වැලි ජාවාරම! | දිනමිණ

වැලි ජාවාරම!

කින්නියාවේ සිද්ධියෙන් අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් තිබේ. එක; ජාවාරම්කරුවන් ඉතා ශක්තිමත් බව හා ඔවුන් සංවිධානාත්මක බව ය. දෙක; මේ ජාවාරම්කරුවන් මර්දනය කිරීම පහසු නැති බව ය. තුන; ජාවාරම්කරුවන් සාමාන්‍ය ජනතාව නොමඟ යවා ‍ඔවුන් ද තම පිලට එකතු කරගන්නා බව ය. සමස්ත චිත්‍රය දෙස බලන විට පෙනී යන්නේ තත්ත්වය තරමක් සංකීර්ණ බවකි. ලතින් අමෙරිකානු රටවල් කිහිපයක කුඩු ජාවාරම්කාරයෝ එම රටවල ආරක්ෂක හමුදාව සමඟ කරට - කර සටන් කරති. ඒ අනුව ලතින් අමෙරිකානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම අසීරු වී ඇත. ජාවාරම්කරුවන් හා ජනතාව එක පිලක හිටගන්නේ නම්; එය තවදුරටත් භයානක ය.

වැලි ජාවාරම සල්ලි මවන යන්ත්‍රයක් වී ඇති අතර එයින් පරිසරයට සිදුවන හානිය අතිශයින් ම බරපතළ ය. මේ විනාශයේ ප්‍රතිඵලය හොඳින් ම භුක්ති විඳින්නට ලැබෙන්නේ අනාගත පරපුරට යැයි කිව හැකි ය. එක අතෙකින් ර‍ටේ ගංගා විනාශ වෙයි. තව අතෙකින් ගංගාවලට මුහුදු ජලය මිශ්‍ර වෙයි. මේ හැරෙන්නට භූමිය ද ගංගාවක ගමන් මඟ ද, ගඟ දෙපස වෘක්ෂලතා පන්ති ද මෙයින් විනාශයට පත් වේ. ජාවාරම්කරුවන් පාරිසරික සාධක ගැන බිංදු මාත්‍රයකින් අවධානය යොමු කරන්නේ නැත. ඔවුන්ගේ අභිප්‍රාය හැකිතාක් වේගයෙන් වැලි සම්පත සූරා ගැනීම පමණි. මේ තත්ත්වය දිගට ම පැවතුණහොත් රටේ එක ගංගාවක්වත් ඉතිරි වන්නේ නැත.

වැලි ටිපර් එකක් කොළඹ හා ගම්පහ ප්‍රදේශවලදී රුපියල් පනස්දහසකට වැඩි මුදලකට අලෙවි කරන බව කියති. දිනපතා ම ත්‍රිකුණාමල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලි ටිපර් සියයකට ආසන්න ප්‍රමාණයක් ධාවනය වන බව ද කියති. මෙලෙස ධාවනය වන සියලු ටිපර් රථවලට වැලි බලපත්‍ර ඇතැ’යි සිතන්නට පුළුවන්කමක් නැත. අදාළ මාර්ග නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ මාර්ග බාධක යොදා ටිපර් රථ පරීක්ෂාවට ලක්කරන ස්ථාන කිහිපයක් ඇති බවය. එහෙත් වැලි ටිපර් එකක් ඇල්ලූ බව වාර්තා වෙන්නේ කලාතුරෙකින් ය. එක්කෝ මේ රථවලට හොර බලපත්‍ර තිබේ. නැතහොත් පොලිසිය සමඟ සම්බන්ධතාවක් තිබේ. මේ දෙකෙන් - එකක් සිදු නොවී වැලි ජාවාරමට ඉදිරියට යා නො හැකි ය.

දැනට ඉදිරිපත් වී ඇති චෝදනා හා විවේචනවලින් කියැවෙන්නේ වැලි ජාවාරම්කරුවන්ට පොලිසිය සමඟ පමණක් නො ව; දේශපාලකයන් සමඟ ද සම්බන්ධතා ඇති බව ය. කෙනකුගේ තර්කය වන්නේ දේශපාලකයන් තිරය පිටුපස සිට ජාවාරම මෙහෙයැවන බැවින් ජාවාරම වැළැක්වීම අසීරු බව ය. එය සත්‍යයක් බව පෙනී යන්නේ ජාවාරම්කරුවන්ගේ හැසිරීම දෙස බලන විට ය. කින්නියා සිද්ධිය මැඬපැවැත්වීමට ගිය නාවුක සෙබළෙක් කලහකාර‍යන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබේ. තවත් නාවුක සෙබළුන් දොළොස් දෙනකුට පහර දී තිබේ. මෙයින් හතරදෙනකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වී ඇත. නාවුක හමුදාවේ වාහන කිහිපයකට ද කලහකාරීන් පහර දී ඇත.

ජාවාරම්කරුවන් සරදියෙල්ගේ න්‍යාය අනුගමනය කර ඇති බව පෙනී යන්නේ ජනතාව මීට හවුල් වීම නිසා ය. රටේ බොහෝ පළාත්වල සිදුවන වැලි ජාවාරමට එරෙහිව ප්‍රදේශවාසීහු පෙළගැසී සිටිති. පොලිසියට තොරතුරු සැපයීමෙන් හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සහයෝගය ලබාදීමෙන් එම ප්‍රදේශවාසීහු වැලි ජාවාරමට විරුද්ධ වෙති. කින්නියාවේදී සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. එක්කෝ ප්‍රදේශවාසීන්ට වැලි ජාවාරමෙන් ආර්ථික වාසි ලැබෙනවා විය යුතුය. නැතහොත් ඔවුන් ජාවාරම්කාරයන් යටතේ වැඩ කරනවා විය යුතුය. මේ එකක්වත් අනුමත කළ හැකි දේවල් නො වේ. පළමුව සිදුවිය යුත්තේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම නීතිය හමුවට කැඳවීම යැයි මතක් කළ යුතුය.

නාවුක හමුදාව වැලි ජාවාරම වැළැක්වීම සඳහා දිගටම මෙහෙයුම් සිදුකර ඇත. එය ඔවුන්ගේ රාජකාරියකි. ඊට බාධා කිරීමේ අයිතියක් කිසිවකුට නැත. සිද්ධියට මැදිහත් වූ නාවුක සෙබළ බළඇණිය නීත්‍යානුකූල ලෙස ද විනයගරුක ලෙස ද ක්‍රියාකර ඇති බව පෙනෙයි. කලහකාරීන් පොලු, මුගුරු, ගල් හා තවත් දේවල්වලින් පහර දෙන විට නාවුක හමුදාවට තුවක්කු පාව්චිචි කිරීමට ඉඩ තිබිණි. කලහකාරයන්ට එරෙහි ව තුවක්කු පාවිච්චි කළේ නම් සිදුවන්නේ බලවත් විනාශයකි. පිරිස විසිරුවා හැරීම සඳහා අහසට වෙඩි කිහිපයක් තබා ඇති අතර ඒවා ද හිස් වෙඩි බව කියති. මෙහිදී ප්‍රදේශවාසීන් නාවුක හමුදාව පිළිබඳ වැරදි වැටහීමකින් ක්‍රියාකර ඇති බවක් ද පෙනෙන්නට තිබේ.

වැලි ජාවාරමේ යෙදී සිටි කිහිප දෙනකු මහවැලි ගඟට පැන පලා යාමට තැත් කළැයි වාර්තා වේ. ඉන් දෙදෙනෙක් අතුරුදහන් ය. එක් අයකු බේරී ඇත. තව කෙනකුගේ මළසිරුර සොයාගෙන ඇත. මේ පිරිස ගැන කනගාටුව පළකළ හැකි වුව ඔව්හු නිර්දෝෂී පුද්ගලයෝ නොවෙති. අපරාධයක කොටස්කාරයන් වන ඔවුන්ට නීති ප්‍රකාර දඬුවම් ලැබිය යුතු ම ය. පලායෑමට තැත්කර ඇත්තේ ද කලබලයට හවුල් වී ඇත්තේ ද මේ ජාවාරමෙහි ප්‍රධානීන් නො වන බව පැහැදිලි ය. ජාවාරම පිටුපස බලවත් පුද්ගලයන් ඇති බව ද පැහැදිලි ය. විමර්ශනවලින් සොයාගත යුත්තේ එම බලවත් පුද්ගලයන් ය. ඔවුන් රට විනාශ කරන අතර නීතිය තුට්ටුවකට හෝ ගණන් නොගන්නා බව ද පෙනී යයි. බලවන්තයන් නීතිය මායිම් නොකරන්නේ නම්; නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටුම් මතුවෙයි.

මේ සිද්ධිය රටට නරක ආදර්ශයක් සපයන බව ද පෙන්වා දිය යුතු ය. ජනතාව ආරක්ෂක අංශවලට එරෙහිව ක්‍රියාකිරීම ද නීතිමය ක්‍රියාවලට බාධා ඇතිකිරීම ද බලවත් වරදකි. මහජනයාගේ ආරක්ෂාව, සමාජයේ සාමය හා නීතියේ ආධිපත්‍යය ඇතිකිරීමට ක්‍රියාකරන නිල ආයතන ලෙස ආරක්ෂක හමුදා හැඳින්විය හැකිය. මහජනයා තුළ මේ නිලධාරීන් කෙරෙහි ගෞරවයක් පැවැතීම වැදගත් ය. එහෙත් අද බොහෝ දෙනා පොලිස් ස්ථානවලට පහරදීමට යති. පොලිස් ස්ථාන ඉදිරිපිට මළ සිරුරු තබාගෙන උද්ඝෝෂණ කිරීමට යති. මෙය නීතියේ ආධිපත්‍යයට බාධාවකි. සාමයට ද බාධාවකි. නීතිය හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන කෙරෙහි මහජන විශ්වාසයක් ගොඩනැඟිය යුතුව තිබේ.

මතුපිටට නොපෙනෙන වැලි පිළිබඳ ගැටලුවක් ද මේ පිටුපස ඇත. රටේ වේගවත් ඉදිකිරීම් ජාලයක් පවතින අතර ඒවාට අවශ්‍ය වැලි ප්‍රමාණය සපයාගත නො හැකි තත්ත්වයක් පවතී. එය රටට අදාළ ජාතික ප්‍රශ්නයක් හැටියට සලකා රජය විසින් විසැඳුම් සපයාගත යුතුව තිබේ. නීත්‍යානුකූල ලෙස වැලි සපයාගත හැකි අලුත් ක්‍රමවේද සොයාගත යුතුව තිබේ. ජාවාරම්කරුවන් වැලි ජාවාරමට යොමුවන්නේ වැලි හිඟය නිසා ය. මීට අදාළ විසැඳුම් සැපයීමත් වැලි ජාවාරම වැළැක්වීමට සම්බන්ධ බව අවසන් ලෙස සිහිපත් කළ යුතුය.

නව අදහස දක්වන්න