කටයුතු නොකළොත් පළාත් සභා මැතිවරණය ඉල්ලා අප ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

දෙහිවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත මහතා-

අප 56න් උපන් දරුවන්. සාමාන්‍ය පවුල්වල අය ලෙස අද අධ්‍යාපනයෙන් ඉතා ඉහළ තත්ත්වයකට යාමට අපට හැකි වුණේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සිංහල භාෂාවෙන් අපට අධ්‍යාපනය ලබා ගැනීමට නිදහස දුන් නිසයි. එදා අප ඔබේ බදු මුදලින් ඉගෙන ගත් නිසයි ඒ ණය ගෙවන්න අද දේශපාලනයට ආවේ. ඒ නිසා අප පිරිසිදු දේශපාලනයට මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව සිටින්නේ. ඒ අනුව දැනට විසිර සිටින ශ්‍රීලනිප සියලු සාමාජිකයන්ට පක්ෂය සමඟ එක්ව පුළුල් සන්ධානයක් ගොඩ නඟාගෙන ඉදිරියේදී වංචා දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයේ යෙදී රට නැංවීමට කටයුතු කරමු යැයි අප ඉල්ලා සිටිනවා.

මත්ද්‍රව්‍යවලට, දුම්කොළ සමාගම්වලට විරුද්ධව තම ජීවිතය පිළිබඳවත් නොසිතා මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ. දූෂණයට, මතට එරෙහිව දිළිඳුකම පිටු දැකීම සඳහා සාමාන්‍ය ජනතාව අතරින් උපන් අයෙක් ඔහු. එවන් නායකයෙක් තවත් සිටිනවා ද කියා මා යෝජනා කරනවා.මෙහිදී කැලණි ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රෙහෙනසිරි වරාගොඩ හා බුලත්සිංහල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක තුසිත කුලරත්න මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න