වතු සංවර්ධන මණ්ඩලය මෝටර් රථ ධාවනශූර ඩිලන්තට නඩු දැමීමට යයි | දිනමිණ

වතු සංවර්ධන මණ්ඩලය මෝටර් රථ ධාවනශූර ඩිලන්තට නඩු දැමීමට යයි

චන්ද්‍රිකා පෙරේරා

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ප්‍රකාශ හේතුවෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කීර්ති නාමයට සිදු වූ හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා මාලගමුව මහතාට විරුද්ධව නඩු පැවරීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය තීරණය කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ ( 28) කොළඹ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ටී.බෙවන් පෙරේරා මහතා පැවසුවේ දීර්ඝ කාලීන බදු පදනම මත මාලගමුව මහතා කටයුතු කරන බදු සමාගම ලබාගෙන තිබුණු නාවලපිටියේ පිහිටි අක්කර 900ක ඉඩම පාඩු ලබන තත්ත්වයට පත්කර සේවක වැටුප් හා දීමනා ලබාදීමට නොහැකි තත්ත්වයට පත්කර තිබෙන බවය.

ඒ අනුව නීති ප්‍රකාරව එම ඉඩම නැවත පවරා ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් මාලගමුව මහතා සිදුකරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හානිවන අන්දමින් කටයුතු කරන බව පෙන්වා දුන්නේය.

මෙසේ අසත්‍ය ප්‍රචාර කිරීම් හා පාඩු සිදුකිරීම මෙන්ම එම වත්තේ පස් කැපීම හා ගස් කපා දැමීම සම්බන්ධයෙන්ද ජනතා වතු සංවර්ධන මණ්ඩලය නීති මඟින් කටයුතු කිරීමට තීරණයකර ඇති බව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ වන විට තමන්ට විරුද්ධව ඩිලන්ත මාලගමුව මහතා සිදු කළ පැමිණිල්ලක් මත පොලිසිය මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ගේන් සාක්කි ලබා ගත් අතර එවැනි සිද්ධියකට තමන් කිසිසේත්ම සම්බන්ධ නැති බවත් මේ ඉඩම පවරා ගැනීම පෞද්ගලික අවශ්‍යතාවක් අනුව සිදුකළ කටයුත්තක් නොවන බවත් සඳහන් කෙළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් බෙවන් පෙරේරා මහතා මෙසේ ද සඳහන් කෙළේය.

වර්ෂ 2003දි මේ ඉඩම ලබාගත් කිරිබත්ගොඩ පදිංචි අයකු පසුව එම ඉඩමේ නඩත්තු හා කම්කරු වැටුප් නිසි ලෙස ගෙවා ඇති බව හඳුනා ගෙන තිබෙන අතර පසුව ඩිලන්ත මාලමුව නමැත්තා ඇතුළු අයට ලබාදීමෙන් පසු ඉඩමේ නඩත්තු කටයුතු නිසි පරිදි නොකිරීම, ඇතුළු රුපියල් හත් කෝටියකට මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අභ්‍යන්තරව ජනතා වතු සංවර්ධන මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන අතර ඒ අනුව සිදුකර ඇති පාඩුව කොතෙක් ද යන්න ඉදිරියේදි නිසි ගණනය කිරීමක් කිරීමට හැකියාව තිබෙනවා.

මෙම ඉඩම පාඩු ලබල තත්ත්වයේ තිබෙන බැවින් පවරා ගැනීමෙන් පසු කම්කරු වැටුප් හා දීමනා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහළොවක පමණ මුදලක් ජනතා වතු සංවර්ධන අධිකාරිය මඟින් ගෙවා තිබෙනවා.

මේ නිසා එම ඉඩම නැවත ඉක්මනින් බදු දීමට තීරණය කළා. ඒ වන විට බදු ඉඩම් ඉල්ලා ලැබී තිබුණු 2000ක පමණ ඉල්ලුම් පත්‍රවලින් වැඩිම ඉල්ලුමක් තිබුණු සුදුසුකම් ඇති , සමාගමකට කලින් දී තිබුණු මුදලට වඩා 50%ක වැඩි මුදලකට ලබා දීමට කටයුතු කළා. මේ අනුව අවුරුදු දෙකක බදු මුදල් ගෙන වසර තිහකට බදු දීමට තීරණය වුනා.

මේ අනුව නිලන්ත මාලගමුව මහතා මේ ඉඩම ඔහුගෙන් බලෙන් පවරා ගත් බවට වාණිජ අධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් පවරා තිබුණා. ශ්‍රේෂ්ඨාධිරණය මේ පවරා ගැනීම නිත්‍යානුකූල බවට තීන්දු කළ අතර වාණිජ අධිකරණයේ ගොනුව තිබුණු නඩුව නිෂ්ප්‍රභා කළා. නමුත් මාලගමුව මහතා මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ කරමින් ජනතා වතු සංර්ධන මණ්ඩලයේ කීර්ති නාමයට හානි වන පරිදි හැසිරීම හේතුවෙන් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා ඔහුට විරුද්ධව නඩු පැවරීමට අප නීති අංශය තීරණය කර තිබෙනවා.

මේ ඉඩම පාඩු ලබන තත්ත්වයට පත්වී තිබුණ බැවින් මාලගමුව මහතාගේ සමාගමෙන් නැවත පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයකින් තීරණය කළේ මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාගේ සමයේයි. එම කාලයේ නීති ප්‍රකාරව ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත පවරා ගැනීමට උත්සහ කළත් එය මෙම පුද්ගලයාගේ ක්‍රියා හේතුවෙන් නොහැකි වී තිබුණා. ඒ අනුව එම අමත්‍ය මණ්ඩල තීරණය අනුවයි වර්තමාන ආණ්ඩුව පත් වීමෙන් පසු නැවත පවරා ගැනීම සිදු කෙරුණෙ.

ජනතා වතු සංර්ධන මණ්ඩලයේ නීති කළමනාකරු නීතිඥ අසේල රාජපක්ෂ මහතා -

අදාළ ඉඩම ලබාගත් ඩිලන්ත මාලගමුව හා එම සමාගමේ කළමනාකාරීත්ව අතර ගැටලුවක් ඇති වී තිබුණා. එහි කොටස්කරුවකු වන ජපන් ජාතිකයකු හා මාලගමුව මහතා අතර වූ යම් ගැටලුවක් හේතුවෙන් ජපන් ආයෝජකයා ද මොහුට විරුද්ධව නඩුවක් පවරා තිබෙනවා.

මෙම ඉඩම විධිමත් ලෙස නඩත්තු නොකිරීම, කම්කරු වැටුප් හා වෙනත් දීමනා ගෙවීම පැහැර හැරීම, ආදී ගැටලු හේතුවෙන් මෙම සිද්ධිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වූ අතර ඒ අනුව යි අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් නැවත පවරා ගැනීමට අනුමැතිය ලැබී තිබෙන්නේ. මේ වන විට මේ සඳහා අදාළ පුද්ගලයා ඇතුළු සමාගම ගෙවීමට ඇති හිඟ මුදල රුපියිල් මිලියන 15ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙන අතර තවදුරටත් අභ්‍යන්ත පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. මේ ඉඩමේ අනවසර ලෙස පස් කැපීම හා ගස් කැපීමත් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිතය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ පුද්ගලයාට විරුද්ධව කටයුතු කිරීමට පියවර ගැනීමට පියවර ගනිමින් තිබෙනවා.

නව අදහස දක්වන්න