අපට මගහැරුණු විද්‍යා-ප්‍රබන්ධයක්! | දිනමිණ

අපට මගහැරුණු විද්‍යා-ප්‍රබන්ධයක්!

රන්ජන් අමරරත්න

කල්ප විනාශය , නැතහොත් ලෝක විනාශය විෂයය ගණනාවක් ඔස්සේ සංවාදයට ලක්වන මාතෘකාවකි. මීට අදාළ සාහිත්‍ය කෘති ද වරින්-වර ප්‍රකාශයට පත් වෙයි. කතුවරයා කල්ප විනාශය ප්‍රධාන තේමාවක් කර ගන්නේ නැති වුව, සිය කතා විකාශනය සඳහා එය ද යොදා ගනී. ඉන් පැහැදිලි අර්ථයක් ලබාගත නොහැකි ය.

අද අපගේ විමසුමට ලක්වන කෘතිය, මගහැරුණු විද්‍යා ප්‍රබන්ධයක් සේ හඳුන්වන්නට කැමැත්තෙමු. මගහැරුණු යන්නෙන් අර්ථ දෙකක් ගම්‍ය වෙයි. පළමු අර්ථය වන්නේ, කතාබහට ලක් විය යුතු ප්‍රබන්ධයක් සේ එය පිළිගත හැකි බව ය. දෙවැනි අර්ථය වන්නේ, කෘතිය පිළිබඳ සංවාදයක් හෝ තක්සේරුවක් හෝ සිදු වී නැති බව ය. මේ කෘතිය “කල්පාවසාන සාදය” ලෙස නම් කර ඇත. කතුවරයා තාරක කල්දේරා ය.

ලෝක නවකතාවේ ප්‍රධාන ශානර ගණනාවක් පවතී. ඓතිහාසික නවකතා, දේශපාලන නවකතා, සමාජ විවරණ සහිත නවකතා, රොමෑන්තික කතා, විද්‍යා ප්‍රබන්ධ ආදී ලෙසින් ඒවා වර්ගීකරණයට ලක් වේ. මේ අතර ප්‍රධාන ධාරාවන් හි උප - ශානර ද හඳුන්වා දී තිබේ. ප්‍රබන්ධ කථාවේ සංකීර්ණ ස්වරූපය ඉන් පැහැදිලි වෙයි. විද්‍යා ප්‍රබන්ධ ගතහොත්, ඒවායෙහි සන්දර්භය හා තේමාව අනුව උප ශානරවලට බෙදී යයි. ඇතැම් විද්‍යා ප්‍රබන්ධ රචනා වී ඇත්තේ, අනාගත ලෝකය පිළිබඳ අනාවැකි හෝ කල්පිත හෝ නිරූපණයට ය. තව විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය වී ඇත්තේ, තාක්ෂණයේ, සන්නිවේදනයේ හෝ විද්‍යාවේ අලුත් සොයාගැනීමක් නිරූපණයට ය. තවත් විද්‍යා ප්‍රබන්ධයක් ගොඩනැගී ඇත්තේ, මනුෂ්‍යත්වය හා විද්‍යාවේ දියුණුව අතර පවත්නා ගැටුම ප්‍රයුංජනය කිරීමට ය. මේ හැරෙන්නට, මානව ශිෂ්ටාචාරයේ අවසානය නිරූපණය කරන විද්‍යා ප්‍රබන්ධ ද පවතී.

ලෝකයේ විශිෂ්ට ම විද්‍යා - ප්‍රබන්ධ රචකයා වන ආතර් සී.ක්ලාක් මහතා, ශ්‍රී ලාංකිකයකු වන්නේ වුව, අපේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය දියුණු නැත. විද්‍යා ප්‍රබන්ධ කෙරෙහි ආකර්ෂණය වූ ප්‍රමාණාත්මක පාඨක සමූහයක් ද අපට නැත. මේ පසුබිම තුළ විද්‍යාප්‍රබන්ධ රචනය අභියෝගාත්මක කාරණයක් වෙයි. තරුණ ලේඛකයකු වන තාරක කල්දේරා, එම අභියෝගය භාරගෙන ඇත. අභියෝග භාර ගැනීම ද සාහිත්‍යයේ සාධනීය සාධකයකි.

විද්‍යා ප්‍රබන්ධ රචකයා මුහුණ දෙන මූලික ගැටලු කිහිපයක් තිබේ. එක; විශ්වසනීය කතා වස්තුවක් ගළපාගැනීම ය. දෙක; එහි චරිත හා සිද්ධි අතර අන්තර් සම්බන්ධය ගොඩනඟාගැනීම ය. තුන; විද්‍යා - තාක්ෂණ - සන්නිවේදන ක්ෂේත්‍රවල නව ප්‍රවණතා මෘදු ලෙස නිරූපණයට අවශ්‍ය වචන හා ශෛලිය තෝරා ගැනීම ය. හතර; පාඨක ආකර්ෂණය දිනාගත හැකි කතාවක් ගෙතීම ය.

උක්ත ගැටලු දෙස බලන විට ඕනෑම නවකතාකරුවකු ඊට මුහුණ දෙන්නේ යැයි තර්කයක් මතුකළ හැකි ය. එහෙත්, විද්‍යා ප්‍රබන්ධකයා මෙහි දී විශේෂ වෙයි. හේතුව, විද්‍යාව - තාක්ෂණය හා එහි නූතන ප්‍රවණතා තුළ පොදු තත්ත්වයක් දක්නට නොලැබීම ය. සුළු පිරිසක් ඉහත ප්‍රවණතාවල ආස්වාදය විඳිති. තවත් බොහෝ පිරිසක් ඒ පිළිබඳ කිසිවක් ම නොදනිති. මේ තත්ත්වය, සාහිත්‍යකරුවාට බලවත් අභියෝගයකි. එමෙන් ම මේ විෂයය ද ආගන්තුක ය.

“කල්පාවසාන සාදය” නවකතාවෙන් කියැවෙන්නේ, 2040 ගණන්වල ශ්‍රී ලංකාවේ සිදුවීම් මාලාවක් ගැන ය. අනාගත දේශපාලනය, මානව ශිෂ්ටාචාරය, මිනිස් ක්‍රියාකාරකම් හා සන්නිවේදන තාක්ෂණයේ අනාගත ප්‍රවණතා ගැන කතිකාවක් කෘතියෙන් උකහාගත හැකි ය. ප්‍රබන්ධය ආරම්භ වන්නේ; හාස්‍යය හා උත්ප්‍රාසය දනවන සිදුවීම් කිහිපයක් සමඟ ය.

වයස්ගත මහාචාර්යවරයෙක් පාර මාරු වී, සාප්පුවකට ඇතුළු වෙයි. ඔහු සිය දියණියට උපන් දින ත්‍යාගයක් ලෙස විශාල “ටෙඩි බෙයාර්” කෙනකු තෝරා ගනියි. මහලු මහාචාර්යවරයා විශාල “ටෙඩි බෙයාර්” කෙනකු බදාගෙන, පාර දිගේ ඇවිදීම අපූරු මනෝ චිත්‍රයකි. ඉක්බිති මහාචාර්යවරයා හා ටෙඩි බෙයාර් අතරට දුරකථන ඇමතුමක් ලැබෙයි. එය සුබදායක එකක් නොවේ. දුරකථන සංවාදය කෙළවර වන්නේ, මහාචාර්යවරයාට හා ඔහුගේ පවුලට රට හැර යෑමට කරුණු තීන්දු වෙමින් ය. ඔහු මේ දැන් ම ගුවන් ටිකට් වෙන් කර ගන්නා ලෙස සිය බිරියට උපදේශයක් දෙයි. ඕනෑම නවකතාවකට ආකර්ෂණීය ආරම්භයක් වුවමනා බව අමුතුවෙන් කිව යුතු නැත. මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් නවකතාවක ශක්තිමත් ආරම්භය ගැන අපූරු විවරණයක් “හව් ටු රයිට් අ සෙන්ටන්ස්” නම් කෘතියේ අටවැනි පරිච්ඡේදයෙහි දක්වා ඇත. ඊට අනුව, නවකතාවේ පළමු පරිච්ඡේදයේ පළමු වාක්‍යය ගැන බෙහෙවින් සැලැකිලිමත් විය යුතු ය. මේ ප්‍රබන්ධයට හොඳ ආරම්භයක් තිබේ. එය නවකතාව ආරම්භ වන පළමු වාක්‍යයෙන් ම තහවුරු වෙයි.

නවකතාවේ ප්‍රධාන චරිතය වන්නේ, ඉන්දු හෙවත් කාබා ය. කාබා යනු ඔහුට විශ්වවිද්‍යාල ජීවිතයේ දී ලැබෙන අන්වර්ථනාමය යි. ඔහු අසාමාන්‍ය කුසලතාවලින් පිරුණු, තමන්ගේ ම දර්ශනයකට අනුව ජීවිතය පෙළගස්වන තරුණයෙකි. එහෙත් ඔහු, මානසික රෝගියකු ලෙස හැඳින් වේ. 'කාබා' මානසික ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 'මායා' නම් වෛද්‍යවරිය වෙත ය. දෙදෙනා අතර වෙන ම මානුෂික සම්බන්ධතාවක් පවතී. කාබාගේ පරිගණක ව්‍යාපෘතියක් ඔස්සේ දේශපාලන අර්බුදයක් මතුවන අතර, ඔහු මරා දැමීමට වෘත්තීය ඝාතකයෝ පිරිසක් හඹා එති. එම මූලික ගැටුම පාදක කරගත් සිදුවීම් මාලාවක් කතාවට ඇතුළත් ය.

ඉන්දු හෙවත් කාබාගේ චරිතය, නූතන තරුණ පරම්පරාවට බෙහෙවින් සමීප කළ හැකි ය. මෙබඳු අසාමාන්‍ය තරුණයෝ නූතන සමාජය තුළ සිටිති. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පොදු සමාජයේ දී අතාර්කික හා අසාමාන්‍ය වන අතර , ඔවුන් වටහා ගැනීමට කිසිවකු උනන්දු නොවන බවක් ද පෙනී යයි. මේ නිසා ම, ගැටලුකාරී තත්ත්වයක් මතු වෙයි. කාබා සිය ජීවිතය තුළ කිසියම් සැනසිල්ලක් හා විශ්‍රාමයක් සොයන බව පෙනෙයි. ඔහු, මතට හා දුමට ඇබ්බැහි වන්නේ ද, සැනසිල්ලේ හා විශ්‍රාමයේ ප්‍රතිඵලයක් හැටියට ය.

මේ කතාවෙන් මතුවන ප්‍රධාන සංවාද කිහිපයක් තිබේ.

(I) අනාගත දේශපාලනය

(II) 2040 ගණන්වල මිනිස් ක්‍රියාකාරකම්

(III) අනාගත මිනිස් සබඳතා

(IV) කල්ප විනාශය

කතුවරයා ප්‍රජාතන්ත්‍රවාදය හා ලෝක දේශපාලනය පිළිබඳ යම් විවරණයක යෙදීමට වෑයම් කරන බව පෙනෙයි. එහෙත් එය, තාර්කික පදනමක් මත ගොඩ නැඟී නැත. දැන් දේශපාලනයේ පවතින අවුල පමණක් කතුවරයා හඳුනාගෙන ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදය යනු කඩාකප්පල්කාරී නැවියන් සිටින නැවක් බඳු යැයි ප්ලේටෝ කියූ කතාව විටෙක ඇත්ත ය. ලංකාවේ බහුතරය ජාතිවාදී කඩාකප්පල්කාරී නායකයන්ගේ හීනමානයේ දෘෂ්ටිවාදයෙන් දුවන මෝඩ, අසරණ ජනතාවක් බව රිටිගලාරච්චි ඔහුගේ මනසේ අතිශය පෞද්ගලික කොනකින් වටහාගෙන තිබිණි.”

කතුවරයාට දේශපාලනය ගැන විවේචනයක් තිබේ. එය චරිත ලවා ඉස්මතු කිරීම වැදගත් ය. එහෙත් මේ කතාවේ අවස්ථා ගණනාවක දී ම කතුවරයා මැදට පැන ඉදිරිපත් කරන විවේචන තිබේ. ඒවා නවකතාවකට අනුචිත ය. අනාගත දේශපාලනය ගැන අලුත් දෙයක් කියන්නට ද කතුවරයා අසමත් ය.

2040 ගණන්වල රටේ තත්ත්වය, සමාජ පරිවර්තන හා මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ තාර්කික එළැඹුමක් මේ කතාවේ නැත. කතුවරයා ඒ පිළිබඳ විශ්ලේෂණයක යෙදී නැති බව ද පෙනෙයි. ඔහුගේ කල්පිත විශ්වසනීය භාවයෙන් තොර ය. අනාගතය පිළිබඳ පරිපූර්ණ චිත්‍රයක් ගොඩනැඟිය හැක්කේ, දැනට පවතින තත්ත්වය තාර්කික ලෙස සැලකිල්ලට ගැනීමෙන් ය. කතුවරයා වර්තමානයට විහිළු කරන්නේ වුව, වර්තමානය ගැඹුරින් විශ්ලේෂණය කරගෙන නැත. එබැවින් ඔහුගේ කල්පිත තුළ ඇත්තේ තරමක මෝඩ ස්වරූපයකි.

මේ කතාවේ එන මිනිස් සබඳතා තරමක් ආකර්ෂණීය වෙයි. මායා හා ඉන්දු අතර සම්බන්ධය, ඉන්දු හා සඳලි අතර සම්බන්ධය, මහාචාර්ය ස්ටැන්ලිගේ දුව හා ඉන්දු අතර සම්බන්ධය, ඉන්දු හා ආගන්තුක පෙම්වතිය අතර සම්බන්ධය පාඨක ආකර්ෂණය දිනා ගන්නවා පමණක් නොව; ස්ත්‍රී - පුරුෂ සබඳතා පිළිබඳ සියුම් විශ්ලේෂණයකට ද අප කැඳවාගෙන යයි.

කල්ප විනාශය , නැතහොත් ලෝක විනාශය විෂයය ගණනාවක් ඔස්සේ සංවාදයට ලක්වන මාතෘකාවකි. මීට අදාළ සාහිත්‍ය කෘති ද වරින්-වර ප්‍රකාශයට පත් වෙයි. කතුවරයා කල්ප විනාශය ප්‍රධාන තේමාවක් කර ගන්නේ නැති වුව, සිය කතා විකාශනය සඳහා එය ද යොදා ගනී. ඉන් පැහැදිලි අර්ථයක් ලබාගත නොහැකි ය. වරින් - වර ජීවිතය හා ලෝකය ගැන විවිධ මත පමණක් ඔහු ඉදිරිපත් කරයි.

“ලෝකය යනු ඉතා ම පැරණි ෆොසීලයක් බව ඔහුට දැනෙන්නට වන”

(පිටුව - 54)

“ඇත්තටම බරපතළ දාර්ශනික ප්‍රශ්න ඇත්තේ එකකි. ඒ සිය දිවි නසාගැනීමේ ප්‍රශ්න යයි.”

(පිටුව 132)

“ශිෂ්ටාචාරයේ මූලික අරමුණ වන සිය පැවැත්ම පිළිබඳ ගැටලුව නිරාකරණය වූ පසු එනම්; තියරි ඔෆ් එව්රිතින්ග් කරා ප්‍රවිශ්ඨ වූ පසු අපට කරන්නට ඉතිරි වන්නේ කුමක් ද? අප සමූහ සිය දිවි නසාගැනීමක නියැලිය යුතු ද? එන්න අපි කතා කරමු.”

(පිටුව - 132)

අනුන්ගේ මතවාද හැරෙන්නට කල්ප විනාශය පිළිබඳ නව අදහසක් කෘතියෙන් මතු නොවේ. එය ප්‍රබන්ධයේ ප්‍රධාන තේමාව වන බවක් ද පෙනෙන්නට නැත. කතුවරයා ගොඩනඟන සංවාද සියල්ල ම පාහේ විසිරී යයි. පාඨකයාට ඉන් අර්ථයක් ලබා ගැනීම අසීරු ය.

“කල්පාවසාන සාදය” නවකතාවක් ලෙස ගත් කල, එහි ප්‍රධාන දුර්වලතා කිහිපයක් පවතී.

(I) දුර්වල කතා වස්තුව

(II) චරිත හා සිදුවීම් අතර

තාර්කික සම්බන්ධයක් නොවීම

(III) ආකර්ෂණීය කතාවක් නැතිකම

(IV) භාෂා භාවිතයේ දුර්වලතා

ඉතා උද්වේගකර හා ආකර්ෂණීය සිදුවීම් ගණනාවක් කතාව තුළ පවතින්නේ වුව, ඒවා නිසි අයුරින් පෙළගස්වා , සාර්ථක කතා වස්තුවක් ගොඩනැඟීමට කතුවරයා අසමත් වෙයි. එබැවින්, කල්පාවසානය අපට පෙනෙන්නේ එක්තරා විකාරයක් හැටියට ය. චරිත හා සිදුවීම් අතර සම්බන්ධය තාර්කික අයුරින් ගොඩනැඟී නැත. පසුබිම් නිරූපණ පවා කෘත්‍රීම ය. කතුවරයා තම සිතට නැ‍ඟෙන සියල්ල ඔහේ ලියාගෙන යයි. ඔහුට ප්‍රබන්ධ කථාවේ ශිල්පීය අංශයෙන් ගොඩනැඟුණු ශික්ෂණයක් නැත. තමන්ගේ කල්පනාවට නැ‍ඟෙන සියලු බහුබූත ලියා තැබීම නවකතාව නොවේ. කතා වස්තුවක් ගොඩනැඟීමට, නවකතාවක් සංස්කරණය කිරීමට විශාල පරිශ්‍රමයක් දැරීම, සාර්ථක ලේඛකයන්ගේ සිරිත වෙයි. “කල්පාවසාන සාදය” යනු එබඳු පරිශ්‍රමයකින් තොරව හදිසියේ ලියන ලද කතාවකි. එහෙත්, ලේඛකයාට කතා ගෙතීමේ හැකියාවක් ඇති බව ද, ඔහුට ආවේණික ශෛලියක් ඇති බව ද ඇතැම් තැනක දී සනාථ වෙයි.

“පාද අවිඥානිකව පොළවක් සෙවී ය. එහෙත් කිසිවක් නොවී ය. පාද තබන සෑම තැනක ම ඇත්තේ ජලය යි. ඔහු පතුල කරා ඇවිදිමින් සිටියේ ය. මුලින් - හෙමින්, ඊළඟට - උමතුවෙන් ,අවසානයේ දී උත්සාහය අත් හරින්නට විය.පපුව හිස්කරගෙන අන්තිම හුස්ම ගුළියත් බුබුලු නඟමින් අහසට යන විට, ඔහු අඳුරේ ගර්භාෂයට නැවත ගුළි වී නිදා වැටෙන විට අවසන් වතාවටත් අනන්තයට යාන්තම් මෙහා ඇති සයුරු මතුපිට ගැටෙන විදුලි එළිවල සියුම් පුපුරු දැක ගත්තේ ය.”

මේ ඡේදය කියවන කෙනකුට සම්භාව්‍ය නවකතා සිහියට නැ‍ඟෙන්නට පුළුවන. පුරාතන සිංහල ගද්‍ය සාහිත්‍යයේ නිරූපණ සිහියට නැ‍ඟෙන්නටත් පුළුවන. එය අපූරු බස හැසිරවීමක් ලෙස පෙන්වා දිය හැකි ය. එහෙත් සමස්ත කෘතිය පුරා මෙබඳු බස හැසිරවීමක් නැත. මේ කෘතිය සාධනීය ලක්ෂණවලින් මෙන් ම, නිෂේධනීය ලක්ෂණවලින් සමන්විත ය. කතුවරයා කියන ලෙස, “කල්පාවසාන සාදය” විද්‍යා ප්‍රබන්ධ මාලාවක පළමුවන්න වේ. එය ඇත්තක් නම්; දෙවැනි කෘතියේ සිට පරෙස්සම් වීමේ හැකියාව ඔහුට ඇත.


අදහස් 1ක් ඇත

kawuru kohoma kiwwath me daruwa amaru uthsahayaka yedi innawa,,, koluwo ubata jaya pathami!!!

නව අදහස දක්වන්න