වැටුපෙන් අඩුකර ලාච්චුවට වැටෙන අර්ථ සාධකය | දිනමිණ

වැටුපෙන් අඩුකර ලාච්චුවට වැටෙන අර්ථ සාධකය

අසේල කුරුළුවංශ

කම්කරු දෙපාර්තමේන්තුව තුළ අර්ථසාධක ගෙවීම් කරන ව්‍යාපාර ලෙස දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ලිපිගොනු සංඛ්‍යාව 5176කි. මහනුවර නගර සීමා බල ප්‍රදේශය තුළ පමණක් ව්‍යාපාරික ස්ථාන 5500 ඉක්මවා තිබේ. අර්ථ සාධක නොලැබ මහනුවර නගර සීමාව තුළ සේවය කරනු ලබන සේවක පිරිස කොපමණද යන්න සම්බන්ධව යම් තක්සේරුවකට පැමිණීමට ඉන් අපහසුවක් නැත. කම්කරු කාර්යාලය පවසන්නේ, ලියාපදිංචි ඇතැම් ව්‍යාපාරික ස්ථාන සේවකයන් නොමැතිව පවුලේ සාමාජිකයන් විසින් පවත්වා ගෙන යනු ලබන බැවින් අර්ථ සාධක ගෙවීමක් සිදු නොවන බවයි.

මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රමිකයන්ට විශ්‍රාම ලැබීමෙන් පසු යහපත් ආර්ථික තත්ත්වයක් සහිත ජීවිතයක් ගත කිරීමට අවකාශ සැලසීම අරමුණු කර ගනිමින් සේවක අර්ථ සාධක අරමුදල ස්ථාපිත කර තිබේ. 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත මගින් මෙහි පරිපාලනය ලැබී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. සේවකයාගේ මාසික මුළු ඉපයීම්වලින් අවම වශයෙන් 12 %ක් සේවා යෝජකයා විසින්ද 8 % ක් සේවකයා විසින්ද අරමුදලට බැර කෙරෙන බැවින් සේවකයාගේ මාසික සමස්ත ඉපයුමෙන් අවම වශයෙන් පහෙන් එකක් එහි එකතු වෙයි. මෙරට රැකියා නියුක්තිය මිලියන 07 ක් පමණය. ලක්ෂ දාහතරක් පමණ වන රාජ්‍ය සේවකයන් හැරුණු විට සෙසු සේවක පිරිස අතරින් අර්ථ සාධක අරමුදලට දායක වී සිටින්නේ මිලියන 2. 6ක පමණ පිරිසක් බව, කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. මෙයින් පැහැදිලි වන්නේ පෞද්ගික අංශයේ රැකියා කරන පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් සේවක අර්ථ සාධක අරමුදලින් ආරක්ෂා නොවන බවයි.

මෙරට පවත්නා විශාලතම සමාජ ආරක්ෂණ ක්‍රමය ලෙස පිළිගැනෙන සේවක අර්ථ සාධක අරමුදලට සේවකයන් ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ව්‍යවසායකයන්ට වැඩිම චෝදනා තිබෙන්නේ මධ්‍යම පළාත තුළය. මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් වතු කම්කරු ජනතාව වැඩි වශයෙන් ජීවත් වන අතර ඔවුන්ගේ අර්ථ සාධක ගෙවීම නිසි පිරිදි සිදු නොවීම මෙම තත්ත්වය ඇති වීමට හේතුවී තිබේ. වතු කම්කරු ප්‍රජාව හැරුණු විට මහනුවර නගරයේ ව්‍යාපාර ස්ථාන ගණනාවක සේවකයන්ටද අර්ථ සාධක අරමුදලේ නිසි රැකවරණය ලැබී නැති බව පැහැදිලිය. පරීක්ෂණයකින් හෙළිව තිබෙන්නේ, නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් අතරින් 50 %කට වැඩි පිරිසකට අර්ථ සාධක හිමි නොවන බවයි. මහනුවර උතුර හා දකුණ කම්කරු කාර්යාල මගින් සේවකයන්ට අර්ථ සාධක නොගෙවූ හාම්පුතුන්ට එරෙහිව නඩු 2000 කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ගෙන යන බව මධ්‍යම පළාත් කම්කරු කාර්යාලය පවසයි.

•ස්ථිර, ආධුනික, තාවකාලික හෝ අනියම් ලෙස සේවය කළත්

•කෑලි ගණනට, කොමිස් ක්‍රමයට, කොන්ත්‍රාත් ක්‍රමයට හෝ වැඩ ප්‍රමාණය අනුව ගෙවිම් ලැබුවත්

•මාසික, අර්ධ මාසික, සතිපතා හෝ දවස් පඩි ලැබුවත්

•සේ. අ. අ. ප්‍රතිලාභ මුදල් වරක් ලබා ගැනීමෙන් පසු නැවත රැකියා‍වේ යෙදෙන සේවකයෙක් වුවත්

•මෙරට රැකියාවල නියුක්ත විදේශිකයෙක් වුවත්

•සේවකයන් 10කට වැඩි පුණ්‍යායතන හා සමාජ සේවා කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන ආයතනවල සේවකයෙක් වුවත්

•කම්කරු ‍ශ්‍රේණිවල සිට කළමනාකරණ ශ්‍රේණි දක්වා ඕනෑම තරාතිරමක සේවය කළත් එම සේවකයා හෝ සේවිකාව අර්ථ සාධක හිමිකම ලබන්නට සුදුසුකම් ලබන බව සේවක අර්ථ සාධක අරමුදල් පනතේ සඳහන්ය.

එසේ වුවත් මහනුවර නගරයේ හෝටල්, සිල්ලර හා තොග වෙළෙඳ සල්, නිමි ඇඳුම් සාප්පු, රෙස්ටුරන්ට්, මුද්‍රණ කාර්යාල, හාඩ්වෙයාර් ඇතුළු සියලුම ව්‍යාපාරික ස්ථානවල සියල්ලේම පාහේ සේවක අර්ථ සාධක අරමුදලට වසර ගණනාවක් තිස්සේ දායක කර නොමැති සේවක සේවිකාවෝ සිටිති. මේ සම්බන්ධව කම්කරු දෙපාර්තුමේන්තව මගින්ද විධිමත් නිරීක්ෂණයක් සිදු නොකරන බව තොරුතුරු පනත යටතේ කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔවුන් යොමුකළ ලිපියෙන්ද තහවුරු වෙයි. සේවක අර්ථ සාධක හිමිකම් නොමැතිව සේවයේ නියුක්තව සිටියදී හඳුනා ගන්නා පුද්ගල තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් දෙපාර්තුමේන්තව සතුව නොමැති බව එහි පැහැදිලිව දක්වා තිබේ. ස්වකැමැත්තෙන් ලියාපදිංචි වන සේවායෝජකයන් හා කම්කරු නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ හඳුනා ගනු ලබන සේවායෝජකයන් ලියාපදිංචි කිරීම පමණක් සිදුකරන බවද එහි පැහැදිලිව දක්වා ඇත.

හිමිකම අහිමි කිරීම

සේවකයන්ගේ අර්ථ සාධක හිමිකම අහිමි කරන ව්‍යවසායකයන්ට නීති මගින් කටයුතු කිරීම්වලට අදාළ වාර්ෂිකව තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේදයක්ද දෙපාර්තුමේන්තුව සතුව නොමැත. ඒ අතර, කේවල පුද්ගල පැමිණිලි හා කම්කරු නිලධාරී නිරීක්ෂණය යටතේ හඳුනාගත් සේවක අර්ථ සාධක නොගෙවීම් සම්බන්ධව සේවායෝජකයන්ට විරුද්ධව නඩු පැවරීම් පමණක් සිදු කරනු ලබන බවද තොරුතුරු ලිපියේ සඳහන්ය.

මහනුවර උතුර දිස්ත්‍රික් කම්කරු කාර්යාල බල ප්‍රදේශයට අදාළව ලියාපදිංචි ක්‍රියාකාරී ව්‍යාපාරික ස්ථාන 2457 ක්ද මහනුවර දකුණ දිස්ත්‍රික් කම්කරු කාර්යාල බල ප්‍රදේශයට අදාළව ලියාපදිංචි ක්‍රියාකාරී ව්‍යාපාරික ස්ථාන 2719 ක්ද පවතින බව පිළිතුරු ලිපියේ දක්වා ඇති අතර මෙම ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් 21 දෙනකු සිටින බවද එහි සඳහන්ය.

මහනුවර උතුර හා දකුණ කම්කරු කාර්යාල මගින් මහනුවර දිස්ත්‍රික්කය මුළුමනින් ආවරණය වන අතර ඔවුන් පවසන පරිදි දිස්ත්‍රික්කයේ කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිගොනු පවත්වා ගෙන යන ලියාපදිංචි ක්‍රියාකාරී ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 5176 කි. මහනුවර නගර සභා බල ප්‍රදේශය තුළ පමණක් ලියාපදිංචි ව්‍යාපාරික ස්ථාන 5565 ක් තිබෙන බව මහනුවර නගර සභා වාර්තා පෙන්වා දෙයි. මහ පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිලි තුළ තවත් ව්‍යාපාර ගණනාවක් පවතින බවත් ඒවා සැලකිල්ලට නොගෙන අදාළ ප්‍රධාන ව්‍යාපාරය පමණක් ලියාපදිංචි කර තිබෙන බැවින් ව්‍යාපාර වශයෙන් ගත්කල මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුව තුළ අර්ථසාධක ගෙවීම් කරන ව්‍යාපාර ලෙස දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ලිපිගොනු සංඛ්‍යාව 5176කි. මහනුවර නගර සීමා බල ප්‍රදේශය තුළ පමණක් ව්‍යාපාරික ස්ථාන 5500 ඉක්මවා තිබේ. අර්ථ සාධක නොලැබ මහනුවර නගර සීමාව තුළ සේවය කරනු ලබන සේවක පිරිස කොපමණද යන්න සම්බන්ධව යම් තක්සේරුවකට පැමිණීමට ඉන් අපහසුවක් නැත. කම්කරු කාර්යාලය පවසන්නේ, ලියාපදිංචි ඇතැම් ව්‍යාපාරික ස්ථාන සේවකයන් නොමැතිව පවුලේ සාමාජිකයන් විසින් පවත්වා ගෙන යනු ලබන බැවින් අර්ථ සාධක ගෙවීමක් සිදු නොවන බවයි.

නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක සේවක සේවිකාවන් වෙනුවෙන් අර්ථ සාධක මුදල් නිසි පරිදි නොගෙවීමේ ප්‍රශ්නය කරළියට නොපැමිණීමට ප්‍රධාන හේතුව වන්නේ කම්කරු දෙපාර්තුමේන්තු ක්ෂේත්‍ර නිලධාරීන් සේවා යෝජකයන් හමුවී ව්‍යාපාරික ස්ථානවල සේවකයන් පිළිබඳ නිසි විමර්ශනයක් නොකිරීමය. මෙම නිලධාරීන් බොහෝ විට සිදු කරන්නේ සේව්‍යයා ලබාදෙන තොරුතුරු මත පදනම්ව ලියාපදිංචි කිරීමය. එම නිසා අදාළ ස්ථානවල විශාල සේවක පිරිසකට සේවක අර්ථ සාධක අරමුදල් අහිමිවී තිබේ.

එක්සත් වෙළෙඳ හා සමූපාකාර සේවක සංගමයේ නියෝජ්‍යය සභාපති, නීතීඥ නිහාල් හෙට්ටිආරච්චි මහතා.

“ මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් සේවක අර්ථ සාධකය ගෙවන්නේ නැහැ. මම පෙනී හිටින නඩු ගණනාවක් තිබෙනවා. සමහරු අවුරුදු 20-25 එකම ආයතනයේ සේවය කරලා තිබුණත් අර්ථ සාධකය නැහැ. සාමාන්‍යයෙන් හෝටලයක 10 දෙනෙක් වැඩ කළොත් අර්ථ සාධක ගෙවන්නේ තුන් දෙනාටයි. කම්කරු දෙපාර්තුමේන්තු නිලධාරීන් ආවොත් මම වැඩට ඇවිත් දවස් දෙක තුනයි කියන්න කියලා සේවකයන්ට උගන්වනවා. ඇත්ත කියන්න ගිහින් රස්සාව නැති වෙයි කියලා අයිතිකාරයෝ කියන ඕන දෙයක් මේ අය කරනවා. අර්ථ සාධක සාමාජිකත්වය හිමි සේවකයන් සේවයට පැමිණෙන දින ගණන අඩුවෙන් සටහන් කරලා මුදල් වංචා කරන අයත් ඉන්නවා.

කම්කරු නීති යාවත්කාලීන වෙන්න ඕන. අර්ථ සාධක නොගෙවන හාම්පුත්තුන්ට විරුද්ධව කම්කරු කාර්යාලයේ පැමිණිල්ලක් දැම්මොත් පැමිණිල්ල විභාග කිරීමට හාම්පුතා ගෙන්වා ගැනීම හරිම අමාරුයි. ආවේ නැහැ කියලා ලොකු දෙයක් කරන්න බැහැ කියලා මේ අයව දැනුවත් කරන්නේ කම්කරු නිලධාරීන්මයි. ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමට එන කම්කරු නිලධාරීන් සේවකයන් හමුවී කතා කරන අවස්ථා ඇත්තේම නැති තරම්. ඒ අය කරන්නේ සේව්‍යයා කියන දේ අහලා යන එක. සමහරුන්ට අවුරුදු ගානක් වැඩ කළත් පත්වීම් ලිපියක් දීලා නැහැ. අන්තිමට අයිතිවාසිකමක් කියන්න විදිහක් නැහැ. බස්වල වැඩ කරන රියැදුරන්ට කොන්දොස්තරලාටත් මේ වැඩේ වෙනවා. සමහර රියදුරන් පොලීසියෙන් නිකුත් කරන දඩ කොළ තමයි තමන් බස් රථයේ වැඩ කළ බව තහවුරු කරන්න ඉදිරිපත් කරන්නේ. නගරයේ බොහෝ ව්‍යාපාරිකයන් පඩි පාලක සභා නීතිය තඹයකට මායිම් කරන්නේ නැහැ.”

මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථානයක මුද්‍රණකරුවකු ලෙස වසර 23 ක පමණ කාලයක් සේවය කර ප්‍රමාණවත් අර්ථසාධක වැටුපක් හිමි නොවූ ජගත් බණ්ඩාර තමන්ට සිදුවූ අසාධාණරය විස්තර කළේ මෙසේය.

“අවුරුදු 23ක් මම එකම තැනක රැකියාව කළා. වැඩකරපු අයට සේවා ස්ථානය එපා වෙන තැනට පත් කරලා අපිව සේවයෙන් ඉවත් කරන්න හිමිකරුවා කටයුතු කළා. රස්සාවෙන් අස්වෙලා මම අර්ථ සාධකය බැලුවම අවුරුදු 23ටම මට තිබුණේරුපියල් 35000යි. අතරින් පතර තමයි අර්ථ සාධක මුදල් බැර කරලා තියෙන්නේ. එතකොටවත් කම්කරු නිලධාරීන් මේ ගැන හොයලා බලන්න තිබුණා. මගේ පඩියෙන් අර්ථ සාධකයට 8 % හැම මාසෙම කපා ගෙන තිබුණත් ඒවා අරමුදලට බැර කරලා නැහැ. කම්කරු නිලධාරීන් එන්න කලින් බොස්ට එතනින්ම කෝල් එකක් එනවා. අපි වැඩ කරපු තැන සේවක සේවිකාවෝ 300 ක් විතර හිටියා. කම්කරු නිලධාරීන් ඇවිල්ලා බොස් එක්ක කතා කරලා යනවා. හැමෝටම කියලා තියෙන්නේ අලුතින් ආවා හරි පුහුණු වෙන්න ආවා හරි කියන්න කියලා. කම්කරු දෙපාර්තුමේන්තුවේ අය සේවකයෝ එක්ක කතා කරනවා මම නම් මේ අවුරුදු 23 ටම දැකලා නැහැ. මේ අසාධාරණයට විරුද්ධව මම කම්කරු දෙපාර්තමේන්තුට පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ල විභාග කරන්න දෙපාරක්ම බොස්ට එන්න කියලා ලිපි යවලා තිබුණත් ඔහු ආවේ නැහැ. තුන් වෙන් පාරටත් ඔහු එයිදි කියලා මම බලාගෙන ඉන්නේ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා.

ශ්‍රම සූරාකෑම

“අර්ධ සාධක කැපීම පිළිබඳ අපි කීප පැත්කනින් බලන්න ඕන. නීතියේ හැටියට නම් සේවකයකු යම් ආයතනයක සේවයට බැඳුණු දා පටන් අර්ථ සාධක අරමුදලට දායක කර ගන්න ඕන. කිසිම ආයතනයක වෙන්නේ නැහැ. සේවකයෙක් ආයතනයකට එක්වූ ගමන් අර්ථ සාධක කපනවා කියන එක ප්‍රායෝගිකව අමාරුයි. අද ඇවිත් හෙට නවතින අය ඉන්නවා. තවත් අය අදාළ සේවයට නොගැලපෙන බව තහවුරු වන්නේ ටික දවසක් ගියාම. විශ්වාසය, දක්ෂතාව වගේ ගොඩක් දේවල් බලලා තමයි සේවකයෙක් ආයතනයක ස්ථිර සේවයට එක් කර ගන්නේ. මේ සඳහා කාලයක් අවශ්‍යයි. මම හිතන්නේ අර්ථ සාධක කැපීම ආරම්භ කරන්න යම් කාලයක් දිය යුතුයි. සමහර ආයතනවල මේ කාලය රබර් වගේ ඇදෙනවා. අද විරැකියාව එන්න එන්නම වැඩි වෙනවා. මේ නිසා රැකියා අපේක්ෂා කරන විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ සේවය අඩු මුදලට ගන්න පුළුවන් බවත් සේවක අයිතිවාසිකම් නොදී හෝ මේ අය තියා ගන්න පුළුවන් කියලත් ව්‍යාපාරිකයෝ දන්නවා. මේ අර්ථ සාධක අරමුදල් හිමිකම නොලබන වැඩි පිරිස අවධානම් සහගත රැකියාවල නිරත වන අය. කම්කරු නිලධාරීන් බොහෝ වෙලාවට ක්‍රියාත්මක වන්නේ සේවක පැමිණිලි මත රැකියාව කරන කාලය තුළ පැමිණිල්ලක් කරන්න සේවකයෝ බයයි. රැකියාව හැම දේටම වඩා වටින නිසා. ගොඩක් අය පැමිණිලි කරන්නේ රැකියාවෙන් ඉවත්වූ පසුවයි. තවත් සේවකයෝ තමන්ගේ අතට ලැබෙන මුදල ගැන තමයි හිතන්නේ. ඒ නිසා පඩියෙන් 8 % ක් අර්ථ සාධකයට කපනවාට අකමැතියි. අර්ථ සාධක කපන්න එපා කියලා සේවකයන් ආයතනයේ හිමිකරුට කියන අවස්ථා ඕන තරම් තියෙනවා. ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන දූෂිතයි. පොලිසිය ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා. මේ සියල්ල මැද්දේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විතරක් අල්ලසෙන් දූෂණයෙන් තොරයි කියලා හිතන්න අමාරුයි.”

මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ උප සභාපති යසස් චන්ද්‍රසේකර මහතා.

“අර්ථ සාධකය සේවකයාගේ අයිතියක්. අපි ඒක ඔහු හෝ ඇයට ලබා දිය යුතුයි. සිංහල වෙළෙඳ පෙරමුණ නියෝජනය කරන්නේ මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයන්. සිංහල වෙළෙඳ පෙරමුණේ සාමාජිකත්වය ගන්න නම් එම ව්‍යාපාරිකයා සේවක අර්ථ සාධක ගෙවන අයෙක් විය යුතු බව අපේ ව්‍යවස්ථාවේම සඳහන් කර තිබෙනවා.”

මධ්‍යම පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් දරන්නේ මෙවැනි අදහසකි.

“සෑම සේවකයකුම අර්ථ සාධක අරමුදලට දායක කර ගැනීමයි අපේ අරමුණ. ඒ සඳහා නිලධාරීන් කැපවී කටයුතු කරනවා. මහනුවර සේව්‍යයන් විශාල පිරිසකට අර්ථ සාධක නොගෙවීම සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා. පෞද්ගලික ආයතනවල සියලු සේවකයන්ට අර්ථ සාධක ගෙවිය යුතුයි කියලා අපි කියන්නෙ නැහැ. අද සේවයට එක්වූ සේවකයාට අර්ථ සාධක ඒ දවසේ ඉඳලම ගෙවන්න කියන්නත් බැහැ. ඒ සඳහා යම් කාලයක් දිය යුතුයි. කම්කරු නිලධාරීන් විමර්ශන සඳහා යනකොට ඇතැම් ආයතනවල සේවකයන් ටොයිලට්වල හංගන අවස්ථා තියෙනවා. මහනුවර කොටුගොඩැල්ල වීදියේ නිමි ඇඳුම් අළෙවි සලක සේවකයකුට අර්ථසාධක නොගෙවීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කළ පසු හිමිකරු අදාළ සේවකයා පසු දිනම සේවයෙන් ඉවත් කර තිබුණා. සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැර කළාම ඊට ආදළ කුවිතාන්සියක් මහ බැංකුව දෙනවා. එය සේව්‍යයා වෙත ලැබෙන අතර සේවකයාට එය ඉල්ලා සිටින්න පුළුවන්. එතකොට තමන්ට අර්ථ සාධක මුදල් බැර කෙරෙන ආකාරය දැන ගැනීමට පුළුවන්. අපේ නිලධාරීන් සේවකයන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරලා පහුවදාට රස්සාව නැති වෙනවා නම් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. සේවකයෙක් තමන්ට අර්ථ සාධක මුදල් අවශ්‍ය නැති බවට ලිඛිතව හාම්පුතාට දැනුම් දී තිබුණත් අර්ථ සාධක නොගෙවා ඉන්න හාම්පුතාට බැහැ. එවැනි අවස්ථාවකදී ඔහු නීතිය ඉදිරියේ වරදකරු වෙනවා. නියමිත පරිදි අර්ථ සාධක අරමුදල් නොගෙවා හසු වුණොත් සේවකයාගෙන් අය කරන 8 % ක මුදලද සමඟ 20 % ක මුළු මුදලම සේව්‍යයා විසින් ගෙවිය යුතු වෙනවා පමණක් නොව ඔහු දඩ මුදලකටද යටත් කෙරෙනවා.” මධ්‍යම පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මහතකු මේ අර්බුදය සම්බන්ධයෙන් පවසන්නේ එවැන්නකි.

නව අදහස දක්වන්න