කුඩු ගැන අලුත් කතාව! | දිනමිණ

කුඩු ගැන අලුත් කතාව!

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් අලුත් පරිච්ඡේදයක් ලියා තබන්නට කරුණු - කාරණා තිබේ. අපගේ පිළිගැනීමට අනුව අලුත් තත්ත්වය උදාවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය නිවාරණයට කෙළින් සිටගැනීමත් සමඟ ය. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද මත්ද්‍රව්‍ය ජාවාරම හා පොලීසිය අතර සම්බන්ධතා තිබිණි. මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලකයා අතර සම්බන්ධතා තිබිණි. එලෙස ම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා විශාල ජාලයක් ඇතිකරගැනීමට ද ජාවාරම්කරුවෝ සමත් වූහ. එම ජාලය ජාත්‍යන්තරය දක්වා විහිදී - පැතිරී ගිය එකකි. ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වෙමින් මේ එකිනෙක සම්බන්ධතා බිඳ හෙළමින් සිටින බව අපට දකින්නට ලැබේ.

මීට දින දෙකකට කලින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී සම්මාන උත්සවයක් පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපතිවරයා ය. ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණයට එරෙහිව ගෙනයන සටනේ වැදගත් තොරතුරු රැසක් එම උත්සවයේ දී හෙළිදරව් විය. මේ උත්සවය සංවිධාන කර තිබුණේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවි හිමියෙන් ක්‍රියාකළ පොලිස් නිලධාරීන් ඇගයීම සඳහා ය. එහි දී පොලිස් නිලධාරීන් එක්දහස් හත් දෙනකු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. මෙය සිදුවිය යුත්තකි. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන්කිරීම ජීවිතය පරදුවට තැබීමකි. ලෝකයේ ඇතැම් රටවලින් වාර්තා වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කරන පොලිස් නිලධාරීන්ගේ දුක්බර කතාන්දර ය. ශ්‍රී ලංකාව ඒ අතින් ඉදිරි පියවරක් තබා ඇත.

මේ උත්සවයේදී ජනාධිපතිවරයා ප්‍රධාන දේශනය පවත්වමින් රටට හෙළිදරව් කළ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුව තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශනයට අනුව අද රටට බලපෑම් කරන ප්‍රධාන ත්‍රස්තවාදයක් හැටියට මත්ද්‍රව්‍ය ජාවාරම හැඳින්විය හැකි ය. මේ ජාවාරම පරාජය කිරීම සඳහා ගෙනයන වැඩසටහන යුද්ධයක් ලෙස සඳහන් කළ ජනාධිපතිවරයා එම යුද්ධය සඳහා නොබියව නායකත්වය සපයන බවද කියා සිටියේ ය. එය ඉතා වැදගත් ප්‍රකාශයකි. රටේ නායකයා ජාවාරම්කරුවන්ගේ අතකොළුවක් වන්නේ නම්; මේ උවදුර කිසිසේත් ම පිටුදැකිය නොහැකි ය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් පවා නීතිය හමුවට ගෙනෙන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. එය තීරණාත්මක ය.

ජනාධිපතිවරයා මේ උත්සවයේදී පොලිස් නිලධාරීන්ට සම්මාන හා සහතික ලබා දෙමින් පෙන්වා දුන්නේ මේ නිලධාරීන් කුඩු ටොන් ගණනින් අත්අඩංගුවට ගන්නේ ද, ජාවාරම්කරුවන් කාණ්ඩ පිටින් අත්අඩංගුවට ගන්නේ ද කිසිදු නූතන පහසුකමක් නැති ව බව ය. පිලිපීනය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නූතන තාක්ෂණය යොදාගන්නා රාජ්‍යයෙකි. පිලිපීනය එම නූතන ක්‍රමවේද භාවිතයෙන් නොනැවතී ජාවාරම්කරුවන් මරණීය දණ්ඩනය තෙක් රැගෙන යෑමට අවශ්‍ය නීති සම්පාදනය කර තිබේ. ශ්‍රී ලංකාව ද අනුගමනය කළ යුත්තේ එබඳු ක්‍රමවේදයකි. ජනාධිපති කාර්යාලය සඳහන් කරන පරිදි මත්ද්‍රව්‍ය හඳුනාගත හැකි නූතන මෙවලම් පිටරටින් ගෙන්වීමට දැනට ම කටයුතු සම්පාදනය වෙමින් පවතී. එය සැලැකිය යුතු ජයග්‍රහණයකි.

ගෙවී ගිය දේශපාලන අතීතය දෙස හැරී බැලුවහොත් පොලිස් නිලධාරියාට සිය රාජකාරිය ස්වාධීන ලෙස කරගෙන යෑමේ පසුබිමක් තිබුණේ නැතැ’යි කිව හැකි ය. දේශපාලන බලපෑම් එතරමට ඉහළ ගොස් තිබිණි. ප්‍රාදේශීය දේශපාලකයන් ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ළඟට ගොස් තර්ජනය කළා පමණක් නොව; ඔහු පැය කිහිපයක් යෑමට පෙර ඈත පළාතකට මාරු කර යැවූ බව ද අපට මතක ය. එයින් නොනැවතී පොලිස් ස්ථානාධිපතිගේ පුටුවේ වාඩි වී පළාතේ නඩු - හබ විසඳන්නට උත්සුක වූ ප්‍රාදේශීය දේශපාලකයෝ ද සිටියහ. මේ අශෝභන තත්ත්වය වෙනස් කළ බව ජනාධිපතිවරයා කියයි. ඔව්! එය සත්‍යයෙකි. දැන් ඉහත සිදුවීම් වාර්තා නොවේ.

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ආසියාවේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙස ප්‍රකට වූවා පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කරන පුද්ගලයන් බවට ද පත් වී තිබිණි. අප නිදහස් විය යුතුව තිබුණේ එම උගුලෙන් යැයි කිව හැකි ය. මත්ද්‍රව්‍ය ජාවාරම ජයට කෙරෙන රාජ්‍යයන් බොහොමයක ජාතියේ ආදායම් මාර්ගයක් ලෙස ද එය පවතී. ඉන් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම කෙතරම් ශක්තිමත් ද යන්න ය. මේ ජාවාරම සමඟ රටවල්වලට සිදුවන විනාශය නතර කළ හැක්කේ ද එම රටවල නායකයන්ට පමණි.

නායකයන් හරි කෙළින් සිටගතහොත් මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව; තවත් බොහෝ අර්බුද ඉතා සාධනීය ලෙස විසඳාගත හැකි ය. අවශ්‍ය වන්නේ නායකයන්ගේ කැපවීම, නිවැරැදි වැඩසටහන් සකස් කිරීම හා ඊට අදාළ කාර්ය මණ්ඩල නිසි අයුරින් පවත්වා ගැනීම ය. කාර්ය මණ්ඩල නිසි අයුරින් පවත්වා ගැනීම යන්නෙන් අදහස් ගණනාවක් ගම්‍ය වෙයි. එක අදහසක් වන්නේ කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් හා නිදහස සපයා දිය යුතු බව ය. තව අදහසක් වන්නේ ඔවුන්ගේ සේවය අගය කළ යුතු බවය. එවැනි ක්‍රියාදාමයක් නැතිව මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව වෙනත් කිසිදු ජාවාරමක් ද පිටුදැකිය නොහැකි ය.

මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ බොහෝ අංශ ඉතා ප්‍රබෝධවත් ලෙස රාජකාරියෙහි යෙදෙන ආකාරයක් දකින්නට ලැබේ. රාජ්‍ය නායකයාගේ මැදිහත්වීම නිසා එවැන්නක් සිදුවීම ස්වාභාවයකි. වැඩි කලක් යෑමට පෙර ශ්‍රී ලංකාවෙන් කුඩු අතුගා දැමිය හැකි යැයි බලාපොරොත්තුවක් තබා ගත හැකි ය.

 

නව අදහස දක්වන්න