රන්ජන්ගේ මුල් වීඩියෝව අප සතුව නෑ -සිරස කියයි | දිනමිණ

රන්ජන්ගේ මුල් වීඩියෝව අප සතුව නෑ -සිරස කියයි

නෙල්කා මැදගෙදර

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධව රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඇතුළත් මුල් වීඩියෝ පටය තම ආයතනය සතුව නැතැයි 'සිරස' නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් සෝමචන්ද්‍ර මහතා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය.

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට ගොනුකර ඇති පෙත්සම් දෙකක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි දෙමින් ගයාන් සම්පත් මහතා ප්‍රකාශ කළේ අදාළ මුල් වීඩියෝ පටය මකා දමා ඇති බවය.

සාමාන්‍යයෙන් එබඳු ප්‍රවෘත්ති වීඩියෝ පට මකාදැමීම සිය ආයතනය ප්‍රතිපත්තියක් ලෙස සිදුකරන බවද කීවේය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදුකිරීම මඟින් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට ගොනුකර ඇති පෙත්සම් දෙක සම්බන්ධ සාක්කි විභාගය දෙවැනි දිනටත් ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සිදු කෙරිණි.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම සාක්කි විමසීම සිදුකළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා‍ගේ මෙහෙයවීමෙන් 'සිරස' ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් සෝමචන්ද්‍ර මහතා සාක්කි දීම සිදු කෙළේය.

එහිදී විත්තිකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ අපහාසාත්මක ප්‍රවෘත්ති විකාශය නොකර සිටීමට සිය ආයතනය කටයුතු කරන බවය. එහෙත් මෙම නඩුවට අදාළ ප්‍රකාශය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය කිහිපයක් හමුවේ කර ඇති අතර එම ප්‍රකාශය ජනතාව විසින් දැනගත යුතු නිසා එය විකාශය කළ බව හෙතෙම තවදුරටත් සාක්කි දෙමින් ප්‍රකාශ කෙළේය.

හරස් ප්‍රශ්නවලට තවදුරටත් පිළිතුරු දෙමින් සාක්කිකරු මෙසේ ද කීය.

මෙම පෙත්සම් විභාගයට සම්බන්ධ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය මා නැරඹුවා. ප්‍රවෘත්ති විකාශයට අදාළ ප්‍රතිපත්ති රාමුවක් අපට තිබෙනවා. සංස්කාරක ‍මණ්ඩලය ප්‍රවෘත්තිය පරීක්ෂා කළ පසුවයි එය විකාශය කිරීම සිදුවන්නේ. අපහාසාත්මක ප්‍රවෘත්ති ඇත්නම් එය ඉවත් කිරීම අපේ වගකීමක්. නමුත් මා නීති විශාරදයෙක් නොවන නිසා නීති උපදෙස් ද අප ලබාගන්නවා. ප්‍රවෘත්තියට අදාළ මුල් වීඩියෝ පටය ඉවත් කරනවා.

අධිකරණය සම්බන්ධ ප්‍රවෘත්ති පළකිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. අපහාසාත්මක පුවත් පළකරන්නේ නෑ. එහිදී අපි එස්. බී. දිසානායක නඩුව පූර්වාදර්ශයක් ලෙස ගන්නවා.

රන්ජන් රාමනායක මහතා මෙම ප්‍රකාශය සියලු මාධ්‍ය හමුවේ කරනු ලැබූවක්. රන්ජන් රාමනායක මහතා කී දේ ජනතාව දැනගත යුතුයි කියා අප සිතුවා. ඒ නිසා එය විකාශය කළා.

එම සිදුවීම සිදුවූයේ 2017 වසරේ අගෝස්තු මස 21 දිනයේයි. අධිකරණය විසින් එම ප්‍රකාශය ඇතුළත් සී. ඩී. පටය කැඳවූවාට පසුව මෙම පෙත්සම් දෙක පිළිබඳව මා දැනගත්තා. පසුව මේ සම්බන්ධ නොතිසි ලැබුණා. ඒ හැර වෙනත් දෙයක් මා දන්නේ නෑ. රන්ජන් රාමනායක මහතා නිතර අධිකරණයට පැමිණෙන වීඩියෝ පට අපට ලැබෙනවා. ඒ නිසා මේ සිද්ධිය විශේෂයක් ලෙස සැලකුවේ නැහැ.

‍සිරස මාධ්‍ය ආයතනයේ ලක්රුවන් ධනුෂ්ක වර්ණකුලසූරිය ද මෙහිදී සාක්කි දුන්නේය.

මාගල්කන්දේ සුදත්ත හිමි සහ රණවීර සුනිල් පෙරේරා විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

අදාළ ප්‍රකාශය සිදුකිරීම මඟින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදුකර තිබේද යන්න විභාග කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ දඬුවම් පමුණුවන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ. වැඩිදුර සාක්කි විභාගය සිදුකිරීමට නියමිතය.

නව අදහස දක්වන්න