ආර්ථිකයට වැදගත්...! | දිනමිණ

ආර්ථිකයට වැදගත්...!

ජාතික ආර්ථිකයට අතිශයින් ම වැදගත් වන තීරණ කිහිපයක් පිළිබඳ තොරතුරු ඊයේ පුවත්පත්වල පළ කර තිබිණි. ඒවා රජය ගනු ලැබූ සාධනීය පියවර ලෙස ද හැඳින්විය හැකි ය. එක තීරණයක සඳහන් වන්නේ, විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් මිලියන දහය දක්වා ණය මුදලක් ලබා දෙන බව ය. තව තීරණයක සඳහන් වන්නේ, ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් ලබා දෙන බව ය. මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස් ව්‍යාපෘතිය යටතේ ය. තවත් තීරණයක සඳහන් වන්නේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් හත්සිය පනහ තෙක් වැඩි කරන ‍බව ය. ඉහත තීරණ තුන ම අපේ ජාතික ආර්ථිකයට සාධනීය බලපෑමක් කරනු ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන් ආකාර දෙකකින් අපේ ආර්ථිකයට හොඳ දායකත්වයක් ලබා දෙයි. පළමු ආකාරය වන්නේ, රටට විදේශ විනිමය ඉපැයීමට ඔවුන් පංගුකාරීත්වයක් දැක්වීම ය. දෙවැනි ආකාරය වන්නේ, කුටුම්භ ආර්ථිකය ඉහළ දැමීමට ඔවුන් විශාල දායකත්වයක් සැපයීම ය. අපේ පුරවැසියන්ගෙන් ලක්ෂ ගණනක් පිටරටවල සේවය කරති. මේ අයගේ එක් සිහිනයක් වන්නේ, පහසුකම් සහිත ලස්සන නිවෙසක් ඉදිකර ගැනීම ය. එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට උක්ත ණය මුදල හේතු - සාධක වනු ඇත. ණය ගෙවීම සඳහා වසර පහළොවක කාලසීමාවක් ලබා දී ඇත. සහන කාලයක් ලෙස වසර දෙකක් ද ලබා දී තිබේ.

ර‍ටේ කුලී රථ ‍සේවාවෙහි විධිමත්භාවයක් නැත. මෙහි එන වෘත්තිකයාට ස්ථාවර ආදායමක් නැත. වැටුප් වාර්තාවක් නැත. වෙනත් දීමනා ද නැත. අර්ථසාධක නැත. එබැවින් ඔහුගේ වෘත්තිය අවදානම් සහගත ය. මෙබඳු තැනැත්තකුට බැංකුවකින් ණයක් ලබා ගැනීම දුෂ්කර ය. බොහෝ දෙනකු අනුන්ගේ රථවාහන කුලියට ගෙන ධාවනය කරන බැවින්, තත්ත්වය තව දුරටත් අසීරු වෙයි. ත්‍රිරෝද රථ රියැදුරන්ට පමණක් නො ව; විදෙස්ගත ශ්‍රමිකයන්ට ද දේශීය බැංකුවකින් ණයක් ලබාගත හැකි පහසු මාර්ග නැත. මේ දෙපිරිසට ම බැංකු ණයක් ලබා ගැනීමට අවස්ථාව උදා කිරීම, සැලැකිය යුතු වෙනසකි. ත්‍රිරෝද රථ රියැදුරන් දවසේ ආදායම රථ හිමියාට ලබා දී, හිස් අතින් ගෙදර යන අවස්ථා ද තිබේ.

අද පවතින සමාජ තත්ත්වයට අනුව මගීහු ත්‍රිරෝද රථයට වඩා කුඩා මෝටර් රථයකින් ගමන් යෑමට වැඩි කැමැත්තක් දක්වති. එය වැඩි ආරක්ෂාවක්, සැප පහසුවක් හා අභිමානයක් ද ඇති කරයි. රුපියල් ලක්ෂ විස්සකට කුඩා මෝටර් රථයක් මිලට ගැනීමේ හැකියාව ඇත. මෙලෙස ලබාදෙන ණය මුදලට අදාළ පොලියෙන් 75% ක් ගෙවන්නේ රජය යි. එය තවත් විශාල සහනයකි. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිවාස ණය මුදල සඳහා ද එකී සහනය ලබා දීමට නියමිත ය. රටේ පොඩි මිනිසාගේ හෙවත් පීඩිත පන්තියේ ජීවිත දෙස ධනාත්මකව බලන්නට මේ ණය වැඩසටහන උත්සුක වී ඇති බවක් පෙනෙයි.

ත්‍රිරෝද රථ රියැදුරකු ඉහත ණය ඉල්ලුම් කළ යුත්තේ වයස අවුරුදු තිස් පහට වැඩි නම් පමණි. එය අර්ථවත් කොන්දේසියක් ලෙස සැලැකිය හැකි ය. යෞවන පිරිස අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය අතරමඟ නවතා දමා, ත්‍රිරෝද රථ ධාවනයට යොමු වී ඇතැ’යි චෝදනාවක් තිබේ. එය අසත්‍යයක් නොවේ. තරුණ පරපුර අධ්‍යාපනය අතරමඟ නවතා දැමීම ද, වෙනත් වෘත්තීන් වෙත යොමු නොවීම ද සමාජ ගැටලුවකි. විශේෂයෙන් එය රටේ අනාගත සංවර්ධනයට බලපායි. ණය වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, යෞවනයන් තව දුරටත් ත්‍රිරෝද රථ රැකියාවල රැඳවීමට නො වන බව ද පෙනී යයි. එය බුද්ධිමත් තීරණයකි.

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා ලබාදෙන ණය මුදලේ උපරිමය, රුපියල් මිලියන දහයකි. මිලියන දහයක් යනු රුපියල් කෝටියකි. එය නිවෙසක් ඉදිකර ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලෙස සලකන්නට පුළුවන. මේ ණය මුදල සඳහා ද කොන්දේසි දෙකක් පනවා තිබේ. පළමු කොන්දේසිය වන්නේ, විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තිබීම ය. දෙවැනි කොන්දේසිය වන්නේ, එම වෘත්තිකයා සතුව දේශීය බැංකුවක ගිණුමක් හා එම ගිණුමේ සැලකිය යුතු තැන්පතුවක් තිබීම ය. මේ කොන්දේසි දෙක ම සාධාරණ යැයි කිව හැකි ය. හොර ඒජන්සි ඔස්සේ රට පනින අයට ණය මුදල් ලබාදීමේ හැකියාවක් නැත. මුදල් පිළිබඳ විශ්වාසය රැක ගැනීම සඳහා සාර්ථක බැංකු ගිණුමක් තිබීම ද වැදගත් ය.

මීළඟට අපගේ අවධානය යොමු වන්නේ, රටේ වතු කම්කරුවන් වෙත ය. ජාතික ආර්ථිකයට බරපතළ දායකත්වයක් දක්වන මේ ශ්‍රමිකයන් සැලැකිය හැක්කේ, අංශ ගණනාවකින් ම නොසලකා හැරීම්වලට ලක් වූ පිරිසක් හැටියට ය. දැනට ඔවුන් ලබන දෛනික වැටුප රුපියල් පන්සියය හා හයසියය අතර වේ. පවුලක් නඩත්තු කිරීම සඳහා එම වැටුප කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමිය යුතු යැයි විරෝධතාවක් පැවැතිණි. කිහිප වරක් ඊට අදාළ වැඩවර්ජන ක්‍රියාත්මක විය. එහෙත්, සටන සාර්ථක වූයේ නැත. හාම්පුතුන් හෙවත් වතු අයිතිකරුවන් එකඟතාවකට පත් නොවීම ඊට හේතුව ය.

වතු හිමිකරුවන් පසුවනුයේ ලාභය උපරිම කර ගැනීමේ අදහසක මිස; කම්කරුවන්ට සහන දෙන තැනක නො වේ. එය කවදත් පවතින ස්වභාවය වෙයි. එහෙත්, රජයේ මැදිහත් වීම මත එය රුපියල් 750/- දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. පළමු පියවරක් හැටියට එය නරක නැත. අද පවතින තත්ත්වයට අනුව, වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහස ද ඉක්මවා තිබිය යුතු ය. වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලියේදී, වතු හිමිකරුවන් දැඩි ස්ථාවරයක පසුවන්නේ, අඩු කුලියට දෛනික සේවාවෙහි යොදාගත හැකි ශ්‍රමිකයන් ඕනෑතරම් සිටින නිසා යැයි කිව හැකි ය. කෙසේ වුව, වතු කම්කරුවන්ට යුක්තියක් ඉටුවිය යුතු ය.

රටක ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා සෑම අංශයක් කෙරෙහි ම අවධානය යොමු කළ යුතු ය. රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශය, විදෙස්ගත ශ්‍රමිකයන්, කුලී රථ රියැදුරන්, වතු කම්කරුවන් යන සෑම අංශයක් ම, සෑම වෘත්තියක් ම ආර්ථිකයේ කොටසක් හෙවත් කාර්යභාරයක් ලෙස ගත හැකි ය. මේ සෑම අංශයක ම ශක්තිමත්භාවය මෙන් ම, ප්‍රබෝධයත් උදා කළ යුතු ය. ජාතික ආර්ථීකය ඉලක්කයක් කරා ගමන් කරවීම සඳහා, ඊට දැක්මක් ද එකතු කළ යුතු ය. ආණ්ඩුව කෙමෙන් ඒ දෙසට ගමන් කරන බව පෙනෙයි.

 

නව අදහස දක්වන්න