යුද්ධයකට මුහුණදෙන අන්දමින් සේනා දළඹුවා මඬින්න කැපවන්න | දිනමිණ

යුද්ධයකට මුහුණදෙන අන්දමින් සේනා දළඹුවා මඬින්න කැපවන්න

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කැර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී ය.

මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවමින් අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අැමැති අජිත් මාන්නප්පෙරුම මහතා සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයකු එම බලකායට ඇතුළත් කර ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ කෘෂි පර්යේෂණ අංශවල සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උවදුර මැඩලීම පිළිබඳ ගොවි සංවිධාන හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

අැමැතිවරුන් වන පී.හැරිසන්, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බී.එම්.එස්. දිසානායක, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න