ගාලු සාහිත්‍ය උළෙල තනා දුන් සාහිත්‍ය ඉණිමඟ | දිනමිණ

ගාලු සාහිත්‍ය උළෙල තනා දුන් සාහිත්‍ය ඉණිමඟ

ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ දීප්තිමත් තීරුවක් නියෝජනය කරමින්, ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල මෙවරත්, ජනවාරි 16 වැනිදා සන්ධ්‍යාවේදී උත්සවාකාරයෙන් ඇ‍රැඹිණි. පුරා දස වසරක් මුළුල්ලේ ජීව ගුණය ‍රැක ගනිමින් සාහිත්‍ය උළෙලක් පැවැත් වීම තරමක් අපහසු කාර්යයකි. දින 05ක් මුළුල්ලේ පැවැත්වුණු සාහිත්‍ය උළෙලට, දෙස්-විදෙස් ලේඛක, ලේඛිකාවන් ‍රැසක් මෙන් ම, සිනමාකරුවන්, සූපවේදීන් සහ චිත්‍ර ශිල්පීන් සහභාගී විය. මේ අතර වඩාත් කැපී පෙනෙන සාහිත්‍ය සංවාද සහ වැඩමුළු ද ‍රැසකි. ඒ අතර 17 වැනිදාවේ රම්‍යා ජීරසිංහ විසින් 'වැඩිහිටියන් සඳහා කාව්‍ය ලිවීමේ වැඩමුළුව'ක් ද මොහොමඩ් හනීෆ් සහ සූසි හැන්සන් දෙපළගේ සංවාදයක් ද පැවැත්වුණි. ප්‍රකට ලේඛක රොමේෂ් ගුණසේකර සහ වානි කැපිල්ඩියෝ දෙපළගේ සංවාදය ද කැපී පෙනුණි. ගීත රචනය ගැන ජස්ටින් වෙයිට්, රෝයල් කෝර්ට් ස්පා හි පැයක් පුරා ආකර්ෂණීය සැසියක් පැවැත්වීය. වඩාත් සිත් ගත් සංවාදය පැවැතියේ, ඉන්දියානු කිවිඳියක වන ටිෂානි ඩොෂි විසිනි. 'ගර්ල්ස් ආර් කමින් අවුට් ඔෆ් ද වුඩ්ස්' හි කාව්‍ය කිහිපයක් ඈ කියැවූයේ, වේදිකාව මත නිදහසේ චලනය වන ගසක අතු සහ කොළ සිහියට නංවමිනි. ඒ, රංගනීය කවි කියැවීම, කවියට වෙනත් කුඩා කවුළුවක් හැර දුන්නාක් මෙනි. ඇගේ කවිවල දක්නට තිබුණු නූතන හැඩතලයකි. කවිය සහ නූතන සමාජ, දේශපාලනික ගැටලු ඈ සියුම් හුයකින් බැඳ තබා, ඒවා විටින් විට කැඩී යන්නට ඉඩ දෙන්නාක් මෙනි.

සුප්‍රකට කොකෝ ෂැනල් හි නිර්මාතෘ ගේබ්‍රියල්ලා ෂැනල් ගේ චරිතාපදානය ලියූ ජස්ටින් පිකාඩි, ෆෙයාර්වේ පැවිලිනයේ පෙනී සිටියේ ගේබ්‍රියල්ලා ගේ දුර්ලභ සේයාරූ ‍රැසක් සමඟිනි. ගේබ්‍රියල්ලා නම් ඈ කොකෝ ෂැනල් බවට පරිවර්තනය වීමත්, සුප්‍රකට 'කුඩා කළු ගවුම'ත් ඇගේ ඇසින් දැක ගැනීම තරමක් ආශ්වාදනීය අත්දැකීමකි. ලොව පුරා අලෙවි වාර්තා තබමින් විකිනුණු ජස්ටින් පිකාඩි රචිත 'Coco Chanel:The Legend and the Life' කෘතිය, ලේඛිකාවක් ලෙස ජනකාන්ත වීමට පහසු ඉණිමඟක් තනා දුන්නාක් බඳු ය.

තේ බොමින්, කවි කියැවීම හෝ කවිවලට සවන් දීමට ඉඩක් තනා දී තිබුණේ, ෆෙයාර්වේ සන්සෙට් හිදී ය. ඒ ද; ටිෂානි ඩෝෂි සහ මේඝන් දක්ෂිනී සමඟ ය. වඩාත් ලාලසාත්මක, මේ සෑම සංවාදයක් විසින්ම තනා දෙන අලුත් මුහුණුවරයි. කවිය වෙතට එළැඹීමට කියවන්නාට දොර පමණක් නොව, ජනේල සහ සුළං කවුළු පවා විවර කර දී ඇත්තාක් මෙනි.

'මාධ්‍ය දිනය' ලෙස නම් කර තිබූ තෙවැනි දිනයේ, ඩීනා ජෙෆරීස් ලියූ 'ද ටී ප්ලාන්ටර්ස් වයිෆ්' කෘතිය පිළිබඳ සංවාදය, ෆෙයාර්වේ පැවිලිනයේ පැවැත්වෙන අතර, රෝයල් කෝර්ට් ස්පා හි මොහොමඩ් හනීෆ් ලියූ 'රෙඩ් බර්ඩ්ස්' සංවාදය මුළු දුනි. මේ රතු පක්ෂියා වර්ණවත් වහල මත හැපෙමින්, නාද කරමින් සිටියෙන්, සංවාදාගාරය වඩාත් ජීවී ගුණයෙන් යුක්ත විය. මොහොමඩ් හනීෆ් කියන්නේ, ලේඛකයන් කතා කරන දේ අසා සිටීමට, කියවන්නන් ප්‍රිය කරන්නේ මන්දැයි තමාට මෙතෙක් වටහා ගත නුහුණු බවයි. යුද්ධය පිළිබඳ අති සංවේදීව සහ වේදනාබරව ලියූ හනීෆ් , තම දෛනික ජීවිතයේ යුද්ධය කොතැන තිබුණා දැයි කීම ම තවත් කතාවකි.

ප්‍රකට කවියකු වන එඩ්වර්ඩ් ලියර් සමරනු වස් පවත්වන 'එඩ්වඩ් ලියර් කාව්‍ය තරගාවලිය', අවුල් ඇන්ඩ් ද පුසිකැට් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලට අනුබද්ධ මේ එඩ්වර්ඩ් ලියර් කාව්‍ය තරගාවලිය සඳහා සහභාගි විය හැක්කේ, වයස 18 සිට 30 දක්වා අයට ය. එහි ජයග්‍රාහකයන්ට, පළමු ස්ථානය සඳහා 250,000 ක් ද, දෙවැනි ස්ථානය සඳහා 150, 000 ක් ද, තෙවැනි ස්ථානය සඳහා 75,000 ක් ද පිරිනමනු ලැබීය.

ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ ඉතා වැදගත් අංගයක් ලෙස සලකනු ලබන එඩ්වර් ලියර් කාව්‍ය තරගාවලිය සඳහා අවසන් වටයට ගයාන් පෙරේරා, කේමා විජේවර්ධන, සන්දේශ් බාර්ට්ලට්, හසන්ගී ජයවර්ධන සහ අස්මා රිස්මි මෙකී තරුණ කවි, කිවිඳියන් පස් දෙනා ‍තෝරා ගෙන තිබුණි.

ඒ අතරින් පළමු ස්ථානය, ගයාන් පෙරේරා දිනා ගන්නා ලද්දේ, 'Billy Joy in Follyland' වෙනුවෙනි. දෙවැනි ස්ථානය දිනාගත් කේමා විජේවර්ධන ගේ 'කවිය' නම් කර තිබුණේ, 'The Wheels on the Bus' නමිනි. තෙවැනි ස්ථානය දිනූ සන්දේශ් බාර්ට්ලට් ලියූවේ 'Colombo Aunty Club'නම් කවියයි. හෙතෙම ප්‍රලාප පද්‍ය විෂයෙහි විශේෂ දක්ෂතාවක් දක්වන්නකු ලෙස හුවා දැක්විය හැකි ය. හසන්ගී ජයවර්ධන ලියූ 'One golden eve' පද්‍ය හතර වැනි තැන ද, අස්මා රිස්මි ලියූ 'Night' පද්‍ය පස් වැනි ස්ථානය ද දිනා ගන්නා ලදී. මෙවර එඩ්වර්ඩ් ලියර් තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ලෙස අෆ්ටාබ් ජෙෆර්ජි, ඇන්තී පෙරිස් ෆ්ලැම්බර්ට්, ඩිලානි තන්තිරිමුදලිගේ, ගෙහාන් තල්වත්තේ ආදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහභාගී විය.

උළෙලේ හතර වැනි දිනය නම් කර තිබුණේ, 'සිංහල දිනය' ලෙසිනි. ගාලු සාහිත්‍ය උළෙලට සිංහල දිනයක් පැමිණීම වඩාත් සුබවාදීව බාර ගත යුත්තකි. එසේ ම, ප්‍රථම වතාවට මෙවර දෙමළ දිනයක් ද පැවැත්වුණි. ඒ සවස 2.00 සිට 5.00 වන තෙක් ගාලු කො‍ටුව ඇතුළත ය. මේ ප්‍රවණතා සුබවාදීව ගත යුත්තේ, ඒවා අනාගතයේදී වඩාත් සාරසුබාවට වැඩෙන්නට ඉඩකඩ තිබෙන බැවිනි. ජෙට්වින් ලයිට් හවුස් හෝටලයේ පැවැති සිංහල දිනය, මේ සටහන් කළේ තම තෙවැනි වසරයි. 'නූතනම සිංහල කවියේ අද්‍යතන සමාජ පිළිඹුව' මැයෙන් රුවන් බන්ධුජීව, ලහිරු කිතලගම, කල්පනා ඇම්බ්‍රෝස් සංවාදයට සහභාගී වූ අතර, සංවාදය මෙහෙයවූයේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසිනි. කවිය පිළිබඳ ආලෝක කදම්බ ‍රැසක් විසුරවාලීමට සමත් වූ මේ කවි සංවාදය, නියමිත වෙලාවට ආරම්භ වූයේ නම්, තවත් අගේ කොට සලකමි. 'අතීතය සහ මතකය: සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම්' ඔස්සේ පැවැත්වුණි. ශාන්ති දිසානායක, අජිත් පැරකුම් ජයසිංහ සහ සහන් කසීර වික්‍රමසිංහ සහභාගී වූ මේ සංවාදය මෙහෙය වූයේ, අනෝමා රාජකරුණා විසිනි. ඉන් පසුව පැවැතියේ ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත ලේඛකයන් සමඟ කෙරෙන සංවාදයකි. ආචාර්ය ජයලතා මැදවත්ත මෙහෙයවූ සංවාදය සඳහා, අරුණ ප්‍රේමරත්න, සේපාලි මායාදුන්නේ, පී.බී. ජයසේකර, පද්මිණී සෙනෙවිරත්න සහ තරංගනී රෙසිකා ප්‍රනාන්දු සහභාගී විය. ශ්‍රී ලාංකේය වේදිකාව අභියස නාට්‍ය පරිවර්තන: බහුමානිකම් විමසුමක් මැයෙන් පැවැත්වුණ සංවාදයට අශෝක හඳගම, කෞශල්‍යා ප්‍රනාන්දු සහ අචිත්‍ය බණ්ඩාර සහභාගී විය. සංවාදය මෙහෙයවූයේ ප්‍රියන්ත ෆොන්සේකා විසිනි.

20 වැනිදා සාහිත්‍ය උළෙලේ අවසන් දිනය වූ අතර, මෙඩලීන් තීන් සමඟ සංවාදයක් ද, කමීලා ෂැම්සි සමඟ 'හෝම් ෆයර්' නවකතාව පිළිබඳ සංවාදයක් ද පැවැත්වුණි.

ජනවාරි 19 වැනිදා කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජනශ්‍රැති කෞතුකාගාරයේදී පැවැති ළමා වැඩසටහන් පිළිබඳ ද යමක් කිව යුතු ම ය. පවර් ඔෆ් ප්ලේ ඉදිරිපත් කරන ප්‍රහසනාත්මක රංගන, අභිරූපන රංගන මෙන් ම, රූකඩ රඟදැක්වීම් එදින උදෑසන කාලයේ ළමයින් ඉමහත් විනෝදයට පත් කරවිය. යාපනයේ ආරෝග්‍යා නාට්‍ය පාසල මෙහෙයවන දෙමළ මාධ්‍ය නාට්‍ය වැඩමුළුව ද, බිලිඳු ළමා සඟරාව මෙහෙයවන කා‍ටුන්කරණය පිළිබඳ වැඩමුළුව ද වඩාත් ආකර්ෂණීය අංග ලෙස මතුකර දැක්විය හැකි ය. මැටි බඳුන් පින්තාරු කිරීම, ටයි ඇන්ඩ් ඩයි රෙදි සායම් කිරීම ආදී දේ පිළිබඳ සෙරන්ඩිපිටි පදනම මෙහෙයවන කලා ශිල්ප වැඩමුළුවක් ද පැවැත්විණ. පවර් ඔෆ් ප්ලේ ඉදිරිපත් කළ 'ලබු ගෙඩියේ තොවිලය' ප්‍රහසනාත්මක නාට්‍යය ද, ළමයින්ගේ වැඩි අවධානයක් දිනාගත් බව දැකගත හැකි විය.

මේ ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ දුර රූපයක් ළඟ සිට දකින්නට කළ උත්සාහයකි. සාහිත්‍ය වඩාත් උත්කර්ෂවත්ව සැමරීම පිළිබඳ කදිම පාඩමක් කියාදෙන ගාලු සාහිත්‍ය උළෙල, සාහිත්‍යයේ ප්‍රගමනයට ඉණිමං තනා දෙන්නකි. ඒ ඉණිමං මත නැඟී, ගිරග නැඟීම හෝ ඒ ඉණිමඟට පයින් ගසා පෙරලීම සාහිත්‍ය සමාජයට අයත් කටයුත්තකි.

කාංචනා අමිලානි


නව අදහස දක්වන්න