පාලම් දෙකක්ම ග‍ඟේ ගියා | දිනමිණ

පාලම් දෙකක්ම ග‍ඟේ ගියා

හිරියාල ආසනයේ මැල්සිරිපුර නීරම්මුල්ල-මැණික්පාය මාර්ගයේ ‘‘නීරම්මුල්ල ඔය හරහා ඉදිකළ පාලම් දෙකම ඉදිකිරීම් අවසන් කොට ඉතා කෙටි කාලයක් තුළදී කඩා වැටීම නිසා මැණික්පාය සහ ඇත්බොඩපාය යන ගම්මාන දෙකෙහි පදිංචි පවුල් සියයකට අධික පිරිසක් මහත් දුෂ්කරතාවකට පත්ව සිටිති.

මෙම ඔය හරහා පළමු පාලම ඉදිකොට ඇත්තේ 2010 වසරේදීය. එය 2012 දී කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු පවසති. එම ස්ථානයේම නැවතත් 2013 වසරේදී ඉදිවන දෙවන පාලම ඉදිකිරීම් නිමකොට මාස දෙකක් ඉක්ම යන්නටත් පෙර කඩා වැටුණු බවද ඔවුහු පවසති.

මෙම පාලම් දෙකම ප්‍රදේශයේ සමෘද්ධි බලමණ්ඩලය විසින් ඉදිකෙරුණු අතර පළමු පාලම සඳහා රුපියල් ලක්ෂ 15ක්ද, දෙවන පාලම සඳහා රුපියල් ලක්ෂ 10කට වැඩි මුදලක්ද වැය කර ඇති බවද ගම්වාසීහු පෙන්වා දෙති.

ඔයෙන් එගොඩවීමට උත්සාහ කිරීමේදී තම දරුවාද සමඟ දියේ වැටී දිවි බේරාගත් සුනේත්‍රා මානෙල් මහත්මිය මෙසේ කියා සිටියාය.

‘‘සමෘද්ධියෙන් මෙතැන හදපු පාලම් දෙකම වසර තුනක් ඇතුළත කඩා වැටුණා. මේවා මහජන මුදල් නේද? මේක හදන්න ගමේ අයත් ශ්‍රමයෙන් දායක වුණා. මීට මාසයකට විතර මම මගේ චූටි පුතාත් වඩාගෙන ඔයෙන් එගොඩවෙන්න යද්දී දෙන්නාම ඔයේ ගිලුනා. හොඳ වෙලාවට එතනින් ගිය අයියා කෙනෙක් දැකලා අපි දෙන්නා බේරා ගත්තා. ඒත් පුතාගේ බෑග් එක ගසාගෙන ගියා. ඒකේ තිබුණේ පුතාගේ ක්‍රීඩා සපත්තු දෙකයි, ඉස්කෝලේ දාන සපත්තු දෙකයි, ක්‍රීඩා ඇදුම් ටිකයි. මේ ගම් දෙකේ ළමයි පනහක් හැටක් විතර මෙතැනින් එගොඩවෙලා ඉස්කෝලේ යනවා. ඔයේ වතුර වැඩි දවස්වලට කිලෝමීටර් 10ක් විතර දුර ගෙවාගෙන ඉස්කෝලෙට යන්න වෙනවා. ඒ පාරත් හොඳටම අබලන්. දැන් ඒදඬු දෙකක් දාලා ඔයෙන් එගොඩ මෙගොඩ වෙනවා. එය ඉතාම අවදානම්. මේ ළඟදී කෙසෙල් කැනක් අරන් ඒදණ්ඩෙන් එගොඩ වෙන්න ගිය මාමා කෙනෙක් ඔයට වැටුණා. ඉතාම ඉක්මනින් මෙතැනට ශක්තිමත් පාලමක් ඉදිකරදෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නදා ඉඳලා ඔයෙන් එගොඩ වෙන්න මේ දුක විඳිනවා. ඒදණ්ඩ දාලා තියෙන තැන අඩි දහයක් විතර ගැඹුරුයි.‘‘

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ.සුමිත් උඩුකුඹුර මහතා -‘‘ප්‍රාදේශීය සභා පාරක් තමයි මේ ඔය හරහා යන්නේ. හදපු පාලම් දෙකම කැඩිලා ගිහින්. අපි නොවෙයි පලම් හැදුවේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි කළේ. මේවනවිට අපි ඔය හරහා පාලමක් ඉදිකරන්න සැලසුම් කරලා තිබෙනවා. නර්ඩ් ආයතනයේ උපදෙස් යටතේ තමයි පාලම ඉදිකරන්නේ. ඒ ආයතනය ඒ සඳහා සාධාරණ මිලක් අපෙන් අයකරගන්න එකඟවෙලා තියෙනවා. වෙනත් ස්ථානවලට වඩා මේ පාලම ඉදිකරන්න ප්‍රමුඛත්වය ලබාදෙනවා.‘‘

චන්ද්‍රතිලක රත්නායක
ඉබ්බාගමුව විශේෂ

 


නව අදහස දක්වන්න