ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි | දිනමිණ

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි

කමනි අල්විස්

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුවහගත කිරීම සිදුකරන අතරතුර ඊට සුදුසු ආයෝජකයකු සොයාගත යුතු බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධනය උත්පාදනය පිළිබඳ දැඩිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධානයට ලක්කරන ප්‍රධාන විකල්පය බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. නියමිත කාලසීමාව තුළදී කමිටු වාර්තාව ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්තුතිය කමිටුවට පිරිනමා තිබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ශ්‍රීලංකන් අනන්‍යතාවය සහ ශ්‍රීලංකන් ධජය යටතේ ගුවන් සේවාව පවත්වා‍ෙගන යා යුතු බව දැඩි ලෙස පෙන්වාදුන් රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා, ගුවන් සේවයේ ශ්‍රීලංකන් සන්නාමයට (brand) කිසිඳු ආකාරයක හානියක් සිදු නොවිය යුතුබව දැඩි ලෙස අවධාරණය කරමින් පැවසුවේ එම හානිය ශ්‍රීලංකන් ගුවන් සේවයට අහිතකර ලෙස බලපෑමේ බරපතළ ගැටලුවක් නිර්මාණය කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉකුත් 28දා හාරදුන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගැටලු විසඳන ජනාධිපති විශේෂඥ කමිටුවේ වාර්තාව පිළිබඳව ඊයේ (31) මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍යයට අදහස් පළ කරමින් එම කමිටුවේ සභාපති රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඉහත සඳහන් ප්‍රධාන විකල්පයට අමතරව තවත් විකල්ප දෙකක් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. ඈවර කිරීම හා නැවත ස්ථාපනය සහ කළමනාකරණ ගිවිසුම් පිළිබඳව එම විකල්ප අදාළයි. එසේ වුවත් ඉහත සඳහන් කරන ලද ප්‍රධාන විකල්පය අනුගමනය කිරීම කමිටුවේ ප්‍රධාන නිර්දේශයයි.

ආයතනගත ප්‍රතිව්‍යුහගත කිරී‍ෙම් ස්වාධීන අධ්‍යක්ෂක මණ්ඩලයත් කළමනාකාරිත්වයත් ඇති කිරීම ව්‍යාපාරික ආකෘතිය සංශෝධනය, මානව සම්පත් ප්‍රතිව්‍යුවහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලිය තහවුරු කිරීම, සන්නාම ප්‍රවර්ධනයේදී සහයෝගිතාව පිළිබඳ සොයා බැලීම කමිටුවේ නිර්දේශයන්ය.

ආර්ථික කළමනාකරණය පිළිබඳව මහාචාර්ය ජයන්ත මහතා අපූරු උදාහරණයක් දැක්විය. සමාජගත කියමනක්ව තිබෙන ‘දැනගියොත් කතරගම’ ‘නොදැන ගියොත් අතරමග’ නමැති එම කියමන වෙනස් කරමින් ‘දැන ගියොත් වත්තල’ ‘නොදැන ගියොත් මත්තල’ ලෙස මහාචාර්යවරයා එම කියමන අර්ථකථනය කරමින් පැවසීය.

මෙම කමිටුව සඳහා ලබාදුන්නේ සති දෙකක කාලයකි. වසර හතළිහක් පුරාවට එන ප්‍රශ්න සතිදෙකකින් ඉටුකළ නොහැකි බව ජනාධිපතිතුමාට දැනුම් දුනි.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඩොලර් බිලියන සීයක පමණ පාඩුවක් ලැබුවත්, ශ්‍රීලංකන් කේටරින් සහ, ගොඩබිම මෙහෙයුම් අංශ, ඉංජිනේරු අංශ ඩොලර් මිලියන අසූපහ දක්වා ලාභ ලබා තිබේ.

ආයතනවල වැරදි නිවැරදි කිරීමට ක්‍රියාකරද්දී සමාගමට සම්බන්ධ නොවූ ඇතැමුන් සහ ඇතැම් වෘත්තීය සමිති ඒ ගැන අවධානය යොමුකරමින් ගුවන් සේවයේ සන්නාමයට ගැටලු ඇති නොවන ලෙස ක්‍රියා කළ යුතුයි.

රාජ්‍ය ව්‍යවසායක ආයතනය සඳහා පනතක් ගෙනඒම වැදගත්. එම ආයතන ස්වාධීන වෘත්තීමය පාලනයකට යටත් කළ යුතුයි. එවන් ක්‍රමවේදයක් සකස් වුවහොත් එය දීර්ඝ කාලීනව හොඳම ප්‍රතිඵල අත්කරදෙනු ලබයි.

වසර 2012 සිට වසර 2017 දක්වා වැඩිපුරම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සහ ඒවා ලද පාඩු මෙසේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන හාරසිය විසි අටයි (428) , ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන හත්සිය හතළිස් අටයි (748), ශ්‍රීලංකන් ගුවන් සේවය සහ මිහින්ලංකා ආයතනය රුපියල් බිලියන එක්දහස් හාරසියය පනස් අටයි (1458), ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් බිලියන දෙසිය අනූ අටයි (298)

මෙම මාධ්‍ය සාකච්ඡාවට විශේෂ කමිටුවේ ලේකම් ජනාධිපති සහකාර අධ්‍යක්ෂක තිසුරි වන්නිආරච්චි මහත්මිය සහභාගි වූවාය. විශේෂඥ කමිටුව දහදෙනෙකුගෙන් සමන්විතය.

 

නව අදහස දක්වන්න