පාසල්වල දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් නතර කළ යුතුයි | දිනමිණ

පාසල්වල දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් නතර කළ යුතුයි

සන්ධ්‍යා කරුණාරත්න

වසර 2020 වන විට මෙරට පාසල්වල දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් නතර කළ යුතු බව “ළමා හිංසනයට තිත“ සංවිධානයෙහි සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි.

දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් හේතුවෙන් ඔවුන් වැඩිවියට පත් වූ පසුව මුහුණ දීමට සිදු වන බරපතල මානසික අතුරු ආබාධ ඉලක්ක කර ගනිමින් “ශ්‍රී ලංකාවේ ශාරීරික දඬුවම් අවසන් කිරීම - 2020 දර්ශනය“ නම් වූ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ඒ මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව පැවැසුවාය.

ඒ මහත්මිය මෙසේද පැවැසුවාය. වසර 2020 දි පාසල්වලට ඇතුළු වන සියලුම දරුවන්ට ‘දුවේ පුතේ ඔයාලට ගහන්න බැහැ. ඔයාලට ගුටි කන්න සිද්ධ වෙන්නේ නම් ගහන්න කවුද කියලා කියන්න‘ යනුවෙන් පත්‍රිකාවක් ලබාදෙනවා. එක් දිස්ත්‍රික්කයක් පදනම් කර ගනිමින් මේ වන විට නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරනවා. මේ වන විට මෙම වැඩසටහන සඳහා පුළුල් අවධානයක් හිමි වී තිබෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, LEADS, සර්වෝදය, හින්දු කාන්තා සමිතිය, ළමා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය බලකාය සහ පවුල් සැලසුම් සංගමය යනාදි පාර්ශ්ව රැසක් සමඟ අත්වැල් බැඳ ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ශාරීරික දඬුවම් නතර කිරීම සඳහා ළමා සුරක්ෂිතතාව පිළිබඳ වගකිව යුතු ප්‍රධානම පාර්ශ්වකරුවන් පහකට එක්ව කටයුතු කරන ලෙසට ආරාධනා කරමින් ඉදිරිපත් කර ඇති පංච මහා යෝජනාවක් ද තිබෙනවා. හිංසනයට මුළුමණින්ම විරුද්ධ වීම, ළමා ආරක්ෂාව සඳහා වග වීම, නීති වෙනස් කිරීම, ශාරීරික දඬුවම් පිළිබඳ ගෝලීය ප්‍රතිචාර සහ හිමිකම් සහිත පුද්ගලයකු ලෙස දරුවා යන අංශ පිළිබඳ මෙහිදී අවධානය යොමු කරනවා. ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමැතිවරයා, ළමා කටයුතු ඇමැතිවරයා, නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා, අධිකරණ කටයුතු පිළිබඳ ඇමැතිවරයා මෙම පංච මහා යෝජනාවේ ප්‍රමුඛ සාමාජිකයන් වේ. ශාරීරික දඬුවම මුළුමණින්ම ඉවත් කිරීම සඳහා වූ පනත් ස්ථාපිත කිරීම හා ක්‍රියාවේ යෙදවීම, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම, සියලුම පාසල්වලට අදාළ චක්‍රලේඛ ප්‍රතිසංශෝධනය කිරීම හා ඊට සමගාමීව විදුහල්පතිවරුන්, ගුරුවරුන් දැනුවත් කිරීම, සෑම පාසලකටම ළමා ආරක්ෂක නිලධාරියෙක් පත් කිරීම, විශේෂයෙන් නිර්මාණය කරන ලද ද්‍රව්‍ය හරහා මේ සම්බන්ධයෙන් මවුපියන් දැනුවත් කිරීම පළමු අදියර යටතේ ක්‍රියාත්මක කරයි.

මේ අවස්ථාවට ප්‍රසව හා නාරිවේද මහාචාර්ය සහ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත සේනානායක, ශාන්ත මාගම් විධායක අධ්‍යක්ෂ කමනි ජිනදාස, නීතිය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනි සාවිත්‍රි ගුණසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානසික රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චතුරි සුරවීර, සර්වෝදය සභාපතිනි ආචාර්ය වින්‍යා ආරියරත්න, හින්දු කාන්තා සමිතියේ සභාපතිනි සිවනන්දනී දුරයිස්වාමි මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ඡායාරූපය - සරත් පීරිස්

අදහස් 1ක් ඇත

මගේ බිරිදගේ වැඩිමල් සහෝදරිය ගේ පුතා මහනුවර බෞද්ධ පාසලක දෙවෙනි වසරේ ඉගෙනුම ලබනවා, උදැසන රැස්වීමේදී ගාථා කියන වෙලාවේ සාමාන්යෙන් මුස්ලිම් දරුවෝ අත් බැදගෙන තමන්ගේ ආගම සිහි කරනවා. මේ දරුවා ගාථා කිව්වේ නෑ කියල පන්ති භාර ගුරුවරිය සහ තවත් ගුරුවරියෝ දෙන්නෙක් එකතු වෙලා ඒ දරුවට ගොඩක් බැනල තියෙනවා. බුද්ධාගම ඉගෙනගන්න පුළුවන් නම් ගාථා කියන්ඩ බැරිද මෝඩයා, මෝඩ විදිහට හැදෙන්ඩ එපා, බැරිනම් තම්බි ඉස්කෝලෙකට යනවා කියල ඔක්කොම දරුවෝ ඉස්සරහ. ඒ දරුවෝ ඔක්කොම හය්යෙන් හූ තියල හිනාවෙලා. මේ ළමය ඉකි ගගහ අඩල, ගෙදර ඇවිත් අම්මට ආයේ ඉස්කෝලේ යන්ඩ බැහැ කියල හය්යෙන් අඩල තියෙනවා. ගුරුවරු මෙහෙමනම් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හොද දේවල් බලාපොරොත්තු වෙනද බැහැ. මෙහෙම දෙයක් උනාම ඒ ළමයාගේ මුළු අනාගතෙටම ඒක බලපානවා. ඒ නිසා ශාරීරික මෙන්ම මානසික හින්සාව ත් නැවැත්විය යුතුය්

නව අදහස දක්වන්න