මැතිවරණ කොමිසමේ සභාපති කළ යුත්තේ ජනතාවට මැතිවරණය දිනාදීමයි | දිනමිණ

මැතිවරණ කොමිසමේ සභාපති කළ යුත්තේ ජනතාවට මැතිවරණය දිනාදීමයි

ධනුෂ්ක ගොඩකුඹුර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පසුගියදා (29) පැවැති මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අදහස් දැක් වූ අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, පියල් නිශාන්ත මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - වාසිත පටබැඳිගේ

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ යුත්තේ මැතිවරණ පවත්වන්නේ නැතැයි කියා ඉල්ලා අස්වීම නොව කෙසේ හෝ ජනතාව වෙනුවෙන් මැතිවරණය දිනාදීම බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ දී මැතිවරණය එපා කියමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු අධිකරණය හමුවට ගිය අයුරින් අධිකරණයෙන් හෝ පළාත් සභා මැතිවරණයක් දිනාදීම කොමිසමේ යුතුකම බවත් හෙතෙම පැවසීය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පසුගියදා (29) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තිබෙනවා. නොවැම්බර් මාසේ 10 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වු‍ණේ නැත්නම් ඉල්ලා අස්වෙනවා කියලා. පළාත් සභා මැතිවරණයක් මේ වසරේ තිබිය යුතුයි කියන අදහස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි එතුමාට කියනවා. මේ වෙලාවේ කළ යුත්තේ ඉල්ලා අස්වීම නොවෙයි කියන කාරණයත්.

පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි අවස්ථාවේ අපි දැක්කා මැතිවරණ කොමිසමේ එක සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා මහමැතිවරණය එපා කියලා. ඒ නිසා අධිකරණය මගින් මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපි ආණ්ඩුවටත් කියනවා කරුණාකරලා මේ පළාත් සභා මැතිවරණය තියන්න කියලා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිම බාධාවක් නැහැ. පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට තියන්න කියලා පාර්ලිමේන්තුවට එක සංශෝධනයක් පමණයි ගෙන ආ යුත්තේ. මනාප ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන විට ඒ සමඟම සංශෝධනයක් ගෙන එන්න ඕනෑ, මීළඟ මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා කියලා.

මාස දෙකකින් ඉදිරිපත් කළ යුතු වාර්තාව දුන්නා නම් අලුත් ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන්න තිබුණා. එහෙම කළේ නැති නිසා පැරැණි ක්‍රමයට තමයි මැතිවරණය පවත්වන්න වෙන්නේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂය හැර සියලුම පක්ෂ පැරැණි ක්‍රමයට මැතිවරණය පවත්වන්න කැමැතියි. පළාත් සභා පනතට සංශෝධනයක් ගෙන එක කරන්න පුළුවන් ආණ්ඩුවටයි. නමුත් මැතිවරණයට බය නිසා මැතිවරණය කල්දාලා තියෙනවා. ආණ්ඩුවට ඕනෑ මේ මැතිවරණය ජනාධිපතිවරණය දක්වා ඇදගෙන යන්නයි. කිරිඇල්ල ඇමැතිවරයා පුවත්පතකට කියලා තිබෙනවා අයවැයෙන් සහන දෙනවා කියලා. නමුත් අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් දෙන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ.

ආණ්ඩුවට තියෙන එකම දේ පළාත් සභා මැතිවරණය සහ අනෙකුත් මැතිවරණ පවත්වා ස්ථාවර ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන එකයි.

කිරිඇල්ල ඇමැතිවරයා කියනවා දින 52 තුළ තමයි ආර්ථිකය කඩා වැටුණේ කියලා. දින 52 දී ද මේ වගේ ණය ගෙවලා නැත්තේ? දින 52 දී ද මිලියන 520ක විදෙස් ආයෝජන මේ රටින් ඉවත් කරගෙන තිබෙන්නේ? මූඩීස් රේටින්ග්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් සහ පිච් රේටින්ග් කියන ආයතන තුනම ලංකාව ණය ගෙවීමේ අවදානමක් ඇති රටක් වශයෙන් වර්ගීකරණය කර තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයෙක් ගැන කතා කරනවා. ජනාධිපතිවරණය තියන්නේ ජනාධිපතිවරයාගේ කාලය අවසන් වෙන විටයි. එදා සම්බුදු සසුනේ තිබුණා වගේ සංගායනාවක් කර අපේ අඩුපාඩු හදාගෙන, පක්ෂ 28ම එකතු කරගෙන දිනන්න පුළුවන් අපේක්ෂකයා නිල වශයෙන් රටට හෙළි කරනවා. අපට හදිසියක් නැහැ.

මේ වන විටත් පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන සියල්ල ගොඩනගා ගෙන යනවා. ඒවා තියලා අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. හැබැයි ඊට පෙර ආණ්ඩුව අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණය තියන්න ඕනෑ. මේ වන විට මහජන නියෝජිතයන් නැති නිසා පළාත් සභා අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ මැතිවරණය පවත්වන්න. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවට විරුද්ධව උසාවි ගිහින් මැතිවරණය නවත්වා ගත්තා. පළාත් සභා මැතිවරණය කල්දානවා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා-

සේනා දළඹුවාගේ ප්‍රශ්නයත් සමඟ බොර දියේ මාළු බාන්න පිරිසක් සූදානම් වෙලා . කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා සේනා දළඹුවා නිසා හානි වෙලා තියෙන්නේ බඩඉරිඟු වගාවෙන් සියයට 25කට පමණයි කියලා. මේ අස්වැන්න ඉදිරි දිනවල වෙළෙඳ පොළට එනවා. පසුගිය කන්නයේ අස්වැන්නත් තවම ගබඩා කර තියෙනවා. එහෙම තියෙන කොට රාජිත සේනාරත්න ඇමැතිවරයා ත්‍රිපෝෂ හදන්න කියලා මිලියන 670ක බඩඉරිඟු විදේශවලින් ගේන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන තිබෙනවා.

පසුගිය දිනවල රටේ ජනතාවගේ සැකයක් තිබුණා. මේ කුමන්ත්‍රණය රටේ කෘෂිකර්මය විනාශ කරන්න කරපු එකක් කියලා. මේ කරුණුවලින් ඒ සැකය තවදුරටත් තහවුරු වෙනවා. එක එක ඇමැතිවරුන් මේ විදියට බඩඉරිඟු ගෙනත් ගොඩගැහුවම ලංකාවේ බඩඉරිඟු කර්මාන්තය විනාශ වෙනවා. මේ රටේ විශාල පිරිසක් ඉන්නවා බඩඉරිඟු වගාවෙන් ජීවිකාව කරගන්න. ඒ සියලු දෙනාටම මේකෙන් ලොකු පහරක් වදිනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන්නයි.

ඉදිරි දිනවල වී අස්වැන්න වෙළෙඳපොළට එනවා. මේ වන විටත් කිසිම වැඩපිළිවෙළක් හදලා නැහැ, ඒ අස්වැන්න මිලට ගන්න. ඩොලරය ඉහළ ගිහින් තියෙන කොට බඩඉරිඟු ඩොලර් දීලා ගෙන්න හදන එකෙන් පේනවා ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැති බව.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා-

ජිවත් වෙන්න බැරිව ඉන්න ජනතාව ආණ්ඩුවට දැඩි විරෝධයක් දක්වන අවස්ථාවක ආණ්ඩුව ව්‍යවස්ථාවක් ගේන්න යනවා. මේ ජනතාව මුලා කිරීමකයි යෙදී ඉන්නේ. සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනතාව අන්දවන්නයි සූදානම. ඒකට එජාපයට දෙමළ සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා. රටේ තියෙන අර්බුද වැඩි වෙනවාට ජනතාව කැමැති නැහැ.


නව අදහස දක්වන්න