වතු කම්කරුවන්ට සාධාරණය ඉටුකරන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා | දිනමිණ

වතු කම්කරුවන්ට සාධාරණය ඉටුකරන්න රජයක් ලෙස තීන්දු තීරණ ගන්නවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර
ඇමැති රවීන්ද්‍ර සමරවීර

වතු සමාගම් තමන්ගේ සත්‍ය ආදායම සඟවනවා
- ඇමැති අජිත් පී. පෙරේරා

වතු ජනතාවට අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න නැහැ
- එම්. තිලකරාජා (එජාප)

වතු කම්කරු ප්‍රශ්නයට රජය මැදිහත් වුණේ නෑ
- මහින්දානන්ද අලුත්ගමගේ

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම සඳහා හාම්පුතුන් හා වෘත්තීය සමිති එකඟතාවකට නොපැමිණෙන්නේ නම් රජයක් ලෙස වතු කම්කරුවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා තීන්දු තීරණ ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

වතුකරයේ ජනතාව ඉතාම දුෂ්කර ජීවිතයක් ගතකරන බව පෙන්වා දුන් ඒ මහතා ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙන බව ද වතුකරයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් රජයක් ලෙස පෙනී සිටින බව ද සඳහන් කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්විය. වාර්තා, නිවේදන හා ලිපි ලේඛන යනාදිය ඉදිරිපත් කෙරිණි. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වූ කල්තැබීමේ විවාදය ආරම්භ විය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ) -

වතු කම්කරු ජනතාව තම දෛනික දීමනාව රුපියල් 1000 ක් ඉල්ලා සිටිනවා. මේ කම්කරුවන් සම්බන්ධයෙන් සිතා ආණ්ඩුව මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කළ යුතුයි. සාධාරණ ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් වතු කම්කරුවන් විරෝධතාවල නිරත වී සිටිනවා. බගවන්තලාව සිට කොළඹ දක්වා කණ්ඩායමක් පාගමනින් පැමිණියා. එම ප්‍රදේශවල කම්කරුවන් මෙම සාධාරණ වැටුප් වර්ධකය ලබාගන්න අරගල කරනවා.

4 දෙනෙකු සහිත පවුලක් සඳහා ජීවත්වීමට මසකට රුපියල් 54,999 ක් අවශ්‍ය වෙනවා. නමුත් වතුකරයේ එම අගය ඉතාම පහළ මට්ටමක තිබෙනවා. පවුලට ලැබෙන ආදායමින් සියයට 35 ක් ආහාර වෙනුවෙන් වැය කරනවා. නමුත් වතුකරයේ ජනතාවගේ මාසික ආදායමින් සියයට 51 ක් වැය කරනවා. මේ සංඛ්‍යා දත්ත සොයා බලන විට ඒ අයගේ ජීවන තත්ත්වය ඉතාම පහළ අඩියකයි තිබෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ද ඉතාම පහළ මට්ටමක තිබෙනවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

වතුකරයේ ජනතාවට රුපියල් 1000 ක දෛනික දීමනාවක් ලබාදිය යුතු බව පිළිගන්නවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ) -

වතුකරයේ සාමාන්‍ය පෙළ නොලියන සිසුන් ප්‍රමාණය සියයට 47 ක් වෙනවා. වතුකරයෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වන්නේ වාර්ෂිකව 120 ක් ‍වැනි පිරිසක්. නිවාස ප්‍රශ්නය ද වතුකරයේ ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. වතුකරයේ ජනතාවටත් රටේ අනෙකුත් ජනතාවට මෙන් සමාජ පිළිගැනීමක් තිබිය යුතුයි. ජීවන තත්ත්වය වගේම ඔවුන්ගේ සමාජ තත්ත්වය ද වර්ධනය කළ යුතු වෙනවා.

‍යම් අයෙකුගේ වැටුපේ නිර්ණායකය විය යුත්තේ එම වැටුපෙන් ජීවත්වීමට අති හැකියාව පිළිබඳවයි. එය වතු කම්කරුවන්ට පමණක් නොව ඕනෑම අයකුට අදාළ විය යුතු වෙනවා. වතු කම්කරුවන්ට අද වන විට අතිරේක ආදායම්වලට ප්‍රවේශවීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම මේ පුරවැසියන්ට සාධාරණ, යුක්ති සහගත වැටුපක් ලබාදිය යුතුයි. වතු හාම්පුතුන් 21 දෙනෙකු විසින් වතු කම්කරුවන් ලක්ෂ එකහමාරකගේ ජීවිත තීරණය කරනවා. ආණ්ඩුව ඡන්ද ගණන් කරන්න විතරයි කටයුතු කරන්නේ. මේ රටේ පුරවැසියන් අන්ත දිළිඳු බවට පත්කිරීම යුක්ති සහගත නැහැ. මේ පුරවැසියන්ගේ ජීවිතවල වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතුයි.

රුපියල් 32,040 ක අවම මූලික වැටුපක් රජය විසින් සඳහන් කර තිබෙනවා. නමුත් මේ වතු කම්කරුවන්ට එම මුදල ලැබෙන්නේ නැහැ. එම අවම මූලික වැටුප සළකන්නේ නම් වතු කම්කරුවන්ට ‍දෛනිකව රුපියල් 1281 ක් ලැබිය යුතුයි.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප) -

වතු කම්කරුවන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී කතා කරනවා. වතු කම්කරුවන්ගේ සමාජයේ ප්‍රශ්න තිබෙනවා. ඔවුනට දැන් හිමිවෙන වැටුප ආර්ථිකයට ප්‍රශ්නයක්. 1817 සිට 1917 දක්වා වහලුන් ලෙස වතු කම්කරු ජනතාව ජීවත් වුණා. 1972 වනතුරු මේ ජනතාවට විවිධ ප්‍රශ්න පැවතියා. එතෙක් බ්‍රිතාන්‍යයන් විසින් තමයි පාලනය කළේ. වතු ජනතාවට අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න නැහැ. මමත් උපාධිධාරියෙක්.

අධ්‍යාපනය ලබාගන්න අවුරුදු 40 ක් අපිට ලොකු සටනක් කරන්න සිදුවුණා. රජය විසින් සිදුකළ යුතු යුතුකම මේ ජනතාව වෙනුවෙන් ඉතිහාසය පුරාම ඉටුකර නැහැ. ඔවුන්ගේ ප්‍රශ්න මෙවැනි විවාදයකින් අවසන් කරන්න බැහැ. ජාතිවාදී කෝණයෙන් බැලිය යුතු නැහැ. සංස්ථා මඟින් පාලනය කළ කාලේ මේ වතු වෙන්කර තිබුණා. නමුත් අද වන විට සියයට 74 ක් අපනයනය කරන්නේ පහතරට කුඩා තේ වතු හිමියන්ගෙන්. උඩරට ඉන්න අයගෙන් සියයට 90 ක්ම දෙමළ අයයි.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩේකලනාදන් මහතා (දෙ.ජා.ස.) -

මෙවැනි මාතෘකාවක් අද දිනයේ සාකච්ඡා කිරීම අගය කරනවා. කම්කරුවන් ඉතාම පීඩාවට පත් ජනතාවක්, කොන්කළ ජනතාවක් ලෙස සලකා තිබෙනවා. මේ රටේ ආර්ථීකය නඟාසිටුවන්න ඔවුන් කටයුතු කරනවා. ඉන්දියාවෙන් පැමිණි අය නමුත් වතුකර ජනතාවට වෙනසක් කළ යුතු නැහැ. ඔවුන් ඉන්දියන් සම්භවයක් ඇති ජනතාව ලෙස අපි පිළිගන්නේ නැහැ. මේ ජනතාව සමඟ අපිට ජීවත්වෙන්න පුළුවන්. නමුත් ඡන්දය ලබාගන්න ඔවුන් වෙනම ජනතාවක් කියා කියනවා. කඳුකරයේ උපන් ජනතාව වවුනියාව, යාපනය ජීවත්වන්නේ නම් කඳුකර ජනතාව කියා හංවඩු ගැසීම වැරැදියි.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා -

මෙතන තිබෙන මූලික ප්‍රශ්නය වතුකරයේ ජනතාවගේ මූලික වැටුප් ප්‍රශ්නයයි. 1990 සිට වර්ෂ දෙකකට වරක් සාමුහික ගිවිසුමක් මඟින් වැටුප් සම්බන්ධ තීරණය ගන්නවා. අමාත්‍යාංශය මෙතන දී මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරනවා. ඒ වැටුප් වැඩිවීම කාලයක් පුරා කරගෙන ආවා. 2015 දී එක් වෘත්තීය සමිතියක් ඉහළ වැටුපක් ඉල්ලීම තුළ ඒ ගැටලුව උග්‍ර වුණා. අපි සාකච්ඡා වට ගණනාවක් කළා. ප්‍රමාද වී හෝ 2016 ජූනිවල දැන් තිබෙන ගිවිසුමට පැමිණියා. 2018 ජූලි වන විට එම ගිවිසුම අලුත් කළ යුතුයි.

එවිට අපි අමාත්‍යාංශය එම පාර්ශ්ව දෙකට දැනුම් දුන්නා. ඒ අනුව ගිය ඔක්තෝබර් අවසන් වන විට යම්කිසි එකඟතාවකට එන්න ආසන්න වන විට මේ රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණා. අපි එදා රුපියල් 100 ක දීමනාවක් දෛනිකව දෙන බවට ප්‍රකාශ කළා. මේ සඳහා විසඳුමකට එන්න නොහැකි වුණ නිසා 2019 අවුරුද්දට ආවා.

දෛනිකව රුපියල් 1000 ක් දීමට අද ඉල්ලීම් තිබෙනවා. දෛනික වැටුප හා මූලික වැටුප දෙකක්. ඇතැමුන්ගේ ඉල්ලීම වෙනවා ඒ රුපියල් 1000 මූලික වැටුප විය යුතුයි කියා. එතනදී ගැටලු ඇතිවෙනවා. නමුත් මේ දෙපාර්ශ්වය සමඟ කරන කතාවලදී පරස්පර අදහස් ඉදිරිපත් කරනවා. අපි වෘත්තීය සමිති හා වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කරනවා. හෙට ඉතාම තීරණාත්මක සාකච්ඡාවක් කරනවා. තව දින දෙක තුනක් ඇතුළත එකඟතාවකට එන්න නොහැකි වුණොත් විෂය භාර ඇමැති ලෙස අමාත්‍යාංශ ‍බලතල අනුව මෙය බේරුම් කරමින් වතු කම්කරු ජනතාවට සාධාරණයක් ඉටුකරන්න තීන්දු ගන්නවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩේකලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා -

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන්න ස්ථිර තීන්දුවක් ගන්නේ නැහැ. වතු කම්කරුවන් ‍තමයි මේ රටේ අඩුම පඩියක් ගන්නේ. මේ ජනතාවට ඉඩම් අයිතිය දීලා, නිවසක් දීලා, ඔප්පු දීලා වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මේ වතු කම්කරුවන් සම්බන්ධයෙන් වෘත්තීය සමිති තුනක් ගිවිසුමට අත්සන් කර තිබෙනවා. දිගින් දිගටම මේ ජනතාව රවටන්න බැහැ. මේ ආණ්ඩුවත් වගකියන්න ඕන. ඒ ජනතාව කවදාවත් හිතුවේ නැහැ ඔප්පුවක් ලැබෙයි කියලා.

මේ වෘත්තීය සමිති තුනම සාකච්ඡා කර ෆේල් වෙලා තිබෙනවා. අපි එක්ව සාකච්ඡා කරමු. මමත් එන්න කැමැතියි. මේ කම්කරුවන් රැවටීමෙන් තොරව ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කර තිබෙනවා.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා (දෙ.ජා.ස.) -

රටේ වැදගත් ප්‍රශ්නයක්ව පවතින වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම ඉතාම වැදගත් වෙනවා. නිදහස ලබාගන්නා විට අපි සියලු දෙනා කිසිදු භේදයකින් තොරව කටයුතු කළා. අවුරුදු 70 ක් ගතවී තිබෙනවා අපි නිදහස ලබාගෙන. ඉංග්‍රීසි පාලකයන්ගේ සමයේ වතුවල වැඩට ද්‍රවිඩ කම්කරුවන් ගෙන්නුවා. මැලේසියාවේ ඉන්න ද්‍රවිඩ කම්කරුවන්ගේ හා ලංකාවේ ඉන්න ද්‍රවිඩ කම්කරුවන්ගේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. මේ තත්ත්වය අපි විසඳිය යුතුයි.

ඔවුන්ගේ ශ්‍රමයට ගැළපෙන වැටුපක් දිය යුතුයි. සාමාන්‍යයෙන් කුලී කරන අයෙක් දිනකට රුපියල් 1000 ට වැඩි වැටුපක් ලබනවා. ඒ නිසා වතු කම්කරුවන්ට ද ශ්‍රමය සඳහා වැටුපක් දිය යුතුයි. මේ ක්ෂේත්‍රය අපේ රටට වැදගත් ආර්ථික යාන්ත්‍රණයක්. ඔවුන් අපේ රටට විශාල විදේශ විනිමයක් අත්කර දෙනවා. ජාතිවාදය, ආගම්වාදය, ප්‍රදේශවාදය ගැන කතා කරමින් නොසිට ඒ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිය යුතුයි. කාලයේ අවශ්‍යතාවය අනුව මේ කෙරෙහි අවධානය යොමුකළ යුතුයි.

සත්‍යය අවබෝධ කරගත යුතු වෙනවා. කම්කරු පංතිය මර්දනය කර පාලනය කිරීමේ උපාය ක්‍රමය ඉතාම පහත් ක්‍රියාවක් වෙනවා. ඒ නිසා මේ කාරණයේදී අපි වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මේ ජනතාවට සහාය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළු කුමාර් මහතා (එජාප) -

වතු ජනතාව ලංකාවට ගෙන එන විට ඉන්දියාවේ පැවැති දුප්පත්කම බලපෑවා. ඒ හරහා ඔවුන් ලංකාවට ගෙනාවා. අද වන විට ඔවුන්ගේ ආර්ථිකය හා වැටුප මත සියලු සාධක තීරණය වෙනවා.

කුඩා තේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් විසින් නිෂ්පාදනය කරනවා. නමුත් වතු කම්කරුවන් සියයට 28 ක් පමණ ඊට දායක වෙනවා. සාමුහික ගිවිසුම හරහා වතු කම්කරු දෛනික වැටුප තීරණය වෙනවා. මේ වගකීම රජයත් වෘත්තීය සමිතිත් බාරගත යුතුයි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති අජිත් පී. පෙරේරා මහතා -

මේ වතු සමාගම් තමන්ගේ සත්‍ය ආදායම සඟවනවා. මේ තත්ත්වය සොයා බැලිය යුතු වෙනවා. එහි ඇත්ත කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ ගැන සොයා බැලිය යුතු වෙනවා. රජය තුළ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බලනවා. අපි මේවාගේ හරි වැරැද්ද විමර්ශනය කරමු. මේ ගැන විගණනයක් කරමු.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජ.වි.පෙ.) –

වතු ජනතාවගේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළා. නමුත් අද වතු කම්කරු ජනතාවගේ ජීවිත හා දෛනික වැටුප ගැන කතා කරනවා. ඔවුන්ගේ ජිවිත පිළිබඳව රජය මීට වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. ඔවුන් හැම අතින්ම ඉන්නෙ ඉතාම පහළ මට්ටමකයි. මේ රටේ පුරවැසියන් භුක්ති විඳින සියලු ‍‍ෙද් නිසි පරිදි ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

අපේ රටට ආදායම් උපයා දෙන මේ ජනතාවගේ ජීවිතය යම් තරමකින් හෝ ඔසවා තැබිය යුතුයි.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එ.ජා.ප.) –

කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල තේ, රබර් ගස් ඉවත් කර කටුපොල් වගාව කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

විශේෂ ප්‍රදේශ සංවර්ධනය රාජ්‍ය ඇමැති රාධා ක්‍රිෂ්ණන් මහතා -

වතුකර ජනතාවගේ වැටුප් ප්‍රශ්නය ඔවුන්ගේ ජීවිතය හා බැඳුණු දෙයක්. මෙය අවුරුදු හතරක් තිස්සේ ඇදෙන ප්‍රශ්නයක්. වතු ජනතාවට ඉඩම් ලබාදීම කළ යුතුයි. අද වතු වැටුප් ප්‍රශ්නය ජාත්‍යන්තරයට යන මට්ටමකට පත්ව තිබෙනවා. වතු හාම්පුතුන් රුපියල් 625 ක් දෙන්න කැමති වෙලා. ඒ නිසා රුපියල් 375 ක වෙනසක් තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී මුත්තු ශිවලිංගම් මහතා (එ.ජ.නි.ස.) –

මෙම ගැටලුවේදී රජය හා වතුකම්කරුවන් එකතු වී වැඩ කළ යුතුයි. වතු අයිතිය වෙනස් වීම මේ ගිවිසුමට අදාළ නෑ. ඒවා රජය විසඳිය යුතුයි. රජයේ වතු සමාගම්වලට ලබාදීමෙන් පසුව මේ ප්‍රශ්න උග්‍ර වුණා. කුඩා තේ වතු හිමියන් වගේ අපිටත් මේ වතු වගා කරන්න පුළුවන්.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා (එ.ජා.ප.) –

අද වතු ජනතාවගේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙනවා. වතු කළමනාකරුවන්ට මාසිකව ලක්ෂ ගණන දෙනවා. පහළ නිලධාරියකුටත් විශාල මාසික වැටුපක් ලබාදෙනවා. එහෙම විශාල වැටුපක් ලබාදෙන්නේ මේ වතු ලාභ ලබන නිසයි. එහෙත් වතු කම්කරුවකුට දිනකට ලබාදෙන්නේ රුපියල් 500 යි. අද වතුකම්කරුවා තරුණ වයසේදීම මහලු වෙලා.

අපි වතු සමාගම්වලින් අහන්නේ ඇයි වතු පාඩු ලබනවා නම් නැවත රජයට නොදෙන්නේ කියලා.

(සිඩ්නි ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.)

අරවින්ද කුමාර් මහතා -

වතු සමාගම් 22 ම ලබාදුන්නොත් මේ සියලු සේවකයින්ට රුපියල් දහසක වැටුප දෙන්න පුළුවන් කියලා.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී සී. ලෝගේෂ්වරන් මහතා (දෙ.ජා.ස.) –

මේ රටේ ඉතිහාසයේ දෙමළ ජාතිය කොන් කෙරුණු ඉතිහාසයක් තිබුණා. ලක්ෂ 6 ක් පමණ ඉන්දීය වතුකම්කරුවන් 1930 දී ජීවත් වී තිබෙනවා. ඔවුන්ගේ පැමිණීම වැඩි නිසා අලුත් නීති හඳුන්වා දුන්නා. ඉන්දීය සම්භවයක් ඇති ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කරන්න කටයුතු කළා. 1949 දී ඉන්දීය ජනතාවට ප්‍රජා අයිතිය දිය යුතුයි කියා කිව්වා. මේ වතු ජනතාව රුපියල් 1000 ක දෛනික වැටුපක් ඉල්ලා අරගල කරනවා.

ඔවුන් මේ රටේ ආර්ථිකයට දැවැන්ත සේවයක් ඉටුකළා වුණත් ඔවුන් ඉතාම ශෝචනීය තත්ත්වයට පත්ව සිටිනවා. වතු කම්කරුවන්ට මූලික අයිතිවාසිකම් ලබාදිය යුතුයි. කම්කරුවන්ට හානියක් නොවන ලෙස රජය කටයුතු කළ යුතුයි.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා (එ.ජා.ප)

කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් අපි අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර තිබෙනවා. මේ වෙනුවෙන් ජනතාව එකතු වී සිටිනවා. විරෝධතා දක්වනවා. රජය විසින් පරිපාලනය කරන සමාගම් තුනක් තිබෙනවා. ඒ වගේම තවත් සමාගම් තිබෙනවා. ලක්ෂයකට ආසන්න ස්ථිර නොවන සේවකයන් සහ ලක්ෂ දෙකක් පමණ වන ස්ථිර සේවකයන් මේ ක්ෂේත්‍රයේ නිරතව සිටිනවා. පසුගිය කාලේ විවිධ තත්ත්වයන්ට මුහුණ දුන්නා.

මේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ අවධානය යොමුකළ යුතු වෙනවා. අපිට වගකීමක් තිබෙනවා. මේක අපේ ප්‍රජාවගේ ප්‍රශ්නයක්. එම ප්‍රශ්න විසඳාගන්න වසර දෙකකට වරක් අපි සාකච්ඡා කරනවා. ඔවුන් වහලුන් ලෙස හිතනවාද දන්නේ නැහැ. නමුත් අපිට දිගටම ඉන්න බැහැ. ඉවසී‍ෙම් සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. දිනකට පාර්ලිමේන්තුව රුපියල් කෝටි ගණනක් වැය කරනවා. වඩිවෙල් සුරේෂ් පෙට්‍රල් ගෙනාවේ මේ කම්කරුවන් වෙනුවෙන්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එ.ජා.නි.ස) -

වතු කම්කරු ප්‍රශ්නයට රජය මැදිහත් වුණේ නැහැ. මේ සඳහා රජය මැදිහත් විය යුතුයි. ඔවුන් දිනකට රුපියල් 1000ක වැටුපක් ඉල්ලන්නේ. වතුකර‍ෙය් ජනතාව මේ ආණ්ඩුවටයි ඡන්දය දුන්නේ. මැති ඇමැතිවරු ඉන්නවා. නමුත් මේ වැටුප් ප්‍රශ්නය විසඳගන්න බැහැ. අද අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළත් වතු සමාගම් වැටුප් වැඩි කරන්නේ නැහැ. විහිළු කරන්න එපා. හැන්සාඩ් වාර්තාව වතු සමාගම්වලට යවාව වැඩක් නැහැ.

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ප්‍රායෝගිකව කටයුතු කළ යුතු වෙනවා. මටත් පාර්ලිමේන්තුවට එන්න වතු ජනතාව ඡන්දය දී තිබෙනවා. අපි සියලු දෙනා එක්ක මේ වෙනුවෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. නමුත් මේ අය මේකට කිසි දෙයක් කරන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවෙන් වැටුප් ගන්න එක නවත්තමු. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්නේ නැතිනම් අපි අපිට දෙන වැටුප නොගෙන ඉමු. ඒ නිසා අපි මේ ගිවිසුම අහෝසි කරන්න පියවර ගතයුතු වෙනවා.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ) -

වතුකම්කරුවන්ගේ රුපියල් 1000ක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාව දිස්ත්‍රික් මට්ටමින් කතා කරනවා. නමුත් දිස්ත්‍රික් ලෙස වෙන් කිරීම වැරැදියි. ඇතැම් අය වතුකම්කරු ජනතා නියෝජිතයින් ලෙස මෙහිදී කතා කරනවා. මේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වියයුතු වෙනවා. වතු කම්කරුවන් පාරට බැස තිබෙන්නේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදය සමඟ නොවේ. මේ අරගලය ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීමේ සටනක් වියයුතු වෙනවා. තමන්ගේ දිස්ත්‍රික්කයේ ඡන්ද පදනමින් මේ ප්‍රශ්නය දෙස බැලිය යුතු ‍නැහැ.

පුළුල් පෙරමුණක් තුළ එම ජනතාවගේ අයිතිවාසිකම් නොලැබුණොන් ඔවුන් විසින් දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මේ ඉල්ලීම ඉතාම සාධාරණයි.

(මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මුලසුනට පැමිණියේය.)

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (එ.ජා.ප) -

මේ කම්කරුවන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල සේවයක් කරනවා. එවැනි පිරිසකට නොයෙක් ප්‍රශ්න තිබෙනවා. මේ වතු ජනතාව තමන්ගේ අයිතීන් දිනාගන්න විවිධ අරගල කරනවා. වැටුප් වැඩි කිරීම ආදිය සිදුවුණේ විවිධ අරගල තුළින්. විවිධ අරගල කළත් ඔවුන් රටට විශාල සේවයක් කරනවා.

වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි රජයෙන් ඉල්ලීම් ගණනාවක් කරමින් සිටියා. ඒ වෙලාවෙදි තමයි රටතුළ දේශපාලන අස්ථාවර බව ඇතිවුණේ. ඒ අතරතුර ඇතැම් වෘත්තිය සමිති ගණනාවක් මෙයින් වාසි ගන්නට උත්සාහ කළේ. වතු ජනතාවගේ වැටුප් ප්‍රශ්නය නෙවෙයි ඔවුන්ට ගැටලු රැසක් තිබෙනවා. ඔවුන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමට අගමැතිවරයා මේ වන විටත් මැදිහත්ව තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා -

ලෝකය තුළ මෙවැනි ප්‍රශ්න විසඳන්නෙ සාමුහික ගිවිසුම් අනුවයි. ඒව ගැන නොදන්න අය මේ සාමුහික ගිවිසුම විසිකරන්න කියනවා. 1992 දී වතු සමාගම්වලට දුන්න වතු ප්‍රමාණය අද අඩකින් අඩුවෙලා. නමුත් වතු කම්කරුවන්ට තිබෙන තර්ජන වැඩිවෙලා.

වතු සේවක වැටුප් ප්‍රශ්නය වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වී තිබෙනවා. වතු සේවකයන් දෛනික වැටුප ලෙස ඉල්ලන්නෙ රුපියල් 1000ක්. මේ සේවකයෝ ඉල්ලන්නෙ වැටුප් වැඩිකරන ලෙසට. 1992 සිට වැටුප් පිළිබඳ තීරණය කරන්නෙ සාමූහික ගිවිසුම් මඟින්. ලංකා කම්කරු කොංග්‍රසය ලෙස අපි මේ ප්‍රශ්නය වෙනුවෙන් සෘජුව මැදිහත් වෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රිධරන් මහතා (දෙ.ජා.ස) -

අද මෙම කඳුකරයේ සටන කොළඹ දක්වා විහිදී යනවා. මොවුන්ගේ මේ සටන මාළිගා හදන්න නෙවෙයි. තමන්ගේ බඩ වියත රැක ගැනීමටයි මේ උත්සාහය. අද සුළු සේවකයකුගේ දෛනික වැටුප රුපියල් 2000ක්. එහෙත් රුපියල් 500ක වැටුපක් ලබන මොවුන්ගේ තේ දලු වතු කන්කානිවරුන් කොල්ල කනවා.

දිගම්බරන් ඇමැතිතුමා වතු ජනතාවට නිවාස යෝජනා ක්‍රම ඇති කළා. එය අප අගය කළ යුතුයි. නමුත් මොවුන්ට පර්චස් 7යි ලැබෙන්නේ. එය දහයක් කරන්න කියලා ඉල්ලනවා. අද වතුකරයෙන් ඇමැතිවරු, මන්ත්‍රීවරු බිහි වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පවා බිහිවෙලා තිබෙනවා.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා -

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කම්කරු ඇමැතිවරයා වැවිලි කර්මාන්ත ඇමතිතුමා සමඟ අද (25) පැවැත්වෙනවා. නවීන් දිසානායක ඇමැතිතුමා මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අගමැතිතුමා මේ ගැන නිතර කතා කරලා තිබෙනවා.

එම නිසා අද විවාදයේදී සාකච්ඡා වූ කරුණු මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හෙට සාකච්ඡාවේදී මා අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට යළි රැස්වේ.

නව අදහස දක්වන්න