රුමේ­නි­යාවේ පිහිටි ඩ්‍රැක්‍යුලා මාළි­ගය | දිනමිණ

රුමේ­නි­යාවේ පිහිටි ඩ්‍රැක්‍යුලා මාළි­ගය

කවිඳු වීරරත්න

අතීතයේ රජවරුන් බොහෝමයක් විසූවත් අපේ රටේ දකින්නට ලැබෙන්නේ රජ මාළිගාවල නටබුන් පමණයි. නමුත් යුරෝපයේ නම් බොහෝමයක් මාළිගා ඉතාමත් හොඳ තත්ත්වයෙන් සංරක්ෂණය වී තිබෙනවා.

මේ අතරට ඇතුළත් වන ජර්මනියේ හා රුමේනියාවේ දැවැන්ත මාළිගා සුවිශේෂීයි.

නැගෙනහිර යුරෝපයේ පිහිටා තිබෙන රුමේනියාව තුළ අතීතයේ සිට පැවත එන මිථ්‍යා කතා බොහෝමයක් පවතිනවා.

අඳුරු වනාන්තර වලින් වැසී තිබෙන ට්‍රාන්සිල්වේනියාවේ පිහිටා තිබෙන බ්‍රෑන් මාළිගාව ලෝකයේම ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඩ්‍රැක්‍යුලා (Dracula) මාලිගය ලෙසයි. ඒ අන් කිසිවක් නිසා නොව බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැක්‍යුලාකෘතියේ සඳහන් වන ඩ්‍රැක්‍යුලාගේ නිවහන වන්නේ මෙම බ්‍රෑන් මාළිගය වීම නිසායි.

වර්ෂ 1897 එංගලන්තයේදී එළිදැක්වුණු ‘ඩ්‍රැක්‍යුලා’ කෘතිය ලේ උරාබොන පිසාච සිටුවරයකු වටා ගෙතී තිබෙනවා. අයර්ලන්ත ජාතිකයකු වන කතුවරයා කිසි දිනක රුමේනියාවට සංචාරය කර නොමැති නමුත් කෘතිය පුරාවට ඩ්‍රැක්‍යුලා සිටුවරයාගේ මාළිගය පිළිබඳව කර තිබෙන විස්තර ඉතාමත් පැහැදිලිව බ්‍රෑන් මාළිගයට සමාන නිසා මෙය ඩ්‍රැක්‍යුලා මාළිගය නමින් ප්‍රසිද්ධ වී තිබෙනවා.

ලේ උරාබොන පිසාචයකු පිළිබඳ කිසිඳු පුරාවෘතයක් බ්‍රෑන් මාළිගය හා සම්බන්ධ නොවූවද මෙම ප්‍රදේශයේ අතීතයේ විසූ ජනයා දිවා කල සාමාන්‍ය ජීවිතයක් ගත කරන රාත්‍රී කාලයට අයහපත් ආත්මයක් බවට පත්වන මිනිසුන් කොට්ඨාසයක් ජීවත් වන බව විශ්වාස කර තිබෙනවා.

මීට අමතරව බ්‍රෑන් මාළිගය හා සුළු වශයෙන් සම්බන්ධ වී තිබෙන රුමේනියානු සිටුවරයකු වන ව්ලැඩ් ඩ්‍රැක්‍යුල්ගේ පුත්‍රයා වන ව්ලැඩ් ටෙපෙස් ඩ්‍රැක්‍යුලා නම් සිටුවරයාගේ චරිතය හා නාමය බ්‍රෑම් ස්ටෝකර් තම කෘතිය සඳහා යොදාගත්තද, ඔහු ඩ්‍රැක්‍යුලා කෘතියේ සිටින සිටුවරයා හා සැබෑ ඩ්‍රැක්‍යුලා සිටුවරයා සමාන බවට ඉඟි කර නැහැ.

ඩ්‍රැක්‍යුල් යන නාමය යක්ෂයාගේ පුත්‍රයා හා පරම්පරාවේ අයහපත් පුරුකක් හැඳින්වීම වැනි අවස්ථාවන්ට භාවිතා කර තිබෙන අතර ඉහත කී සිටුවරයාද ඉතාම දුෂ්ඨ ගති පැවතුම් වලින් හෙබි පාලකයකු බව පිළිගැනෙනවා.

කපාතියන් කඳුවැටියේ පිහිටා තිබෙන මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් මෙම ගොඩනැගිල්ල මාළිගාවකටත් වඩා බලකොටුවක් ලෙසින් සැලකිය හැකි වන අතර වර්තමානයේ එය කෞතුකාගාරයක් වනවා. ක්‍රි.ව. 1377 සිට 1388 දක්වා කාලය තුළ ඉදිකර තිබෙනා මෙම බළකොටුව තුළ කාමර 57ක් තිබේ.

පසුකලක මෙයි මේරි රැජිනගේ නිවහන (ක්‍රි.ව. 1920 සිට) වී තිබෙන අතර ඇය මියගිය පසු ඇයගේ දියණිය වන ඉලීනා කුමරිය දෙවැනි ලෝක යුද්ධය සමයේ මෙය රෝහලක් ලෙසින් භාවිතා කර තිබෙනවා. වර්ෂ 1948 දී කොමියුනිස්ට්වරුන් මෙම බලකොටුව අයිතිකරගෙන ඇති අතර නැවතවරක් ඉලීනා කුමරියගේ පුත්‍රයා වෙත ලැබී තිබෙන්නේ 2006 වසරේදීය.

දිවා කාලයට තුරු මුදුන් අතරින් මනරම් ලෙසින් දිස්වන මෙම මාලිගය රාත්‍රී කාලයට නම් ඉතාමත් රුදුරු පෙනුමක් ලබාගන්නේ ස්ටෝකර්ගේ ඩ්‍රැක්‍යුලා කතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට මෙනි. 

නව අදහස දක්වන්න