'කාන්තා ව්‍යාග්‍රා': ඊජිප්තුවෙන් ඉහළ ඉල්ලුමක් | දිනමිණ

'කාන්තා ව්‍යාග්‍රා': ඊජිප්තුවෙන් ඉහළ ඉල්ලුමක්

කාන්තාවන්ගේ කාමාශාව වැඩි කරවන බවට සැලකෙන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට සහ අලෙවි කිරීමට අවසර දුන් ප්‍රථම අරාබි කලාපීය රට ලෙස ඊජිප්තුව ඉතිහාසගත වනු ඇත.

"කාන්තා ව්‍යාග්‍රා" නමින් පොදුවේ ප්‍රචලිත මෙවැනි ඖෂධයකට සරු ඉල්ලුමක්, ගතානුගතික සමාජයකට හිමිකම් කියන ඊජිප්තුව වැනි රටක තිබිය හැකි ද ?

"මට නිදි මත ගතියක් දැනුණ, ඉස කරකැවිල්ල වගේ. පපුවෙ ගැස්ම වැඩි උණා."

"කාන්තා ව්‍යාග්‍රා" පෙත්තක් පළමු වරට අත්හදා බැලූ ලයිලා තමන්ට දැනුණු දේ විස්තර කළාය.

මෙම ඖෂධයේ රසායනික නාමය ෆ්ලිබන්සෙරින් ය. (flibanserin)

මෙම ඖෂධය භාවිත කිරීම සඳහා ප්‍රථම වරට එක්සත් ජනපදයට අවසරය ලැබුණේ, මීට තුන් වසරකට පමණ පෙරදීය. මේ වන විට එම ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ ඊජිප්තුවේ ඖෂධ සමාගමක් විසිනි.

අප ලයිලා නමින් හැඳින්වූ තිස් හැවිරිදි ගෘහණිය සිය සත්‍ය නාමය හෙළි කිරීමට අකමැති වූවාය. ලිංගික අවශ්‍යතා යනු අනෙකුත් ඊජිප්තු කාන්තාවන්ට මෙන් ම ඇයට ද එළිපිට කතා කළ නොහැකි මාතෘකාවකි.දස වසරකට ආසන්න කාලයක් තිස්සේ විවාහ ජීවිතයක් ගෙවන ලයිලා කියා සිටියේ "කාන්තා ව්‍යාග්‍රා" කෙරෙහි ඇති වූ "හුදු කුතුහලය නිසා ම" එය අත්හදා බැලූ බවය.

"ෆාමසියෙන් මට කිව්වා සති කිහිපයක් යනතුරු මේ පෙත්ත හැම දා ම රෑට ගන්න කියල. කිසි ම අතුරු ආබාධයක් නැහැ කියලත් ඔහු කිව්වා. මේක ගත්ත ම මොක ද වෙන්නේ කියල බලන්න මටත් මගේ සැමියාටත් ඕන උණා. ඒ නිසා පෙත්තක් ගත්ත. ආයෙ නම් ගන්නෙ නැහැ," ලයිලා පැවසුවාය.

ඊජිප්තුවේ දික්කසාද ප්‍රතිශතය ඉහළ යමින් තිබේ. අඹු සැමියන් අතර පවතින ලිංගික ප්‍රශ්න ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බව ඊජිප්තුවේ ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි.

අතුරු ආබාධ

ෆ්ලිබන්සෙරින් නිෂ්පාදනය කරන ඖෂධ සමාගමේ නියෝජිතයෙකු කියා සිටියේ සෑම ඊජිප්තු කාන්තාවන් දස දෙනෙකුගෙන් තිදෙනෙකු ම, ලිංගික ක්‍රියාව කෙරෙහි අඩු නැඹුරුතාවක් දක්වන බවය. නමුත් එය දළ ඇස්තමේන්තුවක් පමණි.

එවැනි දත්ත සහිත නිල සංඛ්‍යා ලේඛන ඊජිප්තු බලධාරීන්ගෙන් නිකුත් වනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකිය.

"මේ ප්‍රතිකාරය රටට අත්‍යවශ්‍ය දෙයක්. මේක විප්ලවීය වෙනසක්," ෆ්ලිබන්සෙරින් නිෂ්පාදනය කරන ඖෂධ සමාගමේ නියෝජිත අෂ්රෆ් අල් මරාඝි පැවසීය.

හිස කරකැවිල්ල සහ නිදි බර ගතිය රැය පහන් වෙද්දී පහව යන බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ "කාන්තා ව්‍යාග්‍රා" කිසිදු අතුරු ආබාධයක් රහිත ඖෂධයක් බවය. නමුත් බොහෝ ඖෂධවේදීන් සහ වෛද්‍යවරුන් ඊට එකඟ නොවෙති.

මෙම ඖෂධය පිළිබඳව අනතුරු අඟවමින් එක් ඖෂධවේදියෙකු කියා සිටියේ, එය භාවිත කිරීම හේතුකොට ගෙන රුධිර පීඩනය "අනතුරුදායක මට්ටමින්" පහත වැටිය හැකි අතර හෘද සහ අක්මා රෝග සහිත අයෙකුට එය අහිතකර විය හැකි බවය.

මින් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව කෙතරම් අවවාද කළත්, පාරිභෝගිකයන් එය මිලදී ගැනීමට පෙළඹෙන බව කයිරෝ නුවර ඖෂධ සැලක් පවත්වාගෙන යන මුරාඩ් සදීක් පැවසීය.

"දවසකට 10 දෙනෙක් විතර එනවා මේ පෙති ඉල්ලගෙන. ඉන් වැඩි දෙනෙක් පිරිමි. ගැහැණු උදවිය ලැජ්ජයි මේක ඉල්ලන්න," සදීක් ප්‍රකාශ කළේය.

"ලිංගික ක්‍රියාව ආරම්භ වන්නේ මනසේ"

සදීක්ගේ ඖෂධ සැලට ඇතුළු වූ වහා ම පෙනෙන පරිදි දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබේ. එහි ෆ්ලිබන්සෙරින් ඖෂධය හඳුන්වා ඇත්තේ "රෝස පැහැති පෙත්ත" (The Pink Pill) නමිනි. එය "නිල් පැහැති පෙත්තෙහි" ස්ත්‍රී ලිංගික පදය ලෙස ඔවුහු සලකති.

ඊජිප්තු සමාජය තුළ 'ව්‍යාග්‍රා' ඖෂධය හැඳින්වෙන අන්වර්ථ නාමය "නිල් පැහැති පෙත්ත" ය. (The Blue Pill)

ව්‍යාග්‍රා නිපදවා ඇත්තේ, පුරුෂ ලිඟුවේ අප්‍රාණිකත්වයක් වේ නම් ඒ කරා වැඩි රුධිර ධාරිතාවක් ගමන් කිරීමට සැලැස්වීම මගින් එය ප්‍රාණවත් කිරීම සඳහාය

විෂාදිය සමනය කෙරෙන ඖෂධයක් ලෙසත් මොළයේ රසායනික තුලනය මගින් ලිංගික ආශාවන් වැඩි කිරීම සඳහාත් ෆ්ලිබන්සෙරින් නිපදවා ඇත.

"ශාරීරික හෝ මානසික ප්‍රශ්නයක් පවතින කිසි ම කාන්තාවකට මේ ඖෂධය හරි යන්නෙ නැහැ," ලිංගික දුර්වලතා පිළිබඳ චිකිත්සක හිබා කොටබ් ප්‍රකාශ කළාය.

තමන් කරා පැමිණෙන කිසිවෙකුට මෙම ඖෂධය නිර්දේශ කිරීම ප්‍රතික්‍ෂේප කළ හිබා කොටබ් තවදුරටත් කියා සිටියේ "කාන්තා ව්‍යාග්‍රා යන යෙදුම මගින් වැරදි අර්ථයක්" ලබා දෙන බවය.

"ස්ත්‍රියකට ලිංගික ක්‍රියාව කියන්නේ මානසික හැඟීම් මුසු වූ ක්‍රියාවලියක්. එය ආරම්භ වන්නේ මනසේ. සැමියා බිරිඳට වැරදි විදියට සලකනවා නම් ඒ ගැහැණියට කවදාවත් ඔහු සමග නිරෝගී ලිංගික සම්බන්ධතාවක් ඇති කර ගන්න බැහැ. කිසි ම බෙහෙතකින් එය සුව කරන්න බැහැ," ඇය පවසන්නීය.

"රෝස පැහැති පෙත්තට" ඉහළ ඉල්ලුමක්

ලිංගික අවශ්‍යතා පිළිබඳව දොඩමළු වන්නට තරම් නිදහසක් ලබන්නට නම් ඊජිප්තු කාන්තාවට තව බොහෝ දුරක් යා යුතුව තිබේ.

"යුග දිවිය තුළ පවතින පීඩනය නිසා පවුල් ජීවිතය එපා වී දික්කසාදය ඉල්ලා සිටින කාන්තාවන්" බොහෝ දෙනෙකු පිළිබඳව තමන් හොඳින් දන්නා බව ලයිලා පවසන්නීය.

"තමන්ගේ ස්වාමි පුරුෂයා ආදරණීය සහකරුවෙක් නම් එයා ලිංගික වශයෙන් දුර්වල වුණොත් ඒකට ප්‍රතිකාර සොයා යාමට බිරිඳත් උදව් කරනවා. හැබැයි ස්වාමියා බිරිඳට හිරිහැර කරනව නම් එයා යහනේදී කෙතරම් හොඳ වුණත් බිරිඳට එයාව ඕන වෙන්නේ නැහැ. පිරිමින්ට මේක තේරෙන්නේ නැහැ." ලයිලා තව දුරටත් කියා සිටියා ය.

"කාන්තා ව්‍යාග්‍රා" අරාබිකරයේ යන ගමන ගැන අවසන් නිගමනයකට ඒමට තව ම ඉක්මන් වැඩි බව සැබවි. නමුත් සදික්ගේ ඖෂධ වෙළඳ සලේ නම් ෆ්ලිබන්සෙරින් පෙත්තට ඉහළ ඉල්ලුමක් පවතී. ඒ ඉල්ලුම තවත් ඉහළ යනු ඇති බව සදික්ගේ මතයයි.

ලිංගික දුර්වලතා පිළිබඳ චිකිත්සක හිබා කොටබ් මේ පිළිබඳව දරන්නේ වෙනස් මතයකි. ඇයගේ බරපතළ සැලකිල්ලට බඳුන් වී ඇත්තේ මෙම "රෝස පැහැති පෙත්ත" නිසා පවුල් ජීවිතයට සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳවය.

"මේ පෙත්ත පාවිච්චි කළත් තමන්ගේ බිරිඳ ලිංගික ක්‍රියාවට එතරම් නැඹුරුතාවක් නොදක්වයි නම් ඔහු බිරිඳ පිට තමයි වරද පටවන්නේ. එහෙම නැතුව ඒ පෙත්තටවත් එකිනෙකා නුරුස්සන පවුල් ජීවිතයටවත් ඔහු වරද පටවන්නේ නැහැ. ඔහු ඒකත් නිදහසට කාරණයක් කර ගනීවි බිරිඳව අතහැරලා දාන්න," ඇය පවසන්නීය.

(බීබීසීයේ සැලී නබිල් විසින් කරන ලද විමසුමකි)

නව අදහස දක්වන්න