පොලිස් විශේෂ කාර්ය බළකාය බිහිවීමෙන් පොලිසියේ පරාසය පුළුල් වුණා | දිනමිණ

පොලිස් විශේෂ කාර්ය බළකාය බිහිවීමෙන් පොලිසියේ පරාසය පුළුල් වුණා

‘එස්.ටී.එෆ්. එපා’ කියමින් පෙළපාලි ගිය අයත් එදා හිටියා. එහෙත් ඊට පසු සමාජයේ විවිධ ප්‍රශ්න මතුවූවිට ‘එස්.ටී.එෆ්. ඕන’ කියන තැනට ආවා. පොලිස් විශේෂ කාර්ය බළකායට ඊට වඩා හොඳ සහතිකයක් නැතැ’යි කථානායක කරු ජයසූරිය මහතා ඉකුත් 16 වනදා සවස කළුතරදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ පුහුණුව ලද ආධුනික පොලිස් නිලධාරීන් 296 දෙනකු විසිරයාම නිමිත්තෙන් පැවති උත්සවයේදී ය.

ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 35 දෙනකු, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225 දෙනකු, ආධුනික පොලිස් කොස්තාපල් රියැදුරන් 36ක් ද, කණ්ඩ අධීක්ෂණය සඳහා පොලිස් පරීක්ෂක නිලධාරින් 05ක්, උප පොලිස් පරීක්ෂකවරුන් 02ක් හා අනුකණ්ඩ භාර සැරයන්වරුන් 24ක් මෙසේ විසිර ගිය පිරිසට ඇතුළත් වූහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය බිහිවීමත් සමඟ පොලිසියේ පරාසය පුළුල් වුණා. විවිධ ක්ෂේත්‍රවල විශේෂිත දැනුම ඇති පිරිස් පොලිසිය තුළින් බිහිවුණා.

මුල් කාලයේ දේශපාලන වේදිකාවල පෙළපාලිවල ‘එස්.ටී.එෆ්. අපට එපා’ ආදි සටන් පාඨ බිහිවුණා. එහෙත් පසුකලෙක සමාජයේ ඕනෑම ප්‍රශ්නයකදී එස්. ටී. එෆ්. යොදවන්න කියන තැනට ආවා. පොලිස් විශේෂ කාර්ය බළකායට ඊට වඩා සහතිකයක් තවත් නැහැ. පසුගිය කාලය තුළ ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කර තිබෙනවා.

පසුගිය යුද සමයේදී තොප්පිගල, මඩකළපුව, වාකරේ, සාම්පූර් හරහා නැ‍ඟෙනහිර මුදාගැනීමේ මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සුවිශේෂී මෙහෙවරක් ඉටුකළා.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කළේ තම පුත් රවි ජයවර්ධනට එය භාර කරමින්, එවකට ආරක්ෂක ඇමතිවරයා වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ ශක්තියත් ඊට ලැබුණා. එංගලන්තයේ එස්. එස්. එස්. බළකායේ නිලධාරීන් ලවා පුහුණුව ලබාදුන්නා.

එදා 60 දෙනකුගෙන් ආරම්භ කළ පොලිස් විශේෂ කාර්ය බළකාය අද යුදමය කටයුතු මෙන්ම විවිධ ක්ෂේත්‍ර තුළින් දියුණුවී තිබෙනවා. ප්‍රභූ ආරක්ෂාව සඳහා ඔවුන් දක්වන විශේෂඥභාවය අද කාගේත් පැසසුමට ලක්වී තිබෙනවා. බීජීන් ඔලිම්පික් උළෙල සඳහා පවා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගෙන තිබෙනවා. එය පොලිස් විශේෂ කාර්ය බළකාය ජාත්‍යන්තර මට්ටමට එසවූ ජයග්‍රහණයක්.

ආරක්ෂක අංශ සක්‍රීය කිරීමේදී එහි යුදමය තත්ත්වය වගේම විනය හා පරාර්ථකාමී ගුණයත් එකවර වර්ධනය කිරීම ලෙහෙසි කාර්යයක් නොවෙයි. ඒ සෑම අංශයක්ම පරිපූර්ණවූ බළකායක් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය ගෞරවයට පත්වී සිටිනවා. ඊට එදා ලබාදුන් නායකත්වය වගේම වත්මන් නායකත්වයත් අගය කළ යුතුයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නම සඳහන් කළ පමණින් විශාල පිළිගැනීමක් තිබෙනවා. ත්‍රස්තවාදය නැති කිරීම් කාර්යයේදී ඔවුන් විශාල මෙහෙවරක් සිදුකළා.

අද සමාජය වෙළාගත් අපරාධ, කුඩු හා නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සුවිශේෂි මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා.

මේ උත්සව සභාව අමතා පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් හා අධ්‍යක්ෂ (පුහුණු) පොලිස් අධිකාරි එස්. ඩබ්ලිව්. ඒ. බී. දවුලුගල යන මහත්වරුන්ද කතා කළහ.

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජයවර්ධන, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමති අජිත් පී. පෙරේරා, සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නීතිපති ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය යන මහත්වරුන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අති දක්ෂ වෙඩික්කරු ලෙස (ටී - 56) පොලිස් කොස්තාපල් (92191) ඒ. එම්. ඒ. එම්. අබේකෝන්, අති දක්ෂ වෙඩික්කරු ලෙස (එම් - 16) උප පොලිස් පරීක්ෂක එස්. ඒ. ඒ. එම්. ජයවර්ධන, විශිෂ්ටතම පොලිස් කොස්තාපල් රියැදුරු ලෙස (92665) එම්. ඩී. එම්. ටී. රත්නායක, විශිෂ්ටතම පොලිස් කොස්තාපල් ලෙස (92076) එම්. වී. වයි. සම්පත්, සෑම අතින්ම දක්ෂ අනුකණ්ඩ සැරයන් ලෙස (39719) එස්. ජේ. ආර්. මනෝහර, සෑම අතින්ම විශිෂ්ටතම උප පොලිස් පරීක්ෂක ලෙස සී. බී. මාන්නක්කුලම යන මහත්වරුන් විශේෂ සම්මාන හිමිකරගත්හ.

කළුතර මධ්‍යම සමූහ සහ කළුතර විශේෂ

නව අදහස දක්වන්න