මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් අද අමෙරිකාවට | දිනමිණ

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් අද අමෙරිකාවට

මන්නාරම සමූහ මිනී වලෙන් හමුවූ අස්ථි කොටස් පර්යේෂණ සඳහා අමෙරිකාවට අද(23) රැගෙන යන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
 
මෙලෙස සාම්පල 23ක් රැගෙන යන්නේ ෆ්ලෝරිඩාවේ පිහිටි කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාරයක් වෙතය. 
 
දින 132ක් පුරා සිදුකළ කැණීම් කටයුතු ඊයේ(22) සිට තාවකාලිකව නතර කර තිබේ. නැවත එය ලබන 30 වනදා සිට ආරම්භ කරන බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරවයා පැවසීය. 
 
සති දෙකක් ඇතුළත වාර්තාව ලබාගැනීම අරමුණ වේ. ඉන්පසුව එය මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහේස්ත‍්‍රාත් ටී සරවනරාජා මහතාගේ නියෝගයක් අනූව මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු ආරම්භ විය.
 
සමූහ මිනිවළ තුළින් මිනිස් අස්ථි කොටස් 300 කට අදාළ අස්ථි හදුනාගෙන තිබේ.
 
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි පසුගිය වසරේ මාර්තු 26 වනදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
 
වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී ඔහු පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.
 
අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

නව අදහස දක්වන්න