නිකසළ නගර | දිනමිණ

නිකසළ නගර

1980 ගණන් වන විට මහනුවර පැවැතියේ ලෝකයේ සුන්දර ම නගරයක් හැටියට ය. කාලගුණය, ජලය හා පිරිසුදුකම අතින් දකුණු ආසියාවේ කිසිදු නගරයක් ඒ තරම් ඉහළ තත්ත්වයක නැති බවට වූ සංචාරක සටහන් එකල නිකුත් විණි. විදේශීය සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණය හිමි කරගත් නගරයක් ලෙස ද එය පැවැතිණි. එහෙත් තවත් දසක තුනක ඇවෑමෙන් වායු දූෂණය ගැනද, ජල ප්‍රශ්නය ගැන ද, අවිධිමත් නගරයක් ගැන ද, කුණු - කසළ ප්‍රශ්නය ගැන ද මේ නුවරින් සමාජ සංවාද ඇතිවිය. අද එය උපරිම මට්මට පැමිණි තිබේ. ඓතිහාසික මහනුවර යළිත් පෙර තත්ත්වයට ඔසවා තබන්නේ කෙසේ ද? දැන් ඊට අලුත් වැඩසටහනක් ආරම්භ වී තිබේ. එය නිකසළ නගරය ලෙස හැඳින්වේ.

මහනුවර ක්‍රියාත්මක මේ වැඩසටහන සාමූහිකත්වයේ සංකේතයක් ලෙස හැඳින්විය හැකි ය. නගරයේ සියලු ආයතන අවංක හැඟීමකින් යුතුව වැඩසටහනට එකතුවී ඇති බව පෙනෙයි. නගර සභාව, පොලීසිය, ප්‍රාදේශීය සභා, පාසල්, රජයේ කාර්යාල, ස්වෙච්ඡා සංවිධාන නගරය පිරිසුදු කිරීමට එක්ව සිටියහ. නගරය පුරා අලවා තිබූ පෝස්ටර් ඉවත් කරනු දක්නට ලැබිණි. ඒවා අනවසර ස්ථානවල තොග පිටින් අලවා තිබිණි. “අපේ නගරය පිරිසුදුව තබා ගනිමු” යන පාඨය සහිත ස්ථානවලද පෝස්ටර් අලවා තිබුණේ ආදර්ශ පාඨය වැසී යන ලෙස ය. මේ වන විට පෝස්ටර්වලට ඇත්තේ බලවත් තරගයකි. ඕනෑම නගරයක තාප්ප, බිත්ති, මාර්ග සංඥා වැසී යන ලෙස පෝස්ටර් තොග පිටින් අලවනු ලැබේ.

මහනුවර නගරාධිපතිවරයා පෙන්වා දෙන්නේ මින්මතු අනවසර ස්ථානවල පෝස්ටර් අලවන සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ය. පෝස්ටර් ඇලවීම රක්ෂාවක් වී තිබේ. එය සිදුකරන්නේ කුලී පදනම මත ය. කුලීකාරයා නො ව; පෝස්ටරයේ හිමිකරුවා නීතිය ඉදිරියට ගෙන යන බව මහනුවර නගරාධිපතිවරයා කියයි. එය හොඳ තීරණයකි. නගරයක් පිරිසුදුව තබා ගැනීමටද, එය විධිමත් ව පවත්වා ගැනීමට ද පෝස්ටර් තරගය නැවැත්විය යුතු ය. මේ සඳහා පියවර ගත යුතු හොඳම ආයතනය නගරසභාව බවද කිව යුතුය. මහනුවරින් ආරම්භ වූ උක්ත වැඩසටහන දැන් ඇඹිලිපිටිය රත්නපුර යන නගරවලද ක්‍රියාත්මක වීම සතුටට කාරණයකි.

සෑම නගරයකම පාහේ පෝස්ටර් ඇලවීම සඳහා අවසරලත් ස්ථාන තිබේ. ඒවායෙහි අලවන පෝස්ටර් සඳහා නගරසභාවට හෝ ප්‍රාදේශීය සභාවට හෝ කිසියම් මුදලක් ගෙවිය යුතුය. එය මගහරින ව්‍යාපාරිකයෝ නගරයේ තාප්ප හා බිත්ති වනසති. මේ නිසා නගර අපිරිසුදු වන අතර රජයට ලැබිය යුතු ආදායමක් ද කපා හැරේ. මේ සිද්ධි දෙකම වැරැදි ක්‍රියා ලෙස පෙන්වා දිය යුතු ය. බොහෝ ව්‍යාපාරිකයන් කල්පනා කරනුයේ තමන්ගේ ව්‍යාපාරයේ නැග්ම ගැන පමණි. අවට පරිසරයට, නගරයට, පොදු සමාජයට කුමන හෙණයක් වැදුණ ද ඒ ගැන සැලැකිල්ලක් බොහෝ ව්‍යාපාරිකයන් ළඟ නැත. රටක් හැදීමට නම්; පළමුව මේ ආත්මාර්ථය නැති කළ යුතුය.

අපේ ජනතාව තුළ ස්වයං විනයක් හා රට ගැන හැඟීමක් ඇති කළ හැකි නම්; මෙබඳු ගැටලු බොහොමයක් පහසුවෙන් විසඳාගත හැකි ය. ටොෆියක් කටේ දමාගන්නා අපේ මගියා එහි දවටනය පාරට වීසි කරයි. පානීය ජල බෝතලයක් මිලටගන්නා මගියා එය පානය කොට හිස් බෝතලය පාරට දමයි. දුම්රිය මාර්ගයක් දිගේ පයින් ගමන් කළහොත් හිස් බෝතල් ටොන් ගණනක් සොයාගත හැකි ය. මෙබඳු රටක වසංගත රෝග බෝවීම ඒ හැටි පුදුමයක් නො වේ. මීට දසක හතරකට පමණ පෙර ශ්‍රී ලංකාවට කසළ ප්‍රශ්නයක් තිබුණේ නැත. අද එය සෑම නගරයක ම ප්‍රධාන ගැටලුව බවට පත්වී ඇත. මීට බලපාන ප්‍රධාන සාධකය අවිධිමත් ලෙස කසළ ඉවතලෑමයි.

ගිය වසරේ අවසන් කාර්තුවෙහි විදේශීය සංචාරකයන්ගේ පැමිණීම නිරීක්ෂණය කරන විට ද, මේ වසරේ මුල් මාසයේ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම නිරීක්ෂණය කරන විට ද යුරෝපීය සංචාරක ආගමනයේ වැඩිවීමක් දක්නට ලැබේ. යුරෝපීය ජාතිකයා හැමවිටම විධිමත් නගරයක් අපේක්ෂා කරයි. එමෙන්ම පිරිසුදුකම ඔව්හු අංක එක කොට සලකති. සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා විධිමත් නගර මෙන්ම එම නගරවල පිරිසුදුකම ද ඉහළින්ම පැවැතිය යුතුය. මහනුවර ගතහොත් එය ඓතිහාසික නගරයකි. අපේ උරුමය ලොවට කියන මෙබඳු නගර හැමවිටම ආරක්ෂා කළ යුතුය. දළදා මාලිගාව පවතින්නේ නුවර ය. රටේ අවසන් රාජධානිය පැවැතියේ ද එහි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිගමනවලට අනුව ද ලෝක පරිසර සංවිධානවල නිගමනවලටද අනුව ලෝකයේ නරකම නගරය බංගලිදේශයේ ඩකා අගනුවර වෙයි. ඩකා නගරයෙන් නැ‍ඟෙන අපිරිසුදු දුහුවිල්ල මිනිසාට බෙහෙවින් අහිතකර බව සොයාගෙන තිබේ. එම නගරයේ කුණු කසළ ගොඩවල් දකින කෙනකු යළිත් එම නගරයේ සංචාරයට කැමැති වන්නේ නැත. ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රිකට් කණ්ඩායම් ඩකාහි පැවැත්වෙන ක්‍රිකට් තරගවලට කැමැති නැත. ඩකා නගරය අපිරිසුදු හා නරක නගරයක් බවට පත්වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ය. මේ අනුව එහි පාරිසරික නීති අකුරට ම ක්‍රියාත්මක කරන්නට බංගලිදේශ රජය තීරණය කර තිබේ. එහෙත් නගරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගත වනු ඇත.

නගරයක් අවිධිමත් කිරීම ද; එය නරකම ස්ථානයක් බවට පත් කිරීම ද පහසු ය. වසර කිහිපයක් තුළ එය කළ හැකිය. එහෙත් නගරයක් සුන්දර කිරීම ඒ තරම් පහසු නැත. ඒ සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරිය යුතු අතර දීර්ඝ කාලයක් බලා සිටීමට ද සිදුවනු ඇත. ඉංග්‍රීසි පාලන සමයේ කොළඹ නගරය තුළ සංචාරය කළ බ්‍රෝහියර් එය සුරපුරයක් ලෙස හඳුන්වා තිබිණි. එහෙත් ඒ සුරපුරය අද අතුරුදහන් වී ඇත. කොළඹ කැළි - කසළ ප්‍රශ්නයට ස්ථාවර විසැඳුමක් අදටත් නැත. කුණු - කසළ බැහැර කිරීමේ වැඩසටහනද හිටි හැටියේ නවතින අවස්ථා තිබේ. කොළඹින් පටන්ගත් කුණු - කසළ ගැටලුව දැන් සෑම නගරයකම අංක එකේ ගැටලුව බවට පත්වී ඇත.

මහනුවර නිකසළ නගර සංකල්පය තුළ ඉතා වටිනා අදහසක් තිබේ. එනම්; අපේ නගරය අපිම පිරිසුදු කරමු යන්න ය. බොහෝ විට නගරයක් විනාශ කරනුයේ එම නගරයේ වැසියන්ම ය. අපේ නගරය යන හැඟීම ඉතා වටිනාකමකින් යුතු ය. එයින් නගරය ගැන හැඟීමක් උපදී. මේ හැඟීම ඇති තැනැත්තා නගරයේ වීථියක ඇති කොළ කැබැල්ල ගෙන එය නිශ්චිත තැනට දමනු ඇත. නගර වැසියන් ළඟ මෙන්ම නගරයට එන - යන අය තුළද එබඳු හැඟීමක් ඇති වුවහොත් අපේ සෑම නගරයක් ම සුරපුරවල් බඳු වනු ඇත. මෙබඳු වැඩසටහන්වලට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සහයෝගය ලැබිය යුතු ය.

 


නව අදහස දක්වන්න