ජාතික ආණ්ඩුවකට වැඩිම ආසන ඇති පක්ෂය අනෙක් පක්ෂ-ස්වාධීන කණ්ඩායම් හා එක්විය යුතුයි | දිනමිණ

ජාතික ආණ්ඩුවකට වැඩිම ආසන ඇති පක්ෂය අනෙක් පක්ෂ-ස්වාධීන කණ්ඩායම් හා එක්විය යුතුයි

දහනම වැනි සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පක්ෂය තවත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමඟ එකතු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය..

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහාචාර්යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

කැබිනට් නොවන අමාත්‍යවරු තුන් දෙනෙක් පත්කර ගන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය සැරසෙනවාලූ තව දේශපාලන පක්ෂයක් සමඟ සම්මුතියකට ගිහින් ජාතික ආණ්ඩුවක් හදන්න. එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මේ හදන්නේ 19 වැනි සංශෝධනයේ පනවා තියෙන සීමාවෙන් මිදෙන්නයි. කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු සංඛ්‍යාව 30යි. කැබිනට් නොවන රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව ඔක්කොම 70යි. මේ සීමාවෙන් මිදීමේ වුවමනාවයි තියෙන්නේ.

මේ රජයට සම්බන්ධ සුළු පක්ෂ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ අලිය සලකුණෙන්. ඒ පක්ෂ සමඟ සන්ධානගත වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා කියන පදනම මත මේ සීමාව ඉක්මවා යන්න බැහැ. ඒ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බිලීබාගෙන රජයට එකතු කර ගැනීමෙන් මේ සීමාව ඉක්මවා යන්නත් බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීරණයක් අරගෙන රජයට එකතු වුනොත් ජාතික ආණ්ඩුවකට යන්න පුළුවන්. ඒ වගේම 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සශෝධනයේ තියෙන්නේ විශාලතම ආසන සංඛ්‍යාවක් තියෙන පක්ෂය තව පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එක්ක එකතු වීමෙන් ජාතික ආණ්ඩුවක් හැදීමේ හැකියාව තියෙන බවයි. එක පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් එකතු වීමෙන් පමණක් ජාතික ආණ්ඩුවකට යන්න බැහැ.

ජාතික ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපේ රටේ කවදාවත් නොදුටු විදියේ පරිහානියක් ඇස් පනාපිට පේන්න තියෙනවා. අපේ පක්ෂය රජයේ මේ විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව වැඩපිළිවෙළක් රට පුරා වගේම පාර්ලිමේන්තුවේත් දියත් කරනවා. 2018 වර්ෂයේ හොරොයින් කිලේ 749ක් අල්ලා තියෙනවා. ඒවාට සම්බන්ධ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 49900ක්. එයින් පෙන්නේ හොරොයින් ප‍්‍රශ්නය මොනතරම් දුරදිග ගිහින්ද කියලයි. නව වසරේ තත්ත්වය ඊටත් වඩා භයානකයි. ජනවාරි මාසය අවසන් වෙන්නත් පෙර රුපියල් එක්කොටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා ගංජා වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් හමු වුණා.

කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක තිබිලා අති විශාල වටිනාකමකින් යුක්ත හොරොයින් තොගයක් හමු වුණා. පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්, ඩෙටනේටර් 100ක්, නයිට්රේට් ඇසිට් ලීටර් 20ක් හමු වුණා. මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන පවත්වන අවස්ථාවේ ජංගම දුරකතන පණිවිඩ මගින් මෙයට කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ බව දැන ගත්තා.

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මේ නිසා තීරණයක් අරන් තියෙනවා සියලුම ගිනි අවි බලපත‍්‍ර අහෝසි කර අලුත් බලපත‍්‍ර නිකුත් කරන්න. දැනට ගිනි අවි 12000ට වඩා රටේ භාවිතා වුනත් නිත්‍යානුලව සාධාරණ හේතුවක් මත පාවිච්චි වන ගිනි අවි තිබෙන්නේ 1000ක් පමණයි කියලා ආරක්ෂක ලේකම්වරයා කියනවා. ඒ අනුව මේ රටේ පාවිච්චි වෙන ගිනි අවිවලින් 80%ක් නිත්‍යානුකූල අරමුණ සඳහා භාවිතා වන්නේ නැහැ. මේ සා විශාල ලෙස හොරොයින්, ගංජා, නීති විරෝධී ගිනි අවි,පාතාලය ක්‍රියාත්මක වෙනවා නම් ආරක්ෂක ලේකම්වරයාට දින නවයක රැඳවුම් නියෝගයක් මත බන්ධනාගාර ගත කරන්න හැකියාව තියෙනවා. රටේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන මේ නිතිමය ප්‍රතිපාදන භාවිතා කරලා තියෙනවා. නමුත් මේ සුළුතර රජය දෙමළ සන්ධානයේ බලපෑම මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර ඒ වෙනුවට දියාරු පනතක් ආදේශ කරන්න උත්සාහ කරනවා.

ත්‍රිවිධ හමුදාවන්ගේ ධෛර්යය හා උත්සාහය නැති කිරීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. ඒ අතරේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක් කරමින් ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් එකොළොස් දෙනෙකුට බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් නඩු පවරන බව සඳහන් කළා. රණවිරුවන් කියන්නේ යුද්ධයේ පදක්කම් ලැබූවන් පමණයි කියන ස්ථාවරයේයි ආරක්ෂක ලේකම්වරයා ඉන්නේ. අපි එයට එකඟ වෙන්නේ නැහැ.

ජිනීවා නගරයේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට සැරසීමක් විදියටයි අපි ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය දකින්නේ. එතුමා ඩයස්පෝරාවට විවෘත ආරාධනාවක් කරමින් කියනවා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට එරෙහිව සාක්ෂි තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා -

වගාවකට කෘමින් ඇතුළු වුණාම වගාව නතර කරන එක ද රජයක වගකීම? යාපනයට ආවා ඇවිත්. ආවා හින්ද උතුරු පළාත වහනවාද? හෙට අනිද්දා එළවළුවලට වානා කියලා සතෙක් ආවොත් එළවළු නතර කරයි. පලතුරු කන්න ලේනා එනවා. ලේනා ආවම පලතුරු නතර කරයි. අන්තිමට රටේ පලතුරු නැහැ. එළවළු නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න බයයි. මේ ආණ්ඩුව විකල්පයක් නැති ආණ්ඩුවක්. මේ භූමියට පිනක් තිබිලා තියෙනවා.

දළඹුවෙක් මරා ගන්න බැරි ආණ්ඩුවක් රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද? අපි දැක්කා ගොවි මහත්මියක් සේනා දළඹුවා විනාශ කරන්න දෙයක් හොයාගත්ත හැටි.

එජාපයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මේ දවස්වල තවත් නාට්‍යකට තිර රචනය කරමින් සිටිනවා. අපි ජාතික ආණ්ඩුවකට සාකච්ඡා කරනවාලූ. මාලූවාට වතුර ඕනේ. සොල්දාදුවට තුවක්කුව ඕනේ. මේ ආණ්ඩුවට ඇමැතිකම් නැතිව බැහැ.

ජාතික ආණ්ඩුවක් කියන එක නම් මේ රටේ මිනිස්සුන්ට අප්‍රසන්නයි. අවුරුදු හතරක් ජාතික ආණ්ඩුවක් රටට කරපු විනාශය මේ මිනිස්සු දැකලා තියෙන්නේ. ආණ්ඩුවේ නීච වුණු ග්‍රහයාට තවත් ග්‍රහයා නීච වුණු කට්ටියක් හිටියොත් ජාතික ආණ්ඩුවකට යයි. 19 වැනි ව්‍යවස්ථාවේ හැටියට එවැනි ජාතික ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද කියන දේ අපි වගකීමෙන් බලා සිටිනවා.

නව අදහස දක්වන්න